UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යාපනයේදී ප්‍රථම ජගත් බොදු සමුළුව

යාපනයේදී ප්‍රථම ජගත් බොදු සමුළුව

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය සහ ශ්‍රී ලාංකික බෞද්ධ සංවිධානයන් රැසකගේ එකමුතුවෙන් ජාත්‍යන්තර තලයේ බොදු සමුළුවක් යාපනයේදී පැවැත්වීමට දෙරටේම බෞද්ධ හා සමාජ සංවිධාන කීපයක් මුල්ව ඇත.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.

මෙම සමුළුව 2015 මැයි20 වන දින දවස පුරා යාපනය විරසිංහම් ශාලාවේදී දෙරටේම බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේද සහාගිත්වය ඇතිව උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බව, එම සමුළුවේ ප්‍රධාන සංවිධායක මදුරාසි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයයේ මහාචාර්ය ත්‍රිපිටකාචාර්ය මදුරෙයි වාඩ්පට්ටි බෞද්ධ විහාරස්ථානාධිපති මදුරෙයි බෝධිපාල නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

සහජීවනය

මහා කරුණා ජාත්‍යන්තර බොදුසමුළුව “නමින් නම්කර ඇති මෙම බෞද්ධ සම්මේලනයට ඉන්දියාව, සිංගප්පූරුව , බුරුමය , චීනය, ජපානය, කොරියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවලට අයත් ථෙරවාදි මහායාන ඒකයාන සහ බුද්ධයාන යන කොටස්වලට සම්බන්ධ බෞද්ධ සංවිධාන රැසකට අයත් බැතිමතුන් සහභාගිවන බව දැනගන්නට ඇත.

බුදුන් වහන්සේගේ අපරිමිත වූ “මහා කරුණා ගුණය” ඉස්මතු කරමින් ඉදිරිපත් කෙරෙන අධ්‍යාත්මික, විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වැදගත්කමින් යුත් පත්‍රිකා ගණනාවක් මෙම සමුළුවට ඉදිරිපත් වන අතර, ඒවායින් පළකෙරෙන අදහස් ලෝක සාමය හා ජාතින් අතර සංහිඳීයාව වර්ධනය කිරීම පිණිස ලෝවැසි ප්‍රජාව අතරට සමාජගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතව තිබිණි. සමුළුවේදී ආරම්භක සැසිවාරය උතුරු පළාත් ආණ්ඩුකාර එච්. එම්. පී. එ ස්. පලිහක්කාර මහතා ප්‍රමුඛ එහි දේශපාලන නායකත්වයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන අතර, එම අවස්ථාවට ආරාධිත විශේෂ අමුත්තා වශයෙන් බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත්පාලන හා ප්‍රජාතන්ත්‍ර පාලනය පිළිබ ඳ ඇමැති කරු ජයසූරිය මහතා සහභාගිවනු ඇත.

නැවත පදිංචිකිරීමේ, පුනරුත්ථාපන හා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතාද එම අවස්ථාවට සමස්ත හින්දු ප්‍රජාව නියෝජනය කරමින් ඊට සහභාගි වනු ඇත.

ගතවූ වසර කීපයතුළ මෙම බොදු සමුළුව ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක් මුල්කර ගෙන පැවැති අතර, ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වය පහව යාමෙන් පසුව බහු විධ ජාතින් හා ආගම් රැසක් පවත්නා ශ්‍රී ලංකාව තුළ පවත්නා ජාතික සමඟිය හා සංහිඳීයාව අගය කරනු වස් 2015 ට නියමිත සමුළුව ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹදී පැවැත්වීමට මුලින් යෝජනාව තිබුණි.

ඒ සම්බන්ධයෙන් කතිකාවන් පැවැත්වෙන අතරතුර, යාපනය තමිල් බෞද්ධ සංගම් සහ යාපනය විශ්වවිද්‍යාලය මගින්ද කරන ලද ඉල්ලීමකට ඇහුම්කන්දීමක් වශයෙන් මෙවර සමුළුව සිංහල හා දෙමළ බැතිමතුන් වැඩි පිරිසකටද සහභාගිවීමට හැකිවනු පිණිස යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට පියවර ගත් බවද මහාචාර්ය මදුරෙයි බෝධිපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශකර සිටියි.

ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ මූලිකත්වය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් දරනු ලබන අතර, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය නාගොඩ අමරවංශ හිමිපාණන් අමරපුර මහා සංඝසභාවේ ලේඛකාධිකාරී කිළිනොච්චි විහාරය සහ කොළඹ දෙමටගොඩ නාග විහාරාධිපති ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි හිමිපාණන් සහ කොළොන්නාව මංගල විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමිපාණන් ද දෙමළ බසින් ධර්ම සන්නිවේදනය කරන හිමිපාණන් වහන්සේලා වශයෙන් මෙම සමුළුවට සහභාගිවීමට ආරාධනා කරනු ලැබ තිබිණි. ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ ප්‍රධාන කළමනාකාර තමිල් බෞද්ධ සංගමයේ ප්‍රධාන ගිහි අනුශාසක තමිල් පණ්ඩිත් ආචාර්ය මඩුළුගිරියේ එන්. විජේරත්න මහතා සමුළුවේ පවත්නා සියලුම දේශන දෙමළ බසට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ඇත.

බෞද්ධයා

මෙම බොදු සමුළුවට සහභාගිවනු පිණිස ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක් නියෝජනය කරමින් විද්වත් බෞද්ධ බැතිමතුන් හැත්තෑවක් පමණ පිරිසක් (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනටපැමිණෙනබවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති. ඒ සමඟම තමිල්නාඩුවෙන් ස්වාමින්වහන්සේලා කීප නමක්ද වැඩම කරනබවද උන්වහන්සේ සඳහන් කරති.

ඉන්දියාවෙන් බුද්ධ ධර්මය බිහිවූ නමුත්, එය සියවස් ගණනාවක් තිස්සේ ඉතා හොඳීන් මුල්බැස ගත්තේත්, සංරක්ෂණයවී ඇත්තේත් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ බව ප්‍රකාශකරන උන්වහන්සේ මෙරට පවතින්නේ නිර්මල ථෙරවාද බුද දහම වන බැවින් ශ්‍රී ලංකාවටත් එහි වෙසෙන ජනතාවටත් සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානය සසුන පවතින තාක් හිමිවන බවද, ශ්‍රී ලංකා ජනරජය බුදුදහම සුරක්ෂිත කිරීමට හා පෝෂණය කිරීමට සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ප්‍රතිපාදන සලසා තිබීම තමන් මෙන්ම ඉන්දියානු බොදුනුවන් මහත්සේ අගය කරන බවද උන්වහන්සේ කියා සිටියි.

ඉන්දියාවේ වුසු ප්‍රතාපවත් අධිරාජයකු වූ අදටත් ගරු කරන අශෝක මහ රජුගේ පුත්‍ර රත්නයක් වූ අරහන්ත මහා මහින්ද හිමිපාණන් වහන්සේ, දේවානම් පියතිස්ස රජුන් සමඟ එක්ව ගෞතම සම්බුදුන් දෙසා වදාළ තෙවලා දහම මෙරට ස්ථාපිත කිරීමෙන් දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ද, ශ්‍රී ලංකාවාසීන් තම දෙවැනි බුදුන් ලෙසින් තවදුරටත් අරහන්ත මහා මහින්ද තෙරුන් වහන්සේට දිවිහිමියෙන් කරන සැලකීම තමන් මහත්සේ අගය කරන බවද උන්වහනසේ ප්‍රකාශ කර සිටියි.

ඒ වගේම භික්ෂුණී ශාසනය මෙරට තුළ ස්ථාපිත කිරීමට මෙහි වැඩම කළ, උන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහා ථෙරණිය, අශෝක අධිරාජයාණන්ගේ මෙහෙයවීමෙන් දඹදිව බුද්ධගයාවේ විරාජමානව වැඩ වෙසෙන ශ්‍රී මහා බෝධීන් ව හන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට පැමිණිමෙන් කරන ලද සේවයට, එම සිදුවීම සිදුව සියවස් විසිපහක් ඉක්ම ගියත් වාර්ෂිකව මිහිඳු පෙරහර සහ පොසොන් උත්සවය පැවැත්වීමෙන්ද, සෑම උඳුවප් මාසයකම සංඝමිත්තා පෙරහර පැවැත්වීමෙන්ද ශ්‍රී ලංකාවාසීන් කරනු ලබන කෘතවේදීත්වය සමස්ත ඉන්දිය ජනතාව ප මණක් නොව ලෝකවාසී ජනතාවද මහත්සේ අගය කරන බවද මහාචාර්ය බෝධිපාල හිමිපාණන් අවධාරණය කර සිටියි.

මේ සියලු කාරණා සිහිපත් කරමින් මෙතෙක් කලක් ඉන්දියාවේ පමණක් පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, “ශාක්‍යසිංහ ගෞතම බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය “මූලික කරගනිමින් එය ලෝක සාමයට ඉවහල් වන පරිදි, මෙම වසරට නියමිත සමුළුව, ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට හැකිවීම සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ ඉමහත් සතුටට හේතුවනු නියත යැයිද පැවසිය.

ලෝක සාමය

මෙම සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්විමේ වැදගත්කම ගැන චෙන්නායි වෙසෙන ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා ලක් රජයට දැන්වූ අවස්ථාවේ පටන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මහත් උනන්දුවක් හා උද්‍යෝගයක් ගෙන එම සමුළුව මෙරට දී සාර්ථකව පැවැත්වීම පිණිස අවශ්‍ය කරන යටිතල පහසුකම් හා සියලු අනුග්‍රහයන් ලබාදුනි.

ඒගැන කෘතඥතාව තමන් බෙහෙවින්ම අගයකරන බවත්, එම කටයුතු නිසියාකාරයෙන් ඉටු කිරීම පිණිස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි මහතා ප්‍රමුඛ නිලධාරී පිරිසක් ආරක්ෂක ප්‍රධානීන්ද ගත් උත්සාහයන් මහත් ගෞරවයෙන් හා ස්තුතිපූර්වකව සිහිපත්කරන බවද උන් වහන්සේ ප්‍රකාශ කර සිටියි.

මහා කරුණා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය පැවැත්වීමට පෙර මැයි19 වැනිදා පස්වරුවේ එම සමුළුවට සහභාගිවන නියෝජිත පිරිස, යාපනය ශ්‍රී නාග විහාරාධිකාරී මීගහජඳුරේ සීලවිමල හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බෞද්ධාගමික පුද පූජාවන් සහ වතාවත්වලට සහභාවන අතර, සමස්ත ලෝකවාසීන්ට සෙත් ශාන්තිය පතා සියල්ලන්ගේම සහභාගිත්වයෙන් මහා ආනුභා සම්පන්න සෙත් පිරිත් සජ්ඣායනාවක්ද එහිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

සමුළුව වෙනුවෙන්, යාපනයට වැඩම කරන මහා සංඝයා වහන්සේ වෙනුවෙන් දානමය පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට යාපනය නාග විහාරස්ථ දායක සභාව - යාපනය තමිල් බෞද්ධ සංගමය, යාපනයේ ආරක්ෂක සේවාවන්හි නියැළී යුද නාවුක ගුවන් හමුදාවන්ට හා පොලිසියට සම්බන්ධ සියලුමදෙනා මහත් උනන්දුවෙන් කටයුතු කරන බව සිරි විමල හිමිපාණන් දන්වා සිටියි.

යාපනය අර්ධද්වීපයේ වෙසෙන බෞද්ධ ජනතාව ප්‍රමුඛ සෙසු ආගම්වලට අයත් උගතුන් බුද්ධිමතුන් මෙන්ම දේශපාලන නායකත්වයද,යාපනය විශ්වවිද්‍යාලයයේ ආචාර්ය භවතුන් සහ සිසුන්ද යාපනය නගරයේ මෙවැනි සමුළුවක් පැවැත්වීම ගැන ඉමහත් සතුටට පත්වන බවත්, එම උත්සාහය සාර්ථක කර ගැනිම පිණිස මේ දිනවල සැවොම එක්ව කටයුතු කරන බවත් යාපනය තමිල් බෞද්ධ සංගමයේ සභාපති රවිකුමාර් ධර්මලිංගම් මහතා ප්‍රකාශකර සිටියි.

මහා කරුණා ජාත්‍යන්තර බොදු සමුළුව යාපනයේ පැවැත්වීම උතුරු පළාතේ වෙසෙන ජනතාවට දක්වන ලද විශේෂ ගෞරවයක් ලෙස තමන් සලකන බවත්, මේ තුළින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් හා සිංහල දෙමළ ජාතීන් අතර සමඟි සම්පන්න භාවයක් ඇතිව තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර එච්. එම්. ජී. එස්. පලිහක්කාර මහතා ප්‍රකාශ කරයි.

එම සමුළුවේ කටයුතු අරමුණු කරගත් ආකාරයෙන් සාර්ථක වනු දැකම තමන්ගේත් තම කාර්ය මණ්ඩලයේත් බලාපොරො-ත්තුව බවත් ඒ වෙනුවෙන් සියලු භේදයන්ගෙන් තොරව කාගෙත් සහයෝගය හා අනුග්‍රහය ලැබෙන බවද සමුළුවේ සමාරම්භක අවස්ථාවට හා අනතුරුව පැවැත්වෙන මහා සභාවට උතුරු පළාතේ දේශපාලන නායකත්වයද සහභාගීවීම විශේෂත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සබඳතා

ශ්‍රී ලංකා ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන අංශය, සමුළු නියෝජිතයන් මහත් හරසර ඇතිව පිළිගෙන අනතුරුව සුඛෝපභෝගි බස් රථ වලින් එම නියෝජිතයන් යාපනය දක්වා රැගෙන යෑමට නියමිතව තිබුණි.

සමුළුවට සහභාගිවන පිරිස සමුළු කටයුතු නිමවීමෙන් අනතුරුව නාගදීප පුදබිම වෙතද, සඟමිත් තෙරණිය වැඩමකළැයි සැළකෙන දඹකොළ පටුන ඓතිහාසික බෞද්ධ මහා විහාරය ප්‍රධානව යාපනය අර්ධ ද්විපයේ පිහිටි ඓතිහාසික ස්මාරක සහ නල්ලූර් කෝවිල් පුදබිමට ද යනු ඇත.

පසුදින අනුරාධපුරයට පැමිණෙන පිරිස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳ පුදාගැනීමෙන් අනතුරුව එහි වැඩවෙසෙන මහා සංඝයා සමඟ සුහද සාකච්ඡාවක් පවත්වන අතර රන්ගිරි දඹුලු පුදබිමටද, ඉන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මන්දිරය ප්‍රමුඛ මහනුවර ප්‍රදේශයේ පිහිටි සෙසු පූජණීය සිද්ධස්ථානයන්ද වැඳ පුදා ගෙන කොළඹට පැමිණෙනු ඇත.

මැයි 23 වැනි දින කොළඹ හා අවට සිරි නැරඹීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අපේගම පරිශ්‍රය නැරඹීමෙන් අනතුරුව, ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සූදානම් කළ, ඉංග්‍රීසි බසින් හඬ කවන ලද ආසියාවේ ආලෝකය පදනම මඟින් නිෂ්පාදනය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නැරඹීමටද එහි සභාපති නවීන් ගුණරත්න මහතා ඔවුනට අවස්ථාව සලසා දී ඇත.

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]