UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

1 අභ්‍යාසය

01 කොටස

මෙම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

1. ධර්ම ගුත්තික හා මහින්සාසක යන දෙනිකායන්හි ආදී පුරුෂයා ලෙස සැලකෙන භික්ෂුවකගේ නම කුමක්ද?

2. එම භික්ෂුව ප්‍රථම සංගීතිය ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතුව කුමක්ද?

3. වසර 100 ට පසු දෙවන ධර්ම සංගායනාව පවත්වා තිබේ. එම සංගායනාව පැවැත්වීමට හේතු වූ මත වාද ඉදිරිපත් කළ භික්ෂු පිරිස හැඳින්වෙන්නේ කවර නමකින්ද?

4. එම භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ මතවාදය කුමක්ද?

5. සාසන ඉතිහාසයේ මහා දේව නම් ආචාර්යවරයාට වැදගත් තැනක් හිමිවීමට හේතුව කුමක්ද?

6. මහා දේව ආචාර්යවරයා ඉදිරිපත් කළ නව මතවාදය කුමක් දැයි ලියන්න.

7. මහායානිකයන් ඉදිරිපත් කරනු ලබන පුද්ගල සංකල්පය නම් කුමක්ද?

8. පුද්ගල සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ කිනම් භික්ෂුව විසින්ද?

9. සර්වාස්ථි වාදයේ ප්‍රමුඛයෙක් ලෙස සලකනු ලබන භික්ෂුවගේ නම ලියන්න.

10. සර්වාස්ථිවාදය භාරතයේ පැතිර ගිය ප්‍රධාන ප්‍රදේශ දෙකක් ලියන්න.

11. බහුශ්‍රැතික හා පඤඤ්තිවාද යන නිකාය දෙක බිඳීගියේ කවර නම් නිකායෙන් ද?

12. මෙම නිකාය දෙක (02) ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින්ද?

13. කථාවත්තුප්ප්‍රකරණය මගින් ඉදිරිපත් කරනු ලබන මූලිකම ඉගැන්වීම කුමක්ද?

14. කථාවත්තුප්ප්‍රකරණය කෘතිය සම්පාදනය කරන ලද්දේ කවර වකවානුවකදී දැයි ලියන්න.

15. ‘වලහි’ නමැති විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුග්‍රහය දක්වන ලද රජවරුන් හඳුන්වනු ලබන්නේ කවර නමකින් ද?

16. ‘වලහි විශ්වවිද්‍යාලය’ ආරම්භ කිරීමට පුරෝගාමී වූ පඬිවරුන් දෙදෙනෙකුගේ නම් ලියන්න.

17. ක්‍රි.ව. 11 වන සියවසේ දී පමණ දූත පිරිසක් ශ්‍රී ලංකාවට එවා බෞද්ධ ධර්මය ග්‍රන්ථ එරටට ගෙන්වා ගත් බුරුම රජතුමාගේ නම කුමක්ද?

18. මෙම රජතුමා පසු කාලයේ දී බුරුමයේ සිට ශ්‍රී ලංකාවට එවූ භික්ෂු දෙනමගේ නම් ලියන්න.

19. බෞද්ධ කලා ශිල්ප අතර ‘ප්‍රතිමාඝර’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද?

20. ශ්‍රී ලංකාවේ ප්‍රතිමාඝර දක්නට ලැබෙන ස්ථාන දෙකක් (02) නම් කරන්න.

02 කොටස

රචනා ප්‍රශ්නය

1. මහායාන බුදුදහමෙහි ‘දසභූමි’ යනු කවරේදැයි හඳුන්වා ඒවා විස්තර කරන්න.


පිලිතුරු

අභ්‍යාසය – 1

1 කොටස

1. පුරාණ තෙරුන් වහන්සේ.

2. බුදුරජාණන් වහන්සේ හමුවේදී පිළිගන්නා ආකාරයෙන්ම ධර්මයත්, විනයත් දරන බව ප්‍රකාශ කිරීම.

3. වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා.

4. දසවස්තුව

5. අරහත් නමැති සංකල්පය ඉදිරිපත් කිරීමය.

6. රහත් බව හීන අධිගමනයක් ලෙස දැක්වීමය.

7. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත යන්නය.

8. වාත්සිපුත්‍ර භික්ෂුවගේය.

9. උපගුප්ත හිමිය.

10. කාශ්මීර හා ගන්දාරයයි.

11. ගෝකුලික නිකායෙන්ය.

12. යාඥවල්ක්‍ය හා මහා කාත්‍ය යන තෙරවරුන් ය.

13. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙකු යැයි කෙනෙකු නොමැති බව.

14. තුන්වන ධර්ම සංගායනාවේදී එනම් අශෝක අධිරාජයාගේ කාලයේ දී.

15. මෛත්‍රික නමැති රජවරු.

16. ගුණමතී හා ස්ථිරමතී යන තෙරවරුන්ය.

17. අනවරථ හෙවත් අනුරුද්ධ රජතුමා.

18. උත්තරජීව හා චප්පට යන තෙරවරුන්ය.

19. බුදුගෙය හෙවත් බුද්ධ ප්‍රතිමාවට කරන ලද ගෙයයි.

20. අවුකන, පොළොන්නරුවේ ගල් විහාරය හා බුදුරුවගල යන තැන්වලය.

02 කොටස

රචනා ප්‍රශ්න පිළිතුර

බෝධි සත්වයෙකු බුද්ධත්වය ලැබීමට පෙර පත්විය යුතු භූමි හෙවත් අවස්ථා 10 ක් ඇත. මෙහි භූමිය යන්නෙන් එක්තරා තත්ත්වයක් අදහස් කරනු ලැබේ. දස භූමි සූත්‍රයේ දැක්වෙන දස භූමි මෙසේ ය.

1. ප්‍රමුදිතා - පී‍්‍රතිමත්
2. විමලා - නිර්මල
3. ප්‍රභාකරී – බබළන
4. අර්විස්මතී – ඔප් නැගෙන
5. සුදුර්ජයා - අත්කර ගැනීමට දුෂ්කර
6. අභිමුඛී – මුහුණට මුහුණ ලා සිටින
7. දූරංගමා - ඈත ගමන් කරන
8. අචලා - නිශ්චල
9. සාධුමතී – යහපත් අදහස් ඇති
10.ධර්මේගා - දහම් වලාකුළක් වැනි

බෝධිසත්වවරයකුට මනඞප්‍රණීධියක් සමඟ තමා නියත වශයෙන් බුදුවන බවත් සියලු සතුන් නිවන් දැක්විය හැකි බවත් වැටහේ. එබැවින් හෙතෙම පී‍්‍රතියෙන් පිනා යයි. බුද්ධ බෝධිසත්වරුන් ඇසුරු කිරීමට පෙළඹේ. සිය වගකීම වටහා ගන්නා ඔහු පැවිදි වී ධ්‍යාන භාවනා වඩයි.

දස භූමිවල විමලා යනු නිර්මලත්වයයි. මහායාන බෝධිසත්වවරයා ග්‍රාම්‍ය වූ සියලු ඇවතුම් පැවතුම් වලින් දුරු සීල පාරමිතාව පුරයි. දස කුසල් වඩයි.

ප්‍රභාකාරී යනු බැබළීමයි ප්‍රඥාව වර්ධනය කරමින් භාවනා කරන බෝසත්වරයා බබළන්නට පටන් ගනී. අර්ච්ස්මතී යනු ඔප් නැගෙන බවයි. බෝධි පාක්ෂික ධර්මවලින් හෙතෙම දීප්තිමත් වේ. වීර්යය පාරමිතා ප්‍රභලවම පුරයි.

සුදුර්ජයා යනු අත්කර ගැනීමට දුෂ්කර බවයි. සිය සිත මනාව පාලනය කර ගන්නා බෝධි සත්වයන් පරයා සියලු බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර ගනී. අභිමුඛී යනු මුහුණට මුහුණලා සිටින යන්නයි. ප්‍රඥාව දියුණු තියුණු කර ගෙන ප්‍රඥා පාරමිතාව වඩමින් ලොව පිළිබඳ යථාභූත ඥාන දර්ශනය උපදවා ගනී.

දූරංගමා යනු ඈත ගමන් කරන යන අදහස ගෙන දේ. අචලා යනු නිශ්චල බවය. බුදු බව සඳහා අමුතු උත්සාහයක් නොදරන අතර විශ්ව මෛත්‍රීය පතුරුවයි. සාධුමතී යනු යහපත් අදහස් ඇති යන්නයි. අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය ලබා ගනී. ධර්ම මේඝා අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය ලබා ගනී. දහම් වලාකුළක් යන අර්ථය ගෙන දේ. විවිධ ප්‍රාතිහාර්යන් පෑමේ කුසලතාව ද ඔහුට හිමිය. මෙම දස භූමි අනුව බෝසත්වරයෙකු අධ්‍යාත්මිකත්වය උපරිම තත්ත්වයට පත්වන අයුරු මින් පැහැදිලි වේ.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]