UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපි අර්ථාන්විතව තෙරුවන් ගුණ මෙනෙහි කරමු

අපි අර්ථාන්විතව තෙරුවන් ගුණ මෙනෙහි කරමු

දසත විහිදෙන ගුණ සුවඳින් ඔබ වහන්සේ මේ මුළු මහත් සක්වලම සුවඳවත් කළ සේක. දස දහසක් සක්වල දෙවි මිනිසුන්ගේ සිත් සතන් නුවණ එළියෙන් එළිය කළ සේක. ලොව්තුරු සැප සදා දෙන දහම් වැසි වස්වා එකොළොස් වැදෑරුම් දුක් ගිනි නිවාලූ සේක. ලෝ සතුන් සදා සුවෙන් සුවපත් කළ සේක.

උසස් මනසක් ඇති මිනිසාගේ අවධානය යොමු කිරීම පිණිස, ඉතා සුළු වශයෙන් හෝ මෙවැන්නකට අවධානය යොමු කරමි. බුදුදහම කෙරෙහි අචල ශ්‍රද්ධාවක් උපදවා ගැනීමටත්, එමගින් ශීලාරම්භයක් ඇති කිරීමටත් මෙම වැකි කිහිපය අනුබලයක් වනු ඇතැයි සිතමි.

මහා කාරුණිකවූ, ශාන්ති නායකවූ, තථාගත, තිලෝගුරු, අමා මෑණී, සම්මා සම්බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ අසිරිමත්, අසීමිත ගුණ සමුදාය මෙනෙහි කිරීමට, සිරිපා පියුම් වැඳ නමස්කාර කර සැදැහෙන් අවසර පතමි. සියලු වරදට සමාවී අවසර දී වදාරන සේක්වා.

දසත විහිදෙන ගුණ සුවඳින් ඔබ වහන්සේ මේ මුළු මහත් සක්වලම සුවඳවත් කළ සේක. දස දහසක් සක්වල දෙවි මිනිසුන්ගේ සිත් සතන් නුවණ එළියෙන් එළිය කළ සේක. ලොව්තුරු සැප සදා දෙන දහම් වැසි වස්වා එකොළොස් වැදෑරුම් දුක් ගිනි නිවාලූ සේක. ලෝ සතුන් සදා සුවෙන් සුවපත් කළ සේක.

මාගේ ස්වාමී වූ සම්මා සම්බුදුපියාණනි, ඔබ වහන්සේ විසින් දශ බිම්බරක් ක්ලේශ මාරයන් “භග්න” කර, සංසාර චක්‍රයෙහි අර බිඳ දමා “අජර අමර” නිවනට පත්වූ හෙයින්ම “භගවා අරහං” නම් වන සේක. කිසිදු ගුරු උපදේශයකින් තොරව ‘චතුරාර්ය සත්‍ය ධර්මයන්’ තම සර්වඥතා ඤාණයෙන්ම අවබෝධ කළ හෙයින් ද, අන් සියලු සත්ත්වයන් හට අවබෝධ වන පරිදි දේශනා කරන ලද හෙයින්ද ‘සම්මා සම්බුද්ධ නම් වන සේක. ‘අෂ්ඨ විද්‍යා’ පසළොස් චරණ ධර්මයන්ගෙන්’ පරිපුරණ වූ හෙයින්ම ‘විජ්ජා චරණ සම්පන්න’ නම් වන සේක.

සියලු ලෝක සත්ත්වයන් හට තම රාහුල පුතුට සේම එක සමාන දයානුකම්පාව උපදවා, සසර දුකින් එතෙරවීම පිණිස අත්හළ යුතු ‘දුක සැප’ නම් අන්තයන් දෙකද, අනුගමනය කළ යුතු ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය’ වන මැද පිළිවෙත ද පහදා දුන් හෙයින් ම ‘සුගත මුණී’ නම් වන සේක. සහශ්‍රී ලෝක ධාතුවෙහිම ධර්මතාවයන් ‘නාම රූප’ වශයෙන් ද, ‘අනිත්‍ය, දුක්ඛ, අනාත්ම’ වශයෙන් ද හඳුනාගෙන සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ හෙයින් ද, සියලු ලෝක සත්ත්වයින්ගෙන් පිදුම් ලද හෙයින් ද ‘ලෝකවිදු’ නම් වන සේක.

මින් පෙර කිසිම ශාස්තෘවරයෙකු විසින් දේශනා නොකරන ලද පරම සත්‍ය ‘පටිච්ච සමුප්පාද’ ධර්මතාවය, මේ මුළු තුන් ලෝක සත්වයන් හටම මහා කරුණාවෙන් හඳුන්වා දී පහදා වදාළ’ හෙයින් ද, ‘ෂඩ් අසාධාරණ ඤාණයන්ගෙන් සමන්නාගත වූ හෙයින් ද ඔබ වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.

නොදැමුනු, නොහික්මුනු අංගුලිමාල, ආලවක, නාලාගිරි ආදී මිනිස් යක් තිරිසන් යන සෑම කෙනෙක්ම මහා කරුණාවෙන් දැක බලා, මහා ප්‍රඥාවෙන් දමනය කර මහා නිරා ගින්නෙන් වළකාලු හෙයින්ම ‘පුරිස දම්ම සාරථි’ නම් වන සේක.

‘කාම, රූප, අරූප’ යන ත්‍රිවිධ ලෝකයන්හී වසනා ‘බඹ, සුර, නර’ ආදීන්ගේ ඝන මෝහාන්ධකාරය දුරු කිරීම පිණිස ‘තිලෝගුරු’ වී පිරිණිවන් පානාතෙක්ම පන් සාලිස් වසරක් ප්‍රඥාලෝකය පතුරුවාලූ හෙයින්ම සියලු ‘දෙවි මිනිසුන්ගේ ශාස්තෘ” නම් වන සේක. සාරා සංඛ්‍යා කල්ප ලක්ෂයක් පෙර භවයන්හී පුරුදු පුහුණු කර ‘රැස්කර’ ගන්නා ලද ‘දශ පාරමි ධර්මයන්ගෙන්’ සපිරිණු හෙයින්ද, ‘දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ හෙයින්ද, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා දී සිව් වනක් පිරිසක් ලද හෙයින්ද, සියලුම ‘ආමිස පූජා’ ප්‍රතිපත්ති පූජා වන්ට සුදුසු වන හෙයින්ද ‘භාග්‍යවත් බුද්ධ’ නම් වන සේක.

මේ සියලු අයුරින්ම අසමවූ අසමසමවූ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වූ මාගේ තථාගත තිලෝගුරු, අමා මෑණී සාක්‍ය මුණීන්ද්‍රයාණන් වහන්සේට උපහාර වශයෙන් මාගේ ජීවිතය ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රීපාද පත්ම මූලයෙහි තබා නමස්කාර පූර්වකව පූජා කරමි. පූජා වේවා!, පූජා වේවා!, පූජා වේවා!

සාධු! සාධු ! සාධු!

මාගේ තථාගත තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ඉතා මධුර මනෝහරව දේශනා කරන ලද අමා පැණියක් බඳු වූ මේ අසූහාර දහසක් ධර්මස්කන්ධයම සියලු ලෝක සත්වයාගේ දුක් කරදර වලට එකම සැනසීමය. මේ අති පරිශුද්ධ වූ පරම සත්‍ය ධර්මය කෙසේද යත් ‘මුල මැද අග‘ යන සියලුතන්හීම එකම අමා රසයකින් යුතුව මනාව දේශනා කරන ලද ධර්මයක්ම වන්නේ ය. කවුරුන් විසින් හෝ ‘නුවණැසින්ම බැලිය යුතු’ ධර්මයක්ම වන්නේ ය.

‘එක් කාලයකට පමණක් සීමා නොවූ’ සියලු කල්හිම ඵල නෙළා ගැනීමට හැකි පරිදි’ දේශනා කරන ලද ධර්මයක්ම වන්නේ ය.

‘එව බලව‘ කී හෙයින් සියලු තැන් සැකහැර, අචල ශ්‍රද්ධාව උපදවා ගැනීම සඳහා ‘විසඳා පහදා ගත හැකි’ ධර්මයක්ම වන්නේ ය.

උපමා සහිතව පෙන්වා දුන් මේ ධර්මය සියලු ලෝක සත්වයාටම සාධරණ වූ, ඕනෑම කෙනෙකුන් විසින් කිසිදු බලපෑමකින් තොරව, පිළිපැදිය හැකි ධර්මයක්ම වන්නේ ය. නිවන්සුව පිණිස, අන් පිහිට නොපතා, ‘නුවනැත්තවුන් විසින් තමාගෙම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු’ ධර්මයක්ම වන්නේ ය. එබැවින් මේ අති උත්තම වූ, අති නිර්මල වූ ශ්‍රී සද්ධර්ම රත්නයට උපහාර වශයෙන් මාගේ ජීවිතය, ඉතාමත්ම ගෞරවයෙන්, ශ්‍රීපාද පත්ම මුලයෙහි තබා නමස්කාර පූර්වකව පුජා කරමි. පූජා වේවා! පූජා වේවා! පූජා වේවා!

සාධු ! සාධු ! සාධු !

මාගේ තථාගත තිලෝගුරු අමා මෑණී, සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ මේ නෛ¸ානිකවූ ශ්‍රී සද්ධර්ම රත්නය එපරිද්දෙන්ම පිළිපදින්නාවූ සම්‍යක් මාර්ගයට පිළිපන් ශ්‍රාවක සංඝරත්නය ‘යහපත් චරිතයකින්ම’ හෙබියවූවන් වන සේක! ‘ සෘජු පැවතුම්” වලින්ම සමන්විත වූ ඇත්තන්ම වන සේක! ‘නැණවත් පිළිවෙළකටම’ සෑම කටයුත්තකම යෙදෙන්නන්ම වන සේක.

ඔවා දෙන, ගැටලු පහදා දෙන ‘සුහද සාමීචියෙන්’ සාකච්ඡා කළ හැකි අය වලුන්ම වන සේක.

සෝවන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් නම් මාර්ග සහ ඵලයන්ට පැමිණියාවූද,’ අපහට පින් කෙතක් බඳු වුද මේ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ‘සියලුම පූජාවන්’ ලැබීමට සුදුසු වන සේක! සියලුම ‘දානයන්ට’ හා ‘සංග්‍රහ සත්කාර’යන් ලැබීමට සුදුසු වන සේක!

දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කිරීමට සුදුසු වන සේක! මෙවන් පරපුරෙන් පරපුරට මේ ශ්‍රී සද්ධර්ම ස්කන්ධය අපවෙත රැගෙන පැමිණියාවූද, අපගේම ධර්ම ගුරුවරයන් වූද, සියලු ලෞකික සැප අත්හැරියාවූද, පිරිසුදු කසාවර්ණ චීවරය දරා සිටින්නාවුද, ඒ ශ්‍රී සංඝරත්නයට උපහාර වශයෙන් මාගේ ජීවිතය ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රී පාද පත්ම මූලයෙහි තබා නමස්කාර පූර්වකව පූජා කරමි.

පූජා වේවා! පූජා වේවා! පූජා වේවා!
සාධු ! සාධු ! සාධු !

සියලු ලෝක සත්වයන්ටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණත් ලැබේවා!

සාධු ! සාධු ! සාධු !

 

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]