UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපියාණන් වහන්සේ පරිසරය ගැන දැක්වූ ආකල්පය

බුදුපියාණන් වහන්සේ පරිසරය ගැන දැක්වූ ආකල්පය

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමෙන් පසු ලෝ වැස්සන්ගේ මෙලොව පරලොව සුගතිය උදෙසා ක්‍රියා කළේ කෙසේදැයි ඉතා හොඳින් ප්‍රකට කෙරෙන අවස්ථා ත්‍රිපිටකයෙන් පෙනේ. උන්වහන්සේ ක්‍රියාකළේ මෙලොව වැස්සන්ගේ හිතසුව පිණිසය. ඒ සඳහා අවශ්‍ය කරන සෑම අංශයක් පිළිබඳව හුදී ජනයා වෙත අවබෝධ කර දෙන්නට උන්වහන්සේ වෑයම් කළ සේක. මේ කාරණාවේ දී විශේෂ සැලකිල්ලක් අප ඇසුරු කරන ජීවත්වීමට අවැසි වන්නා වූ පරිසරය කෙරේ දක්වා ඇති බව පෙනේ. මේ සඳහා උන්වහන්සේ කෙතරම් විමසිලිවත්ව ක්‍රියාකළේද යත් සමහර අවස්ථාවලදී පරිසරයේ ආරක්ෂාව හා ඉදිරි පැවැත්ම උදෙසා භික්ෂූන් වහන්සේලාට විනය නීති පැනවීමෙන් පෙනී යයි.

ලෝකයේ පහළ වු අන් ශාස්තෘන් වහන්සේලා අතුරින් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා රැසක් නිසා වැදගත් වේ. මේ අතුරින් වැදගත්ම කාරණාවක් නම් උන්වහන්සේගේ ජීවන චරිතයට පරිසරය මනාව බද්ධ වී තිබීමයි. උන්වහන්සේ ඉපදුණේ කිඹුල්වත් නුවරටත් දෙව්දහ නුවරටත් අතරැති ලුම්බිණි නම් මනරම් සල් උයනෙහිදීය. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුකම් කී පිරිසක් ජීවත් වු නිසාත් රාජකීයයන් පවා ඒවාට යොමු වී ක්‍රියාකළ නිසාත් බෝසත් ළමා වියේදීම උන්වහන්සේ ඇසුරු කළේ ස්වභාව සෞන්දර්යයෙන් අගතැන්පත් උයන්වතුය. දෙවැනි කාරණාව නම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ උරුවෙල් දනව්වේ අසල පිහිටි වනමැදය. සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම පිණිස උන්වහන්සේ වර්ෂ 06 ක් තරම් දීර්ඝ කාලයක් වනය අසුරු කරමින් දුෂ්කර වූ ප්‍රතිපදාවන් පිරූ සේක. සම්බුද්ධත්වයෙන් පසුවද උන්වහන්සේ සති 07 ක් පුරාවටම උන්වහන්සේ තවදුරටත් වනය ඇසුරු කළේ තමා ලත් ලෝකෝත්තර විමුක්තිය සඳහා අතිශය දායකත්වයක් ඉසිලූ නිසාවෙනි. කළගුණ සැලකීමේ මාහැඟි ගුණය ලොවට පෙන්වාලූ සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව ලෝසතුන් කෙරෙහි කරුණාවෙන් තමන් නිවන් මඟට වැඩියාසේ සසර සැරිසරන සත්ත්වයන්ගේ මදමාන දුරලා නිවන් මඟට පමුණුවාලීමේ බුදුකිස සඳහා බරණැසට වැඩම කළේ, උන්වහන්සේ බොහෝ අවස්ථාවලදී පරිසරය ඇසුරු කළ අතර උන්වහන්සේගේ පරිනිර්වාණය ද සිදු වූයේ පාවා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදීය. මේ අනුව උන්වහන්සේගේ ජීවිතය සමඟ පරිසරය අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පැවති බව අපට මනාව පැහැදිලි වේ.

සමහර අවස්ථාවලදී ධර්ම කාරණා විස්තර කර දීමේ දී පරිසරය උපයෝගී කරගෙන ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම අතිශය දුෂ්කර බවද මේ ලෝකය පිළිබඳව තමා අවබෝධ කරගත් කාරණා ආදිය නැවත අයෙකුට ප්‍රකාශ කිරීමේදී එහි අපහසුව ආදී කාරණාවන් වලදි පරිසරයේ ඇති ගස්වැල් මෙන්ම පසද උපමා කොට ගෙන ඇත. තවත් කරුණක් වන්නේ උන්වහන්සේ පහළ වූ සමයේදි ජීවත් වූවෝ ගස්,ගල් පර්වත ආදී දෑ ඇසුරු කරමින් ඒවා පිළිබඳ දේවත්වයක් ආරෝපණය කර ගනිමින් වැඳුම් පිදුම්වලට ලක් කළහ. (බහුං වෙ සරණං යන්ති– පබ්බතානි වනානි ච, ආරාම රුක්ඛ චේත්‍යානි– මනුස්සා භය තජ්ජිතා –ධම්මපදය) නමුදු එසේ ක්‍රියා කිරීමෙන් කිසිඳු සාර්ථකත්වයක් ලද නොහැකි බවත් එය නිරර්ථක ක්‍රියාවක් බවත් උන්වහන්සේ දේශනා කළ සේක. (නේතං ඛෝ සරණං ඛේමං –නේතං සරණ මුත්තමං ,නේතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති – ධම්මපදය) මනුෂ්‍යයන් ජීවත්වීමේ දී හිතකර වන්නේ හොඳ වාතාශ්‍රයක් ඇති ස්ථාන සොයා ගැනීමයි. මෙහිදී ගස් කොළන් වලින් යුක්ත ස්ථානයක් නම් තමන්ගේ නිවස හා ඒ අවට පරිසරය මනස්කාන්ත දර්ශනයක් වනු ඇත. මෙවන් ස්ථානයක ජීවත් වීමට ලැබේ නම් එවන් වූ ස්ථාන ‘වාසය කිරීමට හොඳ පරිසරයක් ලෙස මහා මංගල සූත්‍රයේදී මංගල කාරණාවන් ගණයට අදාළව සම්බුදු හිමියන් වර්ණනා කර ඇත . (පතිරූප දේස වාසෝච......ඒතං මංගල මුත්තමං)

නිවන් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේදී අප ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේ අවධාරණය කිරීමේදී සොබාදහමේ අප ඇසුරු කරන දේ උපමා කොට ඇත. එහිදී උන්වහන්සේ යම්සේ බඹරෙකු මල නොතලා මධුපානය කරන්නාක් මෙන් මුනිවරුන් ගමෙහි හැසිරෙන බව දේශනා කළ සේක. (යථාපි භමරෝ පුප්ඵං – වණ්ණ ගන්ධං අහේඨයං, එලේති රසමාදාය–ඒවං ගාමේ මුණි චරේ – ධම්මපදය) තවත් තැනෙක සිත දමනය කිරීමේ ක්‍රියාවලියේදී (සචිත්ත පරියෝදපනං) භාවිතා කරන්නට යෙදුන උපදේශය වන්නේ “ජලය අවශ්‍ය වන්නෝ ජලමාර්ග ඔස්සේ එය කුඹුරු කරා ගෙන යන්නේ කෙසේද? දුණු වඩුවෝ දුන්න සඳහා ලීය නවන්නේ යම් සේද? ඒ අයුරින් තම සිතද දමනය කිරීමට පණ්ඩිතයා උත්සාහ ගන්නා බව“ සඳහන් කිරීමයි.

උදකං හි නයන්ති නෙත්තිකා –උසුකාරා නමයන්ති තේජනං, දාරුං නමයන්ති තච්ජිකා –අත්තානං දමයන්ති පණ්ඩිතා – ධම්මපදය) අප ජීවත් වන කාල පරාසය තුළ අපට හොඳ හුස්මක් ගැනීම සඳහා බොහෝ සෙයින් උපකාරි වන්නේ සොබාදහමයි. ඒ නිසා අප වුව ක්‍රියා කළ යුත්තේ පරිසරය කෙරෙහි අප්‍රමාණ සැලකිල්ලෙනි. බුදුන් වහන්සේද මේ කාරණාව තම සව්වන් උදෙසා දේශනා කර ඇත. තමා දිනක් වුව යම් වෘක්ෂයක් අභිමුව දිවි ගෙවූයේ නම් ඒ ගසෙහි අත්තක් හෝ කඩා විනාශ කර නොදැමිය යුතු බව උන්වහන්සේ දේශනා කොට වදාළ සේක. (යස්ස රුක්ඛස්ස ඡායාය– නිසීදෙය්‍ය සයෙය්‍යවා, න තස්ස සාඛං හඤ්ඤෙය්‍ය– මිත්තදුබ්බෝ හි පාපකා පේතවත්තුප්පකරණය) යමෙක් එසේ කරන්නේ නම් ඔහු මිත්‍ර ද්‍රෝහියෙකු ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින්ම වන රුක්මුල් ඇසුරු කළ බව ත්‍රිපිටකයේදී මනාව පැහැදිලි වේ. මෙහි වැදගත් අවස්ථාවක් නම් පාරිලෙය්‍ය වනයේදි වනසතුන්ගෙන් ඇප උපස්ථාන ලැබ වස් තුන් මාසයක් ගත කිරීමයි. තමන්ට වඩා උසස් හෝ තමන් සේ සම වන යම් පුද්ගලයෙක් ඇසුරු කරන්නට නොලැබෙන්නේ නම් හුදෙකලාව ජීවත්වීම සුදුසු බව උන්වහන්සේ මෙහි දී දේශනා කළ සේක. (චරං චේ නාධිගච්ඡෙය්‍ය– සෙය්‍යං සදිසමත්තනෝ, ඒක චරියං දළ්හං කයිරා, නත්ථි බාලේ සහායතා – ධම්මපදය) බුදුරජාණන් වහන්සේ පමණක් නොව මුල් කාලීන භික්ෂූන් වහන්සේද වනලැහැබ’, රුක්මුල් ආදී ස්ථාන භාවනානුයෝගීව වැඩ විසීම සඳහා භාවිත කර ඇත. මේ බව චුල්ලවග්ග පාලියේ සඳහන් වන්නේ මෙසේය. “තේ ච ඛෝ භික්ඛවේ තහිං තහිං විහරන්ති, අරඤ්ඤෝ රුක්ඛමූලේ පබ්බතේ කන්දරායං ගිරිගුහායං සුසානෙ වනපනේථ අජ්ඣෝකාසේ “ මෙහි ඇති බොහෝ ස්ථාන ස්වභාව ධර්මයාගේ නිමැවුම්ය. මීට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි කරුණාවෙන් සද්ධර්ම චාරිකාවේ යෙදීමේදී හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙහිදීම සම සිතින් වැඩි සේක. මෙහිදී වර්ෂා සමයේ ගමන් බිමන් යෙදීම අතිශය දුෂ්කර කාර්යයක් විය. තුන් සිවුරු වැස්සට තෙමී මඩ ඉසී දකින්නන්ගේ සිත් තුළ ගෞරවය ඇති වන්නා වෙනුවට කළකිරීමක් කෝපයක් උපදවාලන අවස්ථාවක් විය. විවිධ අවස්ථාවල දී මේ කරුණ මුල් කරගෙන මිනිසුන් උද්ඝෝෂණ කළ අතර වස් විසීමේ සික පදය අනුදැන වදාරන්නට මේ සිදුවීම හේතු සාධක විය “ මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථයී හි නාම සමණසාකියපුත්තියා හේමන්තම්පි ගිම්හානම්පි වස්සානම්පි චාරිකං චරිස්සන්ති. හරිතානි තිණ්ණානි සන්නිමද්දන්තා ඒකින්ද්‍රිය තිණ්ණානි විහේඨයන්තා බහුද්දකෝ පාණි සංජාතං ආපාදෙන්තා – මහාවග්ගපාලි) මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම් අනුමත කරමින් භික්ෂූන් වහන්සේලාට වර්ෂා කාලයේදී ධර්ම චාරිකාවේ නොවැඩ ආරාමයන්හි වැඩ වසන ලෙස අනුදැන වදාළ සේක. උන්වහන්සේ සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රයෙන් දේශනා කොට වදාළේ තමන්ගේ සංවර්ධනය කෙසේ සාක්ෂාත් කරගන්නේද එසේම පරිසර සංවර්ධනයද මනාව කළ යුතු බවයි. එහි දී උන්වහන්සේ ඒ සඳහා කළ යුතු විශේෂිත වු ක්‍රියාවන් රාශියක් පෙන්වා දී ඇත.

ආරාමරෝපා වනරෝපා
යේ ජනා සේතුකාරකා
පපං ච උදපානං ච
යේ දදන්ති උපස්සයං
නේසං දිවා ච රත්තෝච
සදා පුඤ්ඤා පවඩ්ඪති

ඉහත ගාථාව ඇසුරින් පෙන්වා දෙන්නේ උයන්වතු වැවීමත් කැලෑ වැවීමත් මාර්ග සංවර්ධන කටයුතු කිරීමත් ජල පහසුව සැපයීමත් නිවාස තනා දීමත් නිතර පින් ලැබෙන පින් වැඩෙන පින්කමක් බවයි.අනුන්ගේ හිත සුව පිණිස ඉහත කරුණු සාධනයේ යෙදෙන ලෙස උන්වහන්සේ ශ්‍රාවක අප සැමට දේශනා කළ සේක. ඊට අමතරව රුක් විනාශය ඇවැත් සිදු වන ක්‍රියාවක් බව භික්ෂූන්ට දේශනා කළ අතර ඒ සඳහාම ශික්ෂාපදයක් දේශනා කර ඇත. මීට අමතරව උන්වහන්සේ පරිසරයට කෙතරම් ඇල්මක් දැක්වුයේද යත් තණකොළවලට කෙළ ගැසීම හා මුත්‍රා කිරීමද තහනම් කර ඇත.සේඛියා හි දී එකී ශික්ෂාපදය පනවා ඇත. (න හරිතේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛේලං වා කරිස්සාමීති සික්ඛා කරණීයා) මීට අමතරව එය පචිති නම් වූ ශික්ෂාපදයන් තුලද අන්තර්ගත කොට ඇත. (යෝ අනාදරියං පටිච්ච උදකේ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛේලං වා කරෝති ආපත්ති දුක්කටස්ස –චුල්ලවග්ගපාලි( මේ අනුව බුදුසමය පරිසරය ඇසුරු කරගෙන වැඩුණු දහමක් බව මනාව පෙනේ. පරිසරය පමණක් නොව එහි අසිරිය තව තවත් දියුණු තියුණු කරන සත්ත්ව කොට්ඨාසයද වැදගත් බව පෙන්වා දෙමින් පරිසරය සුරුකීමේදී සත්ව සමූහයා කෙරෙහිද හිතකර ආකල්පයක් දරන ලෙස දේශනා කර තිබේ.

සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත කී කරුණු වර්තමාන සමාජයටද අතිශයින් සම්බන්ධ කළ හැකි මනාය. එසේ හිතකර ලෙස ජීවත්වීමට උත්සාහ කරන්නේ නම් ජීවත්වීමට හැකි සුවදායී පරිසරයක් උරුම කරගත හැකිය. අපද උන්වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කර අපේ මෙලොව ජීවිතය සාර්ථකව වාසනාවන්ත කර ගනිමු.

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]