UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්මගෙ ඉල්ලීමට විසිතුන් වතාවක් මහණ වුණා - හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමි

අම්මගෙ ඉල්ලීමට විසිතුන් වතාවක් මහණ වුණා - හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමි

ලෝකය පටන්ගන්නේ මවගේ කිරි හා හිරුගේ රැස්වලින් බව විශ්ව කීර්තිධර ලේඛක මැක්සිම් ගෝර්කි වරක් පවසා තිබේ. තම දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් සතුටු සිතින් නොපිරිහෙළා පිරිනමා ඒ වෙනුවෙන් අල්පමාත්‍ර දෙයක් බලාපොරොත්තු නොවන එකම තැනැත්තිය අම්මාය.තම නිවන් ගමන කල්දමා දරුවන් හොඳ පුරවැසියන් කරන්නට මහමෙර වැනි බර උසුලන්නීද අම්මාය. අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් දිවමන්ව සිටිය දී උන්වහන්සේ සමඟ කළ විශේෂ කතිකාවකින් මෙවර ලිපිය සැකසෙයි.

අනගාරික ධර්මසේන ආරියතිලක නමින් පුරා වසර කීපයක් ගුරු විද්‍යාපීඨ ගණනාවක පන්සල් රැසක එදා ගිහියෙකු ලෙස දෙසුම් පැවැත්වූයේ මේ හිමියන්ය. අම්මාට උදව් කරන අදහසින් විසි දෙවතාවක් පැවිදි දිවියෙන් උපැවිදි වූ උන්වහන්සේ 23 වැනි වතාවේ තිර අදිටනින් ශාසනයේ චිරස්ථිතියට ප්‍රදීපස්ථම්භයක්ම වූහ.

අපේ ගම් පළාත හාරිස්පත්තුව මාරුද්දන නම් සුන්දර ගමයි. ලඳු දෙණි, කැලෑ, ඇළ, දොළ මිටියාවත් කඳු වළල්ලෙන් අලංකෘත වූ මේ ගම් පළාත මගේ අම්මාගේ නිජබිමයි. ඈ නම්වර ලද්දේ පතිරාජගේ ගුණවතී හාමිනේ නමින්. පියතුමා පතිරාජ ලැමිණිගේ ජේමිස් සිඤ්ඤෝ. පියතුමා සුළු ව්‍යාපාරිකයෙක්. ගම් කාර්ය බල පෙදෙසේ ලී ව්‍යාපාරයක්, කඩයක් හා කොන්ත්‍රාත් ගොඩනැගිලි වැඩ එතුමා රැකියා හැටියට කළා. වෙල්යායකට ඉස්මත්තේ ගම්සභා පාරක් අසල දෙමහල් නිවසක් තිබුණා. මැද මිදුල තිබුණු සිංහල උළු වහපු මේ පරණ ගෙය තමයි අපේ වාසභවනය. වී අටුව ගල් කණු හතරක් උඩ පිහිටියා. (මෙයින් පෙනීයන්නේ නිවැසියන්ගේ සශ්‍රීකත්වයයි) අම්මගෙ ගමේ ඉඳලා හරියටම කෙළින් හැතැප්ම 4ක් දුර පතිරාජගම අප්පච්චිගේ ගම පිහිටියා.

මේ පරපුර දෙකම පන්සිල් රැකි සැදැහැවත් බෞද්ධ පිරිසකගෙන් පැවැතීම ඉතා වටිනවා. අම්මගෙ මද්දුම අයියා විහාරාධිපති හිමි නමක්. පතිරාජ සුමංගල විහාරෙ. අපේ අම්මා තමයි අම්මගෙ පවුලෙ බාලම දුව. පියතුමා තමයි ඒ පවුලෙ බාලම පුතා. මං පවුලෙ වැඩිමලා. ගිහි නම ධර්මසේන ආරියතිලක. මල්ලිලා පස්දෙනයි නංගියි ඉන්නවා. මා ළඟට ඉන්නා නංගිට බාල මල්ලිලා තුන්දෙනෙක් බරපතළ අසනීපයකින් සති දෙකක් අතරදි නැතිවුණා මට මතකයි. ඊට පස්සෙ අනෙක් මල්ලිලා ඉපදුණේ. 1942 දී මල්ලිලා නැතිවෙද්දී අම්මා නැඟුව විලාපය මට තවමත් ඇහෙනවා. අම්මට වේදනාවක් දැනෙනකොට, හොඳටම රිදෙන්නෙ මටයි. මාත් ඇඬුවා. එතකොට මට අවුරුදු 4 යි. මල්ලිලාට අවුරුදු 3 යි, 2 යි, 1 යි පිළිවෙළින්. ඒ වෙලාවෙ ඒ අයට ඉතිරි වූ එකම පිරිමි දරුවා මමයි. අම්මා මාව බදාගෙන විලාප තැබුවා. ඇය අන්තිමට හිත හදාගත්තේ පුතේ උඹගෙ මුහුණ බලලාවත් මට සැනසෙන්න පුළුවන්නෙ කියලායි.

මට යම්තම් අවුරුදු 6 පනිද්දී මට මතකයි අප්පච්චී මාවත් එක්කගෙන ගමේ නැකැත් නිලමේ ළඟට යනවා. ඒ පාසල් යවන්න හා හා පුරා කේන්දරේ බැලීම සාමාන්‍ය ගැමි සිරිතක් නිසයි. නැකැත් නිලමේ මගේ කේන්දරේ බලලා නළල රැළි කරගෙන ඒක ආයිත් අප්පච්චිට දුන්නා. ඔහුගේ මුහුණ නරක් වෙලා තිබුණා. අප්පච්චි ඇහුවා ඇයි? මේ කියලා වැඩක් නෑ. උගන්වලා වියදම් කරන සල්ලිවලින් ඉඩමක් අරන් දාන්න. කාලයකදී හොඳ ගණනකට විකුණාගත හැකියි. එතුමා කීවා. මේ ළමයගෙ හතර කේන්දරේ පාළුයි. තවදුරටත් නැකැත් නිලමේ කීවා. ගෙදර ඇවිත් අප්පච්චි මේ වග අම්මට දැන්නුවම ඇය කීවෙ අපි කොලුවාට හොඳින් උගන්වන්න ඕනෑ. ආත්ම ශක්තිය නැතිකරගෙන බෑ කියලයි. බලන්න කොච්චර ප්‍රායෝගික මවක් ද කියලා. අප්පච්චිත් එහෙමයි. අම්මා ඉස්කෝලෙ නොයවා ගෙදරදි ආතලා අකුරු කියාදුන් ගැහැනියක්. ඒත් ඇය අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. මාව තක්සලාවකට කියලා දැම්මෙ හැතැප්ම 1 1/2 ක් විතර දුර මොළගොඩ පියදස්සී බෞද්ධ මිශ්‍ර පාසලටයි. මුල් දවසෙ අප්පච්චි එක්ක ගියත් ඊට පස්සෙ ගමේ පිරිමි ළමයි එක්ක කැලෑ මණ්ඩි වැට ඒ දඬු පාලම් දෙණි අතරින් අප පාසල් ගියේ පාදයාත්‍රාවෙන්මයි.

වැස්ස දවසට අප පාසල් ගොස් එන්නෙ සමහර විට මඩකාරියො වගෙ මඩනාගෙනයි. නුවර - බොක්කාවල බස් පාරක් තිබුණා. වැඩිය ගියේ කරත්ත. බස් එකක් දිවුවා මතකයි. අල්ලපු වැටේ කොට මුදුන්ගල රජමහා විහාරය තිබුණෙ. පුංචි කාලෙ මං හරි දඟයා. කඩන්න බිඳින්න පෙරළන්න හරිම ආසයි. වතුරට පුදුමාකාර බයක් තියෙනවා. නාවන්න හරිම අමාරුයි. අම්මා මාව නාවන්න නොගත්ත මහන්සියක් නෑ.

එහා පැත්තෙ තිබුණු ඇළ පාරට ඈ මාව ගෙනයන්නෙ මරන්න ගෙනයන හරකෙක් වගේ. ඇදගෙනයි. හැබැයි! වද දීගෙන නම් නොවේ. ගිහිල්ල බලහත්කාරයෙන් නාවනකොට කොහොම හරි දුවගෙන ඇවිත් ගෙයි පිළිකන්නෙ වැලි ගොඩේ පෙරළෙනවා. ආයිත් ඉතින්! නාවන්නම ඕනෑ. අම්මා කරුණාවෙන් ආදරයෙන් කරුණු කියලා මාව යළිත් නාවන්න රැගෙන යනවා. කුඹුර ඇළ දොළ බැත කෙත මට හුරු පුරුදු දේවල්. කුඹුරෙ ගොයම් පාගන දවසට, හරක් ලවා මඩවන දවසට අපටත් වැඩ. මාත් ඒ වැඩපළට අම්මත් එක්ක යනවා. අම්මා ඉතාම හොඳින් බණදහම් දන්නවා. ඒ වගේ ඇය නෙළුම්කොළ ගායනයේ මහා ගායිකාවක්. අම්මගෙ අම්මත් එහෙමයි. කවරදාවත් අපට අහන්නවත් නැති විශිෂ්ට මට්ටමේ ගැමි ජන කවි නෙළුම් කවි අම්මට මතක තිබුණා පොත් ගණන් ලිවිය හැකි තරම්.

අම්මට හුඟක් බැරි කාලෙ මල්ලිලා වටවෙලා ඈ මුමුණන සමහර පදයක් ලියාගත්තා. මට මතකයි. අම්මගෙ නැළවිලි ගීයත් හරිම මනෝහරයි. මට පස්සෙ ඉපැදුණු මල්ලිලා නළවන්න ඇය ගැයූ ගී මොනතරම් මිහිරිද? ඒ කාලයේ පාසලේ සතියකට වරක් පැවැති රැස්වීමක් තිබුණා. මටත් දවසක් කතාවක් තිබුණා. ඒ කතාව කියලා දුන්නෙ අම්මා. මාතෘකාව “සමගිය බලය වේ” යන්නයි. මෙහෙමයි. මට හුඟක් වෙලාවට එකම පන්තියේ වැඩිමල් දරුවන් එක්කත් ඉගෙනගන්ඩ සිදුවුණා. සමිතියේ රැස්වීමේදී කලා උළෙලේදී කවි ගී සින්දු කියන්ඩත් සොකරි වෙස්සන්තර නාට්‍යවල රඟපාන්නත් මා උනන්දු කළේ අම්මා. සමිති රැස්වීමක රබන් ගහලා විරිඳු කියන්ඩත් ගියා.

පන්සල අපට හුරු තැනක් කළෙත් අම්මා. අම්මා පෝයට සිල්ගන්ඩ ගියාම අද උදේ ගියානම් පහුවදා තමයි එන්නෙ. පිරිමි හිටියෙ ධර්මශාලා ගොඩනැගිල්ලෙ රාත්‍රියට. සිල් අම්මලා හිටියෙ වරිච්චි ගහලා හදපු සිල්ගෙය ඇතුළෙ. සිල්හොරු ගන්නවා කියලා ඒ ගොල්ලො රාත්‍රිය පුරා නිදිවර්ජිතව ධර්ම සාකච්ඡා කරමින් හිටියා. උදේම අප ගියාම මේ සිල්ගෙය ඇතුළෙ හිටිය හැම අම්මාටම වඳින්ඩ ඕනෑ, ඒක අම්මා බලාපොරොත්තු වූ අනිවාර්ය ක්‍රියාවක්. රවුමක් පෝලිමට වැඳගෙන යනකොට ඉතින් කොන්දටත් හරි සනීපයි. පන්සිල් රැකීම අම්මා අපට පුංචි කාලෙ ඉඳන් උගන්වපු උසස් පුරුද්දක්. මිනිසුනට දුගීනට යාචක මගීනට දන්දීම අම්මා කැමති තවත් උතුම් පුරුද්දක්. අප්පච්චිත් පරිත්‍යාගයට කැමතියි. එතුමා ගල්ලෑල්ල සමූපාකාර සමිතියේ මරණාධාර සමිතියේ, ග්‍රාම සංවර්ධන සමිතියේ නිලතලවල හිටියා. එහෙම ඉන්නා අතරෙ අපට ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක් ආවා. අපට ඉඩම් නඩු හතරක් වැටුණා. තාත්තා ලෙඩ වුණා. ලී ව්‍යාපාරය වැටුණා. කඩය වැහුණා. අම්මගෙ පැත්තෙ ඥාතීන්ට ඉඩම් උකස් කරලා ඒවත් සින්න වුණා. මොළගොඩ බෞද්ධ පාසලේ පහ දක්වා උගත්තත් වයස වැඩි නිසා ශිෂ්‍යත්වයට යන්න වරම් නැතිවුණා.

ඒත් 7 තරඟ විභාගයෙන් මං මහන්සිවෙලා ජයගත්තා. ඒකේ දී මට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉහළට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණත් ගෙදර ආර්ථිකය පාතාලයටම වැටිලා තිබුණෙ. හැතැප්ම 5 ක්ම උදේ හවා ගියේ පුදුම කරදර විඳිමින්. කොහොම හරි ඉංගී‍්‍රසි ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වුණා. උසස් පෙළ කරමින් හිටියෙ.

මට අවශ්‍ය කළේ සතර කේන්දරේ පාළු මගේ කේන්දරේ කතන්දරේ බොරු කරන්ඩයි. අම්මා තමයි ඒ ටික මා තුළ පැල පදියම් කළේ. ඩී.ඒ. දේවේන්ද්‍ර ගුරුතුමා මට හරියට උදව් කළ කෙනෙක්. එතුමා නැවතත් මගේ කේන්දරේ බලලා කීවා අධ්‍යාපනය නම් කඩාකප්පල් වෙනවා. ස්ථිරයි. ඒත් දිගටම ඉගෙනගන්න කියලා.

1957 පමණ කාලෙ වෙන්න ඇති මං හිතාගත්තා අප්පච්චි වෙනුවෙන් මේ පවුල මා බාරගත යුතුයි කියා. මං වයස 15 දී බුරුම අභිධර්මාචාර්ය විභාගයෙන් ඒ වන විට සමත් වෙලායි හිටියෙ. විද්‍යාලංකාර ප්‍රාරම්භ හා මධ්‍යම විභාගවලටත් පෙනී සිට ජය ලබා තිබුණා. මේ අතර ගමේ ආරච්චි ප්‍රමුඛ ප්‍රභූ පිරිසක් අපේ ගෙදරට ඇවිත් යෝජනාවක් කළා. ගමේ පාසලක් හදන්න. අපේ ගම් දෙකට අලවත්තේගම, මාරුද්දන පාසලක් තිබුණෙත් නෑ. ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලේ පාසලක් පටන් ගන්න පුළුවන්. ගුරුවරයෙක් ලෙස ආරියතිලක මහත්තයාව දෙන්නැයි ආරච්චි මහත්තයා අප්පච්චිගෙන් ඉල්ලා සිටියා. එදා ගමේ හිටි මුල්ම ජ්‍යෙෂ්ඨ සමතා මමයි. නුගවෙල විදුහලේ එච්.එස්.සී. පන්තියේ මාස 3 යි ඉගෙන ගෙන තිබුණේ. අප්පච්චි කීවා ඇවිත් ඉන්නා පිරිස දිහා බලලා මේක බාරගන්ඩ කියලා. මා බලවත් දුෂ්කරතා මධ්‍යයේ කළ අධ්‍යාපනය නවතා දමා පාසල බාර ගන්න කැමති වුණේ අම්මාගේත් පෙරැත්තය නිසයි. ළමයින් 18 දෙනෙක්ගෙන් මේ අභිනව පාසල 1959 දී ඇරඹුවා. මාස 02 ක් පමණ යනකොට තවත් ගමේ ජ්‍යෙෂ්ඨ සමතුන් තුන් දෙනෙක් හා හිමි නමක් මීට සම්බන්ධ වුණා. අහළ පහළ ඉස්කෝලවලින් ප්‍රශ්නත් ආවා. රජයේ පාසලක් වුණාට පස්සෙ මටත් පඩියක් ලැබුණා. මුල්ම ගුරු වැටුප රුපියල් 150 යි. ඉඩම් නඩු කීවේ, අම්මා තාත්තාගෙ ලෙඩ දුක බැලුවෙ, මල්ලිලාට උගැන්නුවෙ මේ වැටුපෙන්.

රුපියල් දහයක් හරි පොතක් පතක් අරගන්ඩ මල්ලි කෙනෙකුට අඩු නම් මුළු රාත්‍රිය පුරා කල්පනා කරනවා කරනවා ඒක හදාගන්ඩ මොකද කරන්නෙ කියලා. මේ විදියට අම්මාට මහා හයියක් වුණා පවුලෙ ලොකු පුතා වශයෙන්.

අප ජීවත් වූ ගෙදර මගේ බාල මල්ලිලා හිටි හැටියෙ මැරුණට පස්සෙ ඒ ගේ අත්හැරලා දැම්මා. අප්පච්චී කරගෙන ගිය කඩේ තමයි නවාතැන වුණේ.මං ආයිත් අධ්‍යාපනය පටන්ගත්තා. බාහිර උපාධිය සඳහා ඉගෙන ගන්ඩ. විද්‍යාලංකාර සිසුන්ව සිටි යූ. ජී.එන්. ආරියරත්න, රාජකරුණා, විමලරත්න සොයුරන් මට උදව් කළා. මේ විදියට, අම්මත්, සහෝදරයනුත් ගොඩනඟන ගමන් බී.ඒ. විභාගයත් සමත් වුණා. අම්මා හොඳට දන් පින් කළ කාන්තාවක්. අත දිගහැර වියදම් කළ කෙනෙක්. ඒ නිසා අපේ දරිද්‍රතාවයට අනුව පිරිමහගන්න ඇයට කාලයක්ම අමාරු වුණා. ඒත් අම්මා හැමවිටම මට කීවෙ “අනේ, පුතේ උඹ ආයෙත් මට සංසාරෙදි පුතාම වෙන්න ඕනෙ” කියලයි. අම්මගෙ ජීවිතයෙන් තමයි කරුණාව දයාව උපේක්ෂාව මට ලැබුණෙ.

කවරදාවත් වී තම්බපු වතුර ටිකක්වත් ඈ පොළොවට එකවර හැලුවෙ නෑ. නටපු උණුවතුර හොඳටම නිවෙන්න ඇරලයි අම්මා පොළොවට ඒක දැම්මේ. අහිංසක කෘමීන් මැරේවි කියන කල්පනාව අම්මට තිබුණා. මං මල්ලිලාත් ගොඩ අරගෙන මගෙ අධ්‍යාපනයත් ඉහළට ගෙනාවා.

ලැබෙන මුදල් සකසුරුවම් කරලා ඉඩම් කඩම් බේරගෙන කුඹුරු කරවලා මුදල් හම්බ කරලා ගෙවල් දොරවල් පවා හැදුවා. 1975 වන විට මට උපාධි වැටුප රුපියල් 400ක් ලැබුණා. පහළින් ගලා ගිය ඇළෙන් වැලි ටික ගොඩදාගෙන අපේ හිතවත් ඥාතීන් එකතුකරගෙනයි මං අපේ ගේ නැවත හැදුවෙ. මගෙ ඊළඟ මල්ලි සරසවි පීඨාධිපතිවරයෙක් වුණා. එක මල්ලී කෙනෙක් නාවික ඉංජිනේරුවෙක් කළා. පවුලෙ හැමෝටම හැතැප්ම දෙකෙන් දෙක දුර ගෙවල් හැදුවා. ඒවාට නාවික ඉංජිනේරු මල්ලිත් රුපියල් ලක්ෂ 5 ක් දුන්නා.මං ඒ පින්කම් කළ හැම මොහොතෙම අම්මා මගේ අත් උණු කැවුම්වලින් තවලා කීවෙ පුතා සංසාරෙදි මගේ ම පුතා වෙන්න මා පතනවා කියලයි.

අම්මා 1972 දී මගෙන් ඉල්ලීමක් කළා. ඒ ඊට ආසන්නතම හේතුව බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක නමින් මා රට පුරා පවත්වන දහම් චාරිකාව දැකලයි. “අනේ පුතේ, උඹ මහණ වෙන්ඩ ඕනෑ. මට දැකලා මැරෙන්ඩ” අම්මා එහෙම කීවා. මං කඳුබොඩ භාවනා මූලස්ථානෙ මහණ වුණා. අම්මා ඇවිත් වැන්දා. මගේ හිත වාවන්නෙ නෑ.

අප්පච්චිත් අසනීප ගානෙ ඉන්දැද්දී අම්මා අනෙක් අය බලන්නෙ කොහොමද? අම්මා තනියෙන්. මගේ හිත මට වද දුන්නා. මං මෙම විදියට හිතලා උපැවිදි වෙලා ගෙදර ගියා. හතර වතාවක් පැවිදි වුණා. ආයෙත් ගිහියෙක් වෙලා ගෙදර ආවා. බුරුම ස්වීඩන් උපසම්පදාවත් වරක් ලැබුවා. අම්මා බලාගන්ඩ ගෙදර ගියාම අම්මා ආයිත් කියනවා මහණ වෙන්ඩ. මේ විදියට මං විසි දෙවතාවක් මහණ වෙලා උපැවිදි වුණා. සියම් මහා නිකායේ විවිධ පාර්ශ්වවල 14 වතාවක් මේ විදියට බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන් යටතේත් පැවිදි වුණා. රාමඤ්ඤ නිකායේත් දෙවතාවක් පැවිදි වෙලා තියෙනවා. මං මගේ සහෝදරයන් වගේම මාපියන්ටත් සැලකුවා. අදත් පිටරටවල බණ කියලා වුණත් හම්බ වෙන දේවලින් මං දුප්පත් අයට ගෙවල් හදා දෙනවා. ඒ මගේ දිවංගත මෑණියන්ට පින් සිදුවෙන්ඩ. මගේ විශ්‍රාම වැටුප අරන් පවුලෙ අයට කියලා තියෙන්නෙ අහිංසක දුප්පතුන්ට දෙන්න කියලා. ඒත් මැණියන්ට පින්සිදු වෙන්ඩ. මට කාර් දේපළ ගිණුම් අංකයක්වත් නෑ. මට ලැබෙන හැමදේම මේ රටේ අහිංසක ජනතාවට. එහි පින් පිරෙන්නෙ මගේ මෑණියන්ට. අදත් බක්මහට අපි පරණ අවුරුදු සමරන්නෙ පවුලෙ සියලුදෙනා එකට එකතුවෙලා. අම්මගෙත් අප්පච්චිගෙත් සොහොන් ගේ ළඟ. අපි පන්සිල් රැක්කා මේ අවුරුද්දෙ” කියලා සපථ කරලයි. මුලින්ම මං. ඊළඟට මල්ලිලා, පිළිවෙළින් ඒ අයගෙ නෝනලා දරු මුණුපුරන් දක්වා එහෙම ප්‍රතිඥා දෙනවා.

අම්මා කැමතිම දේ දරුවන් පන්සිල් රකිනවටයි. ගෙදර බුදුන් අම්මා කියන්නෙ නිකමට නොවේ. ඈ බුදුන් හා සමානයි. ඈ අප වෙනුවෙන් ලෝකයේ ඉහළටම දුක විඳලා තියනවා. බුදුන් පුබ්බාචරිය පුබ්බදේව ආහුණ්‍යෙය නම්වලින් මෑණියන් හැඳින්නුවා. අපේ පෙර ගුරුවරු ඒ අයයි. ආහුණ්‍යෙය කීවෙ පූජාවට සුදුසුයි කියලයි. අංගුත්තර නිකායෙ චතුප්ත නිපාතෙ අප සැලකිය යුතු පින්කෙත් හතරක් තියෙනවා. ඒකෙ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේලාටත් ඉහළින් මාපියො සලකා තිබෙනවා. උන්වහන්සේටත් ඉහළින් මාපියො සලකා තිබෙනවා.

උන්වහන්සේ සුළු මව පසුපසත් ගමන් වැඩියා. පින්කෙත් හතරින් පළමුවැන්න අම්මා, දෙවැන්න තාත්තා, තුන්වැන්න තමයි තථාගතයන් වහන්සේ, හතරවැන්න මහරහතුන්.

මගේ අම්මා මුළු ලෝකයම මට ඉගැන්නුවා. ඒ පන්සිල් රකින්න පුරුදු කරලා. පන්සිල් රැක්කොත් ජීවිතයේ තවත් ලබන්න දෙයක් නෑ. මං විසි තුන්වතාවක් මහණ වුණේ අම්මා කියපු නිසයි. ඒ හැම වතාවකම මං ඉන් ඉවත්වී උපැවිදි වුණෙත් අම්මාට උදව් කරන්නයි. ඒත් දැන් අම්මා නෑ. මං ශාසනයේ ඉඳගෙන අම්මා වෙනුවෙන් පින් කරනවා.

මේ ඒ හිමියන් එදා මා සමඟ කියූ හැටිය. දැන් උන්වහන්සේද අප අතැර ගොසිනි. එහෙත් මේ මහා යතිවරයාණන් තම මළගම කළයුතු ආකාරය ගැනද උපදෙස් දුන්හ.

මං මැරුණම විශාල වටිනා පෙට්ටි ඕනෑ නෑ. විසිතුරු සැරසිලි එපා. පුළුවන් තරම් චාමෙන් චාරිත්‍ර ටික කරන්න ලෑලි කෑල්ලක් උඩ තියලා ඒ කටයුතු කරන්න. විශාල වශයෙන් වියදම් කරන මුදල් අසරණ දුප්පත් පවුලකට පුංචි ගෙයක් හදා දෙන්න. ඒක මගේ මෑණියන්ටත් මටත් මහා පිනක් වේවි.

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ඒ අයුරින්ම සිදුවිණ. දුප්පත් පවුලකට ගෙයක් හැදු ඒ පින් බෙලෙන් උන්වහන්සේටත් ඒ මව්පිය දෙළටත් අමා මහ නිවන් සුව පතමු.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]