UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නායක ධූරයට පත් ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නා හිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නායක ධූරයට පත්

ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නා හිමි

සුපේශල, ශික්ෂාකාමී, සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් ධර්මධර, විනයධර නාහිමි නමක් ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගෞරවයට පාත්‍රව වැඩ වසන ගලගම ධම්ම සිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන අනුනාහිමිපාණන් වහන්සේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අතිපූජ්‍ය මහා නායක පදවියට පසුගියදා පත්වූහ. විංසත්වර්ගික කාරක මහා සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ පූර්ණ එකඟත්වයෙන් එසේ මහා නායක පදවියට පත් වූහ. දශක අටක් පමණ කාලයක පටන් බුද්ධ ගෞරවය මෙන්ම ගුරු ගෞරවය සුරකිමින් සසුන් කෙත බබළවන උන්වහන්සේගේ ශ්‍රී නාමය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඉතිහාසයට එක්වන්නේ එම පාර්ශ්වයේ 21 වන මහා නායක හිමි ලෙසිනි.

මාතලේ අස්ගිරි පල්ලේසියපතුත්වේ ගලගම නම් ග්‍රාමයේ දී සිල්වත්, ගුණවත් දම්පතීන් යුවළක් වන කුලතුංග මුදියන්සේලාගේ ඩිංගරි බණ්ඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි යන අයට දාව 1922 වසරේ දී නාහිමියෝ උපත ලැබූහ.

කිරිබණ්ඩාර නමින් නම් ලැබූ මෙම පින්වත් කුමරු කුඩාකල සිටම ගමේ විහාරස්ථානය වූ උරුලෑවත්තේ පුරාණ විහාරය හා බැඳී කටයුතු කළේ ය. ඩිංගිරි බණ්ඩා නිලමේතුමා ඇතුළු මෙම පවුල සසුනට ලැදිව ආගමානුකූල ජීවිතයක් ගත කිරීම මෙයට හේතුවිය. ගමේ විහාරස්ථානය සහ ලැදිව කුඩා කල සිටම හැදී වැඩුණු කිරිබණ්ඩාර දරුවා කසාවතට බෙහෙවින් ඇලුම් කළේ ය. ගමේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය හෙබවූ උඩුරාවණ ශ්‍රී ධම්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්ගේ මඟ පෙන්වීමෙන් දෙමාපියන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් උතුම් පැවිදි බිමට මෙම කුමරුවා ඇතුළුවන්නේ වයස අවුරුදු 14 දී ය.

“ගලගම අත්ථදස්සී” නමින් අදින් වසර 79 කට පෙර පැවිදි බිමට පත්වූහ. අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහා නාහිමි වූ උරුලෑවත්තේ ශ්‍රී පි‍්‍රයදර්ශී ධම්මසිද්ධි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන සඟ පරපුරට මහා නායක පදවි 08 ක්ද අනුනායක පදවි 09 ක් ද හිමිව තිබේ. අභිනව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පදවියද සමඟ එම සඟ පරපුරට හිමි වූ මහා නායක පදවි සංඝ්‍යාව 09 කි.

මාතලේ ධර්මරාජ මහ පිරිවෙනින් පාලි, සංස්කෘත, දෙමළ යන භාෂාවන් හැදෑරූ ගලගම අත්ථදස්සි හිමියෝ ප්‍රාචීන, ප්‍රාරම්භ හා මධ්‍යම, අවසාන විභාග විශිෂ්ට ලෙස සමත්වූහ. විද්‍යෝදය පිරිවෙනින් ත්‍රිපිටක ධර්ම පරීක්ෂණය ඉහළින් සමත්ව සද්ධර්මාචාර්ය උපාධියද ලැබීය.

නිසි බණ දහම් ඉගෙන විසිවස සපුරා 1942 වසරේ දී ගලගම අත්ථදස්සි සාමණේරයන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේ උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ගුරුකොට අස්ගිරි මහා විහාරයේ වැඩසිටි මුල්ලේගම ශ්‍රී ගුණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ගම්මුල්ලේ චන්දජෝති හිමිගේ කර්මාචාර්යත්වයෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී ය.

මාතලේ ධර්මරාජ පිරිවෙනේ ආචාර්යවරයන් වහන්සේ නමක් ලෙස 1963 වසරේ සිට කටයුතු කළ අත්ථ දස්සි හිමියෝ 1977 වසරේ දී කවටයාමුණ ශ්‍රී ධර්ම ශ්‍රී පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වුහ.

1950 දී කර්මාචාර්ය පදවියෙන් 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට මෙන්ම මහෝපාධ්‍යාය පදවියට ද උන්වහන්සේ පත්වූයේ අතිගරු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාවේද සෙසු නිකායික මහා සංඝරත්නයේද ප්‍රසාදය දිනා ගත් හෙහිනි.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කරන්නාවූ තේවා කටයුතු සිදුකිරීමේ අවස්ථාව භික්ෂුවකට හිමිවීම පූර්වාකෘත පුණ්‍ය මහිමයෙන් ලැබෙන උත්තරීතර පූජනීය ප්‍රතිලාභයකි. 1981 දී එම පුණ්‍ය බලය අනුව දළදා වහන්සේ උදෙසා සිදුකරන්නාවූ තේවා කටයුතු සඳහා සම්බන්ධවූ අත්ථ දස්සි නාහිමියෝ දළදා තේවාව භාර නා හිමි ලෙසද අවස්ථා කිහිපයකදී කටයුතු කළහ.

මාතලේ උරුලෑවත්ත පුරාණ විහාරය, අලව්වේ අම්බුළුව රජමහ විහාරය, මහියංගනය රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ පදවි තානාන්තර ලැබෙන තරමට තව තවත් නිහතමානී වූහ.

ඉන්දියාව, සිංගප්පූරුව, බුරුමය ආදී රටවල පැවති විශේෂ බෞද්ධාගමික වැඩසටහන්වලදී සංඝ නියෝජිතයකු ලෙස සහභාගි වෙමින් උන්වහන්සේ ජාතික ආගමික හා ශාසනික වශයෙන් උදාර මෙහෙවරක නිරත වූහ. වර්ෂ 1998 දී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට අතිගරු මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතභිධාන මහා නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ කැමැත්තෙන් පත්වූ උන්වහන්සේ එම ධූරයේ වසර 16 ක කාලයක් කටයුතු කළහ.

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ පූර්ණ එකඟත්වය ඇතිව මහා නායක පදවියට පත් අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නා හිමියන්ට මහා නායක පදවිය බබළවමින් තව දුරටත් ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්ට තෙරුවන් සරණින් හා දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් නිරෝගී සම්පත හා දීර්ඝායූ සම්පත්තිය හිමිවේවායි පතමු.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]