UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මඩබාවිට චන්දජෝති නාහිමි

හාපිටිගම් කෝරලේ මීරිගම ඓතිහාසික මාලදෙණිය රජමහා විහාරයේ ඉතිහාසය වළගම්බා රාජ්‍ය සමය දක්වා දිවයයි. මෑත යුගයේ එම ඓතිහාසික පින්බිම මහජනයා සඳහා පුදබිමක් බවට පත් කළේ මෙයට වසරකට පෙර අපවත් වී වදාළ පණ්ඩිතාචාර්ය මඩබාවිට චන්දජෝති නාහිමිපාණන් වහන්සේය.

මීරිගම හාපිටිගම් කෝරළේ මඩබාවිට දී කේ.ඒ. අල්විස් අප්පුහාමි සහ පොඩිහාමිනේ මාතාව නාහිමියන්ගේ මාපියන් වූහ. මේ කුමරුවා ගිහිකළ කේ.ඒ. පියසේන නම් විය.

පූර්ව කෘත පින් මහිම ඇතිව උපන් හෙතෙම ලාබාල වියේදීම ශාසනික දායාදය ලැබීය. (හාපිටිගම් කෝරළේ චිරප්‍රසිද්ධ හිමිපාණන් වහන්සේලා දෙනමක් වූ ලෙනදොර ශ්‍රී සුමනජෝති, වැවගෙදර සරණජෝති යන මහතෙරවරුන් ආචාර්යන් වහන්සේලා ය. පැවිදි දිවියට අවශ්‍යම වූ මූලික බණ දහම් හා වත් පිළිවෙත් තම ගුරුදේවයන් වහන්සේලා වෙතින්ම ලැබගත් චන්දජෝති හිමියෝ දියතලාවේ සුදර්මාකර පිරිවෙනට ඇතුළත්ව රාජකීය පණ්ඩිත දඹවින්නේ සුමනසාර නාහිමියන්ගේ සෙවනෙහි උසස් අධ්‍යාපනය ලදහ. පසුකලක උසස් අධ්‍යාපනය ලබනු පිරිස කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් විය. දක්ෂ සිසුවකු ලෙස භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කොට ශාස්ත්‍ර විශාරද පණ්ඩිත උපාධියද ලැබගත්හ.

1946 දී ස්‍යාමෝපාලී වංශික අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. චන්දජෝති යතිවරයන් වහන්සේ තම ගුරු පරපුරෙන් ලද විහාරස්ථානය වූ මාලදෙණි ශෛලකාන්තාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ලෝක ශාසනික සේවාවන් රැසකට මුල පිරීය. විහාරස්ථානය සකලාංග සම්පූර්ණ ලෙස දියුණු කළ අතර දායක කාරකාදින් ගේ කුදුමහත් ආගමික අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකළහ. සිසුන් රාශියක් ධර්ම අධ්‍යාපනය ලබන ධර්ම විද්‍යාලයක් ආරම්භ කළහ.

එයට අමතරව කහඳව රාජමහා විහාරය, හල්පේ සුධර්මාරාමය ආදී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විහාරස්ථාන තම ශිෂ්‍යවරයන් වහන්සේලාට භාර කොට තමන් වහන්සේ අනුශාසකත්වය පමණක් දැරීය.

කහඳව ගල්ලෙන් විහාරය පිහිටි ප්‍රවචනාකර පිරිවෙණ ද ආරක්ෂාකර ගනිමින් එය තම ශිෂ්‍යවරයන්ට පවරා දීමට නායක ස්වාමීන්ද්‍රයෝ ක්‍රියා කළහ. මෙම ලෝක ශාසනික සේවාවන් පිළිබඳව ප්‍රසාදයට පත් අස්ගිරි මහා විහාරීය මහානායක මාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝසභාව සමානච්ඡන්දයෙන් සද්ධර්ම කිර්ති ශ්‍රී සුමනජෝති යන ගෞරව නාම සම්මුතිය සහිතව සිය නෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමනු ලැබීය.

මීරිගම, විහාරාධිපති සංගමයේ ද දිගු කලක් අනුශාසක ධූරයද පසුව සභාපති ධුරයද දැරූහ. මේ අයුරින් ලෝක ශාසනික මෙහෙයක් සිදුකළ මඩබාවිට නාහිමියෝ මෙයට තුන් මසකට පෙර සිහිනුවණින් යෙදී අපවත් වී වදාළ සේක.එම පින්කම ශිෂ්‍ය පිරිස හා දායක සභාව විසින් පුණ්‍යානුමෝදනා කිරීමට සියක් නමක දානයක් පිරිනැමේ. අප නාහිමියන්ට නිර්වාණ සුවය ප්‍රත්‍යක්ෂ වේවා.


ඕමාරේ කස්සප අනු නාහිමි

කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහ විහාරාධිපති ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත “ඕමාරේ කස්සප නාහිමිපාණන් වහන්සේට” මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ධුරය තත් ත්‍රිංසත් වර්ගික විධායක කාරක සංඝ සභාවේ ඒකමතික තීරණයෙන් පිරිනමා ඇත.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අතිගරු මහානාහිමි ප්‍රමුඛ සානුනායක ත්‍රිංසත් වර්ගික විධායක කාරක සංඝ සභාව හමුවේ 2015 මැයි මස 18 වන දින ප.ව. 3.00 ට මාතර කොටුවේගොඩ රන් දූපතේ පිහිටි ශ්‍රී රෝහණ උපසම්පදා මූලස්ථානය වන ශ්‍රී රෝහණ උපෝසථාගාර රජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී ඊට අදාළ අක්තපත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.
 


විටියල කුසුමසිරි හිමි

මාතර, වැලිවේරිය මන්තින්දාරාම විහාරාධිකාරී ශ්‍රී දීපානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය “ජනසරණ කීර්ති ශ්‍රී ගුණරතන” විටියල කුසුමසිරි ස්වාමීන් වහන්සේ ජූනි මස හයවන දින අසූහතර-වන (84) වියට පා තබති.

1932 වසරේ ජූනි මස හය වන දා ( 06) ගම්පති දොන් අන්ද්‍රියස් වනිගසේකර වන්නිආරච්චි පියාණන්ට දාව දෝන සිසිලියානා කුමානායක මෑණියන් කොට සිරිදියස් වනිගසේකර පුතණුවන් මෙලොව ජනිත විය.

වයස අවුරුදු දහහතර (14) සපිරෙද්දී දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් සසුන් ගතවීමේ භාග්‍ය හිමිකර ගත්තේ ය.

1964 වසරේ දී සිරිදියස් වනිගසේකර කුමරුවා කඩවැද්දුව සිරිනිවාස නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් විටියල කුසුමසිරි නමින් ප්‍රවෘජ්‍යා දිවියට ඇතුළත්ව අතුරලිය සිරිනිවාසාරාමයේ වැඩ විසූහ.

ඉහළ විටියල ගුණරතන විදුහලෙන් සහ කපුදුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පැවිදිවීමෙන් පසු කොළඹ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.

පිරිවෙන් අධ්‍යාපනය නිමාකළ විටියල කුසුමසිරි හිමිපාණෝ මහානායක පුරිජ්ජල නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් නුවර වෑවත්තේ දේව රක්ඛිත නායක ස්වාමීන් වහන්සේ කම්මාචාර්යයන් වහන්සේ කොට 1953 වෙසක් මස 20 වන දා මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්ව උපෝසථාගාරයේ දී උපසපන් වූහ.

උපසම්පදා භික්ෂුවක ලෙස ශාසනික සේවයේ යෙදෙමින් අතුරලිය සිරිනිවාසාරාමයේ වැඩ විසූ විටියල කුසුමසිරි හිමිපාණෝ 1961 දී විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස වැලිවේරිය පුරාණ මන්තින්දාරාමයට වැඩම කළහ.

1986 වසර වනතෙක් විහාරස්ථානයට අඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම, ශ්‍රී දීපානන්ද ධර්ම මන්දිරය, සම්බුදු මාලිගාව, බෝධීන් වහන්සේ වටා ඉදිකර ඇති බෝධි ප්‍රාකාරය හා අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ප්‍රතිෂ්ඨාපනය, ශ්‍රී ගුණරතන දානශාලාව ශ්‍රී ඛේමානන්ද දෙමහල් සංඝාවාසය, විහාරස්ථානයට පිවිසෙන දොරටුවේ ඉදිකර ඇති මකර තොරණ, සිරි කුසුමසිරි ධම්ම පුස්තක මන්දිරය ආදී සියල්ල ඉදි කිරීම උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයන්ය.

ප්‍රදේශයේ දරු දැරියන්ට දහම් පාසලක්, දහස් සංඛ්‍යාත පිරිස් සුචරිතයට යොමු කරවන ශීල ව්‍යාපාරයත්, ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙනුවෙන්ම සිදු කරනු ලබයි.

උන්වහන්සේ විසින් විහාරස්ථානයට මෙන්ම මාතර ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට කළ අපමණ මෙහෙයට උපහාරයක් ලෙස ‘ජනසරණ කීර්ති ශ්‍රී ගුණරතන’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

මෙම ජූනි මස පළමුවන දා සිට විහාරස්ථව වැඩ වසන ස්වාමීන් වහන්සේලා විහාරස්ථ දායක සභාව, දහම් පාසල් දරු දැරියන් සහ ආචාර්ය මණ්ඩලය සමඟ ප්‍රදේශවාසීන් එක්ව උන්වහන්සේට සෙත් පැතීම සඳහා විශේෂ පින්කම් මාලාවක්ද සංවිධානය කොට ඇත.


මින්නානේ ඤාණසුමන හිමි

වැලිපැන්න, ඌරාගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති, ශ්‍රී සුනන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය මින්නානේ ඤාණසුමන හිමිපාණන් වහන්සේට මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මානන්ද යන ගෞරව නාමය සහිත බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පසුගියදා පිරිනමන ලදී.

බෙන්තොට, බෙන්වෙහෙර ගණේපුරාණ රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඌරාගොඩ ධම්මකිත්ති සහ ඌරාගොඩ ශ්‍රී සුනන්දාරාමාධීපතිව වැඩ විසූ වලගෙදර ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ ශිෂ්‍ය රත්නයක් වන අභිනව නාහිමියෝ ආගමික, ශාසනික, සංස්කෘතික හා සමාජයීය කටයුතුවලදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන ධර්මධර, විනයධර, සුපේශල ශික්ෂාකාමී සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් මහා යතිවරයෙකි.

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]