UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහගොඩකන්ද ඉසිපතනාරාමය

මහගොඩකන්ද ඉසිපතනාරාමය

වඳුරඹ සුනන්දාරාම විහාරස්ථානයේ වැඩ වසන ලද ඌරල රතනජෝති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍යවරයාණන් වූ යටලමත්තේ ඉන්දසර හිමි බද්දේගම ප්‍රදේශය සමඟ පැවැති සහසම්බන්ධතාවය මත 1923 ජුනි මසදී මෙම ස්ථානයට වැඩමකර සූරිගෙවත්ත වික්‍රමසිංහ මහ රාළහාමි මහතා පිරිනමා තනාදුන් කටුමැටි ගැසූ කුටියෙහි වස් විසීමෙන් මහගොඩකන්ද ඉසිපතනාරාමය ආරම්භ කර 2015 වසර වන විට 91 වසරක් සපුරා ඇත.

උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ නොමසුරු සහයෝගය මත එම ධර්මශාලාව චෛත්‍යරාජයා බෝධිය පැරණි ආවාසගෙය (වත්මන් බුදු මැදුර පිහිටි ස්ථානය) තනා ගනිමින් සතර පේරුවේ දායක දායිකාවන්ගේ ආගමික සේවාව නොපිරිහෙලා ඉටුකරන ලදී. වසර 43 ක් ආගමික සේවාවේ නිරත වූ උන්වහන්සේ 1966/10/01 වන දින අපවත් වූහ.

යටලමත්තේ ඉන්සදර හිමියන්ගේ පැවිදි ශිෂ්‍යවරයාණන් වූයේ 1945/04/29 වනදින පැවිදි බිමට පත්වූ අගලියේ ගුණානන්ද හිමියන්ය. උන්වහන්සේ 1966.10.01 යන දින සිට විහාරාධිපති තනතුර දරමින් දැනට වසර 48 කට වැඩි කාලයක් ප්‍රදේශවාසී දායක දායිකාවන්ට ඉමහත් සේවාවක් ඉටු කරති. 1950.06.07 වනදින උපසම්පදාව ලැබූ උන්වහන්සේ බුද්ධ ශාසනයට කරන ලද අතිමහත් සේවාව අගයමින් මහනුවර මල්වතු මහ විහාරීය මහානා වරප්‍රමුඛ කාරක මහ සංඝසභාව මගින්” විනය කීර්ති ශ්‍රී ඉන්දසර” ගෞරව නාමය සහිත ගාලු ගඟබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද පිදුම් ලබා ඇත.

මෙම කාලයේදී සංඝාවාසය සහිත දාන ශාලාව පැරණි බුදුගෙය (දැනට සීවලී විහාරය) ඉදිකරවා ඇති අතර පවිත්‍රතාවය හා අලංකාරයට ඇල්මක් දැක්වූ උන්වහන්සේ විහාරස්ථානය ඉදිරිපිට ඇති ප්‍රාකාරයද ඉදිකරවා ඇත. විහාරස්ථ දායක දායිකාවන්ගේ ළමයින්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා 1961 වසරේ “ශ්‍රී සුචරිතෝදය” නමින් දහම් පාසලක් ඇරඹීම පෙර පාසල් ළමුන් වෙනුවෙන් විහාරස්ථ ධර්ම ශාලාවේම “ශ්‍රී සුචරිත” නමින් පෙර පාසලද ආරම්භ කිරීම ඉතා වැදගත් සත් කාර්යයන් ලෙස පෙන්වා දිය හැක.

නා හිමියන් කරන ලද ශාසනික පිළිවෙත් අතර උතුම් කි‍්‍රයාමාර්ගය වූයේ තමාගේ සිසුවරයාණන් ලෙසින් 1969.12.29 වනදින බලගොඩ සිරිනිවාස නාමයෙන් පැවිදි බිමට දායාද කිරීමය. 1970.08.17 දින ගණේගම වීරසිංහ වලව්ව (වලව්කන්ද) ශ්‍රී ඉන්දසර ධර්මායතන සාමනේර භික්ෂූ අභ්‍යාස ආයතනය ආරම්භයත් සමඟ එහි ප්‍රථම කණ්ඩායම සඳහා සාමණේර භික්ෂූන් පස් දෙනෙකු ඇතුලත් වූ අතර දීප්තිමත් ශිෂ්‍යවරයාණන් වූයේ බලගොඩ සිරිනිවාස හිමියන් විය. එම ආයතනයෙන් ධර්මය හා විනය කරුණු හදාරමින් සුපේසල ශික්ෂාකාමී භික්ෂුත්වයක් ගොඩනගා ගනිමින් උසස් අධ්‍යාපනයද හදාරා විශ්ව විද්‍යාලයට ඇතුලත්ව උපාධිධරයෙකු වශයෙන් විශ්ව විද්‍යාල බිමෙන් නික්මුණු උන්වහන්සේ තමන් හැදු වැඩූ ශ්‍රී ඉන්දසර ධර්මායතන මාතාවට සේවය කිරීමට පිරිවෙන් ගුරු වෘත්තිය තෝරා ගනී. 1975.06.06 වනදින මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ තමන්ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරන දායක පිරිසේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට තමා කරන ගුරු වෘත්තිය ප්‍රමාණවත් නොවන බැව් සිතූ අතර රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට අදිටන් කර අයඳුම් පත් ඉදිරිපත් කෙරිණ.

එය මල්ඵල ගන්වමින් රජයේ උප ගුරුවරයෙකු වශයෙන් හ/ දෙබරවැව මහ විද්‍යාලයට 1986.02.20 දින පත්වීමක් ලැබුණි. එහි සේවය කළ කාලයේදී නිතර උනන්දු වූයේ ගම් පියසට ස්ථාන මාරුවීමක් ලබාගෙන ප්‍රදේශයේ දරු දැරියන්ට අධ්‍යාපනයක් ලබා දීමටය. සිතුවිලි සඵලවෙමින් 1990.03.01 දින බද්දේගම ගා/ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබිණ. එම කාලය තුළදී විහාරස්ථානයේ ආගමික කටයුතු වලටද ශාසනික වැඩකටයුතු වලටද තම කාලය, ධනය, ශ්‍රමය, වැයකළ උන්වහන්සේ වරෙක බද්දේගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධීකාරී ලෙසද වරෙක සභාපති ලෙසද වසර 12 ක සේවාවක් ඉටුකරන ලද අතර 1999.03.01 දින සිට බද්දේගම සමථ මූල මණ්ඩලයේ සමථකරුවකු ලෙසද වර්තමානයේ එහි සභාපති තනතුරද හොබවයි. ගා/ ක්‍රිස්තුදේව පිරිමි පාසලේ උපගුරුවරයෙකු වශයෙන් වසර 22 ක විදුහල්පති වශයෙන් 2012. 06. 06 දින සිටද කටයුතු කළ ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස හිමියෝ තවත් වසර දෙකක සේවය කිරීමට හැකියාව තිබියදීත් විහාරස්ථානයේ දියුණුව සඳහාත් දායද දායිකාවන්ගේ සේවයට කැපවීම සඳහාත් 2013.06.08 දින විශ්‍රාමය ලබා ගත්හ.

අගලියේ ගුණානන්ද නා හිමියන් දැනට වසර 69 ක පැවිදි දිවියක් ගතකරන අතර වයස අවුරුදු 84 පසු කරමින් සිටින බැවින් විහාරස්ථානයේ පරිපාලන කටයුතු විහාරාධිකාරි ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස හිමියනට දැනට වසර 15 කට පමණ ඉහතදී පවරන ලදී. උන්වහන්සේ ගුරු වෘත්තියෙන් ලැබූ ආභාෂයද, සමාජ ආශ්‍රයද යොදවා ගනිමින් විහාරස්ථානය සංවර්ධනයට හා දායක දායිකාවන්ගේ ගුණ දම් වර්ධනය කිරීමටත් ඇප කැපවෙති. ඒ කටයුතු සඳහා විහාරවාසී බද්දේ්ගම කෝසලහිමි, රාජගිරියේ සුගතසිරි හිමි හා ආඳාඋල්පත චන්දිම හිමි සහයෝගය නොඅඩුව ලබා දෙති.

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]