UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජාච පූජනීයානං

 

නාඋයනේ අරියධම්ම අනු නා හිමි

අම්බලන්ගොඩ කහව ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මූලස්ථානය කොටගත් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පිහිටා තිබෙන ආරණ්‍ය සේනාසන 180 ක් පමණ වූ යෝගාශ්‍රම සංස්ථාවේ වර්තමාන ප්‍රධාන අනුශාසක යෝගාශ්‍රමාධිපති අග්ගමහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකවාගීශ්වර ශාසනධජ සිරි ජිනවංස ඤාණාරාම වංසාවතංස සාසනසෝභන මහෝපාධ්‍යාය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය ගැන කරුණු බිඳක් මෙසේ ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි මැල්සිරිපුර පන්සියගම නාඋයන ගමෙහි දිසානයක අධිකාරම් පෙළපතේ දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා පියතුමා සහ මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා මව යන පින්බර මව්පිය දෙපළගේ පුත් දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා නමින් 1939 අප්‍රේල් මස 24 වැනි දින උපත ලැබීය.

අවුරුදු 17 ක් අධ්‍යාපනය නිමකොට 1956 ඔක්තෝබර් 27 වැනි දින නා උයන ආරණ්‍යයේ එවකට එහි වැඩ සිටිය මීගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ කුමරුවා භාරගන්නා ලදී.

මෙම කුලදරුවා 1957 මාර්තු 27 වැනි දින අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ දී මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත මාතර ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිවුරු පටිය බැඳ පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංස මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බවට පත් විය.

මහෝපාධ්‍යාය ශ්‍රී ඤාණාරාම මාහිමි ප්‍රධාන ආචාර්ය ගුරු උතුමන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන පාලි ව්‍යාකරණය සහිත ත්‍රිපිටක ධර්ම උගෙන ත්‍රිපිටක “වාගීශ්වරාචාර්ය” ගරු නාමයෙන් පිදුම් ලබන ලදී. භාවනා උපදෙස් දීමට නිපුන බවක් ඇති නිසා මහා කම්මට්ඨනාචාර්ය” යන ගෞරව නාමය පුදකරන ලදී. යෝගාශ්‍රම සමුප්පාදක රාජකීය පණ්ඩිත කඩවැද්දූව ජිනවංස මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු යෝගාශ්‍රම අධිපතිත්වය පිරිනමන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය පදවිය සහ අනුනායක පදවිය ප්‍රදානය කරන ලදී. 1959 ජූලි මස 15 වෙනි දින අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ද හිමිකරගෙන දැනට පුරා වර්ෂ 56 ක්ම සීලයෙන්ද අති උතුම් බවට පත්විය.

සසුන් කෙත ආලෝකමත් කිරීමටම පහළ වූ මාහිමිපාණන් වහන්සේට ගෞරව නාමයක් වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් අනුනායක පදවියක් ප්‍රදානය කරන ලදී. ඒ පිළිබඳ අක්තපත්‍රය පිරිනැමීමේ පුණ්‍ය කටයුත්ත 2015 මැයි මස 23 සවස අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ දී සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. එදිනට ථූපාභිවන්දනා මහා පින්කම ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ වැඩම කිරීමෙන් සිදු කිරීමට සියල්ල සූදානම් කර ඇත. මේ සියලු පින්කම් කහගොල්ලේ සෝමවංස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි රට පුරා සිට පින්කැමති සද්පුරුෂ අයගේ ආධාර උපකාර ඇතිව සිදුකරනු ඇත.


කීඹියේ ඤාණාවාස නා හිමි

ඉමදූව දික්කුඹුර මලල්ගොඩපිටිය ශ්‍රී ගුණවර්ධනාරාමාධිපති ඤාණෝභාස වංශාලංකාර සද්ධර්ම විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ගාලු පළාතේ දිසා පාලක කීඹියේ ඤාණාවාස නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් මෙම මැයි මස 22 වන දිනට පුරා තෙමසක් සපිරේ.

දකුණු සිරිලක ගිංගඟ මිටියාවත ගම් පියසේදී බටුවත්ත ගමගේ කරෝලිස් අප්පුහාමි හා නානායක්කාර වසම් කුරුප්පුගේ පොඩිනෝනා යන මවුපිය දෙපලට දාව 1945 නොවැම්බර් මස 05 වැනි දින මෙලොව එළියදුටු මෙම කුමරුවන් බටුවත්ත ගමගේ ආරියවංශ විය. මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ කීඹිය සිරිනිවාස මහා විද්‍යාලයෙනි.

එවකට ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ගාල්ලේ ඤාණෝභාස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා මලිගස්පේ රතන රංසි නාහිමියන්ගේ උපාධ්‍යායෙන් යුතුව 1957 ඔක්තෝම්බර් මස 10 වැනි දින පැවිදි බිමට ඇතුළත් වූයේ කීඹියේ ඤාණාවාස යන නාමයෙනි. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු ඤාණාවාස සාමණේරයන් වහන්සේ මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ තම පැවිදි බිම වූ වැලිවත්ත විජයානන්ද පරිවේණාස්ථානයේදීය. පසුව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා කොළඹ මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනට ඇතුළත් වූ අතර එහිදීද ඉතා මැනවින් භාෂා ශාස්ත්‍රය ඤාණය ලබන ලදී. මෙම කාලය අතරතුර විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයෙහි තම ගුරු දේවයන් වහන්සේ සමගින් ආගමික සාමාජීය සේවාව ඉටුකරමින් වැඩ සිටින කාලයේදී රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ ඉල්ලීම හා මගපෙන්වීම යටතේ රත්නපුර පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ ඤාණාවාස හිමියන් එහි සිව් වසරක පාඨමාලාව මනාව හදාරා භාෂා ශාස්ත්‍ර ඤාණය සේම භික්ෂු ආකල්ප පිළිබඳව ද මනා පුහුණුවක් ලබන ලදී.

1969 ජූලි මස 02 වැනි දින කළුතර උදක්කුඛේප සීමා මාලකයේදී උපසම්පදාවෙහි පිහිටීමෙන් පසුව ලෝක සාසනික සේවාව තවදුරටත් සිදුකිරීමෙහිලා පෙරමුණ ගන්නා ලද මුන්වහන්සේ තම ගුරු දේවයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි හැමවිටම ක්‍රියා කරන්නට වූ අතර ඒ නිසාම බොහෝ දෙනා අතර ඉතා ජනපි‍්‍රයත්වයට පත් තරුණ භික්ෂූ චරිතයක් බවට පත්විය. මෙම කාල වකවානුව තුළ එනම් 1979 සිට 1989 වර්ෂය දක්වා වූ දස වසක් කීඹිය චේතියගිරි විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් සිදු කරන ලද ආගමික හා සාමාජිය සේවාව අපමණය. පසුව උන්වහන්සේ වරින් වර අසනීප වූ හෙයින් ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වෙසෙමින් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අතරතුර නැවත වරක් තම ආචාර්යන් වහන්සේගේ ඉල්ලීම පරිදි 1989 දික්කුඹුර මලල්ගොඩ පිටිය ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කර සියලු විහාරාංග වලින් සමන්විත අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට පත් කිරීමෙහිලා ඤාණාවාස නාහිමියන් කරන ලද කැප කිරීම අපමණය.

ඒ නිසාම එම උසස් සේවාව ඇගයීමට ලක්කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් 2004 ඤාණෝභාස වංශාලංකාර සද්ධර්ම විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිත ගාලු පළාතේ දිසා පාලක ධුරය පිරිනමන ලදී. මේ අයුරින් තම දිවිය බුදුසසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපකළ කීඹීයේ ඤාණාවාස නාහිමියෝ බොහෝ කාලයක පටන් අසනීපව වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් වැඩ විසූහ.

එම කාලය තුළ වරින් වර බෙහෙවින් ගිලන් වුවද වත්මන් විහාරාධිපති අම්පාවිල නාරද හිමියන් ශ්‍රේෂ්ඨ ශිෂ්‍යවරයන් වහන්සේ වශයෙන් තම ගුරු දේවයන් වහන්සේට ඉටුවිය යුතු සියලු ඇප උපස්ථාන සිදු කරන ලද්දේ ආගමික හා සාමාජීය සේවාවද මැනවින් ඉටු කරන කාලය තුළ වීම බෙහෙවින් අගය කළ යුත්තකි. බොහෝ කලක් අසනීපව වැඩිවිසුවද කීඹීයේ ඤාණාවාස නාහිමියන් හැකි සෑම අවස්ථාවකම අනතිමානි ගුණය පෙරදැරිව ආගමික හා සාමාජිය සේවාවෙහි නිරත වූ අතරම උන්වහන්සේ ගාම්භීර මධුර හඬකින් සමන්විත දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන අතරම සැබෑ භික්ෂු ආකල්පවලින් පරිපූර්ණ වූ සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ගෞරවයට පාත්‍ර වූ බව සැබෑවකි. කෙසේ වෙතත් 2015 පෙබරවාරි මස 22 වැනි දින අපවත් වී වදාළ කීඹියේ ඤාණාවාස නාහිමියන් සාසන අම්බරය ආලෝකමත් කරන ලද උදාර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් හැඳින්වීම ඉතා සුදුසු වනු ඇත.

මීට තෙමසකට පෙර අපවත්වී වදාල උන්වහන්සේගේ ගුණනාමය සිහිපත් කරමින් විශේෂ පින්කම් මාලාවක් මලල්ගොඩ පිටිය ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේදි සිදුකිරීම සඳහා වත්මන් විහාරාධිපති අම්පාවිල නාරද හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම 22 වැනි දින දහවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සිදු කරන දානමය පින් බලයෙන් කීඹියේ ඤාණාවාස නාහිමියන්ට අමා මහ නිවන් සුව ලැබේවායි පතන්නෙමු.


ගනේගම ශ්‍රී නේමින්ද නා හිමි

මැදිරිගිරිය අබගස්වැව ශ්‍රී සුගතාරාම පුරාණ රාජමහා විහාරාධිපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ගනේගම ශ්‍රී නේමින්දාභිධාන නා හිමියන්ට හිමිට ආයුෂ හැත්තෑවිය පිරීම නිමිත්තෙන් මෙම මස (21) විසි එක්වන දින ආශීර්වාද බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් ද පසුදින අර්ධ ශතාධික මහා සංඝරත්නය වෙත දානමය පින්කමක්ද පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]