UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර දිබ්බැද්ද, මොරවින්න සුභාෂෝදය දහම් පාසල

පානදුර දිබ්බැද්ද, මොරවින්න සුභාෂෝදය දහම් පාසල

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම් කෝරළයෙහි , තල්පිටි දෙබැද්දේ ඓතිහාසික පානදුරා නගරවරයෙහි මොරවින්න ග්‍රාමයේ දර්ශනය වන සුධර්මාරාම පුරාණ විහාරය හා එයට අනුබද්ධ සුභාෂෝදය දහම්පාසල සදහම් ආලෝකය මෙන්ම ශාස්ත්‍රාලෝකයද සතර දිග්භාගයට මුදාහල සාධු නිකේතනයකි.

සුධර්මාරාම පුරාණ විහාර පරම්පරාව ශතවර්ෂ හතරකට අධික ඉතිහාසයකට උරුමකම් කියන බව විහාරවංශ කථාව වාර්තා කර ඇත. සිරිලක ඈත පිටිසර ගම් දනව්වක ජන්ම ලාභය ලැබූ පීක්කුලමේ සංඝරතන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ස්වකීය ආචාර්ය පරපුරෙන් පැවත ආ මොරවින්න සුධර්මාරාමය, වාද්දුව,දෙල්දූව ගණේවත්ත විහාරය යන උභය විහාරස්ථානවල ආධිපත්‍ය දරමින් ස්ව උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් බණ්ඩාරගම මස්විල ශෛලතලාරාමය, වාද්දුව මැලෑගම සුගතබිම්බාරාමය යන විහාරයන් ආරම්භ කොට එහි ශාසනෝද්දීප්තියට අපරිමිත සේවාවක් කොට 1855 දී අපවත්වී වදාළේ කහතුඩුවේ පඤ්ඤාරතන හිමිපාණන්ට චතුර් විහාරයේ ආධිපත්‍ය භාර ගැනීමට පසුබිම සකස් කිරීමෙන් පසුවය. කහතුඩුවේ පඤ්ඤාරතන හිමිපාණෝ ශාසන පුනර්ජීවනයට විසල් මෙහෙයක් සිදුකොට 1915 වසරේදී අපවත්වී වදාළහ. අනතුරුව විහාරස්ථ සදහම් ආලෝකයේ පහන් ටැඹක් සනිටුහන් කරමින් දෙල්දුවේ ඤාණරතන අධිකරණ නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විහාරයේ ආධිපත්‍යයට පත්වී වදාළහ. එහෙයින් කහතුඩුවේ පඤ්ඤාරතන මහා හිමිපාණෝ අපවත් වී වසර සියයක් සම්පූර්ණවීමේ ගුණසමරුව ප්‍රධාන, තත් විහාරයේ විහාරාධිපති හා ආධිපත්‍යය දැරූ ස්වාමින් වහන්සේලා අනුස්මරණය කිරීම හා සුභාෂෝදය දහම් පාසලට වසර 90 ක් පිරීමේ ඓතිහාසික අවස්ථාවක් මෙම වසරේදී සැමරීමට ලැබීම බොදුනු දනන්ගේ ගෞරව බහුමානයට පාත්‍රවී ඇති බව කිව යුතුය.

1925 ජුනි 27 වැනි ඉරුදින දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය දහම් පාසල සුභාෂෝදය තරුණ සමිතියේ මෙහෙය වීමෙන් උපත ලැබුවේ පොසොන් අසිරියේ ආශිර්වාදය ලබමිනි. කුඩා කටුමැටි ගොඩනැගිල්ලක සෙවණ ලබා ආරම්භ වූ මෙම ධර්ම විද්‍යාලය දරුවන්ට ආගම වර්ධනය ඉගැන්වීම සඳහාම යොමුවු කෙම්බිමක් විය. දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරයේ ආධිපත්‍ය දැරූ සිරිසුගත ශාසන සෝභන ධම්ම විනයාචාර්ය දෙල්දුවේ ඤාණරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශී‍්‍ර.බු.ව. 2467 වැන්නේ ඇසළපුර පසළොස්වක බුදදින 1924. 07.16 සුදම් අරම විහාර සෙවණේ සුභද්‍රෝදය තරුණ සමිතිය පිහිටුවූ අතර දහම් පාසල් පරිපාලන සංගමය යටතට පත්විය.

ඤාණරතන නා හිමිගේ කාලවකවානුව දහම් පාසලේ ආලෝකමත් අවධියක් ලෙසත්, අතිගරු ගොරකානේ හේමරතන නා හිමිගේ කාලය දහම් පාසලේ ස්වර්ණමය යුගයක් ලෙසත් වාර්තාගත වී ඇත. පණ්ඩිත ශාස්ත්‍රවේදීපර්යන්ති ශාසනහිත ධම්මාචරිය කරතොට විමලරතන හිමි හා පරණගම සෝමාලංකාර අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේලාගේ අනුශාකත්වය, මාර්ගෝපදේශකත්වය,ආශිර්වාදය නිසා මෙම දහම් පාසල අවට ගම්මාන රැසකට දහම් සිසිලස බෙදාදෙන තෝතැන්නක් බවට පත්වූ බව අවධාරණය කළ යුතුව ඇත.

දරු දැරියන් 75 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම දහම් පාසලේ ප්‍රථම ප්‍රධානාචර්යවරයා වූයේ ඇල්.ඇස්. ප්‍රනාන්දු මහතාය. සුචරිත ධර්මය වර්ධනය කිරීම, ආගම ධර්මය ඉගැන්වීම, පූණ්‍ය ක්‍රියාවන් සිදුකිරීම තුළින් එතුමාගේ මෙහෙවර සිහිපත් කරන්නේ ගෞරවාන්විත සතුටිනි. 1948 සිට 1987 මැද භාගය දක්වා දීර්ඝකාල පරිච්ඡේදයක් ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ කේ.එම්. පෙරේරා මහතා නිර්භීත ප්‍රෞඩ පෞරුෂයක් ප්‍රකට කළ දහම් පාසලේ ප්‍රගමනයට ශ්‍රේෂ්ඨ චරිතයක් වූ බව සිහිපත් කළ යුතුව ඇත. මෙම උත්කෘෂ්ඨ සේවාවේ ප්‍රතිඵලයක් වශයෙන් පානදුරා තොටමුණේ හොඳම දහම් පාසල වීමේ පළිහ හිමිවීම වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ධර්ම විභාග සමත්වීමේ කුසලානය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් දිනා ගැනීම, ඉංගී‍්‍රසි ධර්ම පරීක්ෂාණවලින් වර්ෂ 04 ක් ත්‍යාග දිනා ගැනීම, පානදුර ශාසනාරක්ෂක මණ්ඩලයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින දහම් පාසල බවට පත්වීම,අන්තර් දහම් පාසල් ගුවන්විදුලි තරගාවලියෙන් ජයගැනීම, බුද්ධ ධර්මය ඉංගී‍්‍රසියෙන් ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීම, දරුවන්ට කිරි වීදුුරුවක් දීමේ වැඩසටහන මෙම සුවිසල් සේවාවේ විපුල ප්‍රතිඵල වශයෙන් හැඳින්විය හැකිය.

1985 දී දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා පාලන අධ්‍යක්ෂ ,අනුශාසක ධුරයෙන් පිදුම් ලැබූ ූ ශාස්ත්‍රපති, ගුරු උපදේශක, බලංගොඩ සුදර්ශනාරාමාධිපති බලංගොඩ පියනන්ද හිමිපාණන්ගේ සුවිශේෂී සේවාව විශේෂයෙන් සිහිපත් කළ යුතුය. උන්වහන්සේ දහම් පාසල් පුනරුදයට ඉටුකළ මෙහෙය පිහිට විශිෂ්ට එකක්විය.

වත්මන් විහාරාධිපති කළුතර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දුවේ සුමන නාහිමිපාණෝ දහම් පාසලේ පාලන අධ්‍යක්ෂ ධුරයට පත්වී වදාළේ 1994 වසරේදීය. සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන පැවිදි අනුශාසක වශයෙන් කටයුතු කරමින් දහම් පාසලේ අභ්‍යුදය සඳහා සිසු සිසුවියන් නන්වැදෑරුම් සමාජ සත්කාරක කටයුතුවල නිරත කරවමින් සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ අනුශාක ධුරය හා දහම් පාසල් සංවර්ධන සමිතියේ සභාපතිධුරය දරමින්, ආචාර්ය මණ්ඩලයේ මෙන්ම සතර පේරුවේ දායක පින්වතුන්ගේ සාමූහික ශක්තිය ලබා ගනිමින් අද සුභාෂෝදය දහම් පාසල පානදුර බෞද්ධ පුරවරයේම ඉහලින්ම දිදුලන දහම් පාසල බවට පත්කිරීමට සමත්වීම බොදු දනන්ගේ ගෞරවයට හේතුවී ඇත. සුමන නාහිමියන්ගේ අනුශාසකත්වය, සදූපදේශදානය තුළින් ජනිත වු සුවිසල් සමාජ ආගමික මෙහෙවරක පියසටහන් ඔස්සේ යමින් සිරිලකට ප්‍රදීපස්ථම්බයක් බඳු තත්ත්වයකට මෙම දහම් පාසල අයෝමය හස්තයකින් ඔසවා තැබීමට ක්‍රියාකළේ සුමන නාහිමියන් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. සුමන නාහිමිපාණෝ 66 ක් පමණ වන ආචාර්ය මණ්ඩලයට හා 1500 ක් පමණ දරු කැළට ලබාදුන් ආශිර්වාදය දහම් පාසල් මාතාවගේ නොමැකෙන පියසටහන් වෙයි. 1 සිට 11 දක්වා පන්ති 34 කින් යුතුව ක්‍රියාත්මක වේ.

සුභාෂෝදය දහම් පාසල් මාතාවට මෙම වසරේ ජනවාරි 01 වැනි දින අනූ වසරක් සම්පූර්ණවීම කාගේත් ගෞරවයට ලක්වූ කාරණයකි. සුදම් අරම දහම් පාසල් මාතාවට තවත් ශත වර්ෂාධික කාලයක් සුවහසක් සිත් සතන් තුළ ගුණ නැණ වැඩීමට හැකිවේවා!.

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]