UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැරැණි ඉන්දියානු කලා නිර්මාණයන්ට බුදුදහමෙන් ලැබුණු ආභාෂය

පැරැණි ඉන්දියානු කලා නිර්මාණයන්ට බුදුදහමෙන් ලැබුණු ආභාෂය

ඉන්දීය බෞද්ධ කලා ශිල්පය දියුණු වන්නේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසෙන් පසුවය.මෙයට පෙරද යම් යම් නිර්මාණයන් තිබූ බව චිත්‍රාගාර, සෝපා, පලස්,ඇතිරිලි ආදි දේ ගැන සඳහන් වීමෙන් නිර්ණය කරගත හැකිය. බුදුන් වහන්සේ විසින්ද භික්ෂූන් වහන්සේලාගේ කුටි නිර්මාණය කිරීමේදී චිත්‍රකර්මයන්ගෙන් අලංකාරවත්ව සිදු කිරීමට අවසර දුන් බව ත්‍රිපිටකය සාක්ෂ්‍ය දරයි. එවක පටන් දියුණූුවෙමින් පැවැති කලා ශිල්පයන් අශෝක යුගයේදි තවදුරටත් දියුණුූ විනැයි ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි. කෙසේ නමුදු මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි බිහිවු ඇතැම් සත්ත්ව රූප හා අශෝක යුගයේදි නිර්මාණය වුණූ සත්ත්ව රූප අතර යම් සාමානත්වයක් දක්නට ලැබෙන බැවින් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම ඉන්දීය කලා ඉතිහාසය ගොඩනැගී කෙමෙන් සංවර්ධනය වී ආ බව ජෝන් මාර්ෂල් මහතා සඳහන් කරයි.

කි‍්‍රස්තු පූර්ව 4 වැනි සියවසේ දී ඇති වූ ගී‍්‍රක ආක්‍රමණිකයන්ගේ බලපෑම් මත මෞර්ය යුගයේදී මෙවැනි උසස් කලා සම්ප්‍රදායයන් බිහිවිණැ’යි සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. එනිසාවෙන් දඹදිව ගන්ධාර ප්‍රදේශය කලාවේ උප්පත්තිස්ථානය යනුවෙන් වර්තමානයේ වුවද පිළිගැනෙනුයේ, එහි නිර්මාණය වු ඇතැම් නිර්මාණයන් බෞද්ධ උරුවක් ගෙන ඇති බව, ඒ පිළිබඳ පිරික්සීමේදි ප්‍රකට වේ. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට අයත් භාරුත්, සාංචි, බුද්ධගයා වැනි ස්ථානවලින් හමුවන බුදුදහම ඇසුරින් නිර්මාණය වුණූ නිර්මාණ රැසක් දක්නට පිළිවන. මහායානයේ ව්‍යාප්තිය නිසාවෙන් ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසට අයත් සේ සැළකෙන අමරාවතී. නාගර්ජුන කොණ්ඩේ, අජන්තා.එල්ලෝරා යන ස්ථානයන්හි කැටයම් මූර්ති හා චිත්‍ර දක්නට ලැබේ. කනිෂ්ක සමයේ ඇරඹුණූ කලාවේ’ ශ්‍රේෂ්ඨතම අවස්ථාව ලෙස ගුප්ත සම්ප්‍රදාය සැලකිය හැකිය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ නිර්මාණය වු සාංචි හා භාරුත් කැටයම් අතරින් භාරුත් චෛත්‍යයේ කැටයම් පැරැණි යැයි අනුමාන කළ හැකිය. සාංචි නිර්මාණයන් කළ නිර්මාණකරුවාට භාරුත් කැටයම් කලාවේ බලපෑම් ලැබී ඇත.

ඉහතින් සදහන් කළ කැටයම් වලින් සංයත අංගචලනයක් හා සුන්දර ව්‍යාජ බවක් පෙනේ. උසස්ව පෙනී සිටින භාරුත් කලාව බෞද්ධයන්ගේ අදහස් පැවසීමෙහිලා වෙසෙසින් ගැළපෙන්නක් බවට පැමිණෙයි. සාංචියේ කැටයම්වලට වඩා ආගමික වු ද කමනීය වූද කලාවක් වූ භාරුත් සම්ප්‍රදාය නොනැසී තවත් සියවසක් පැවතුණේ නම් සාංචියටද එහි ආලෝකය මීට වඩා ලැබෙන්නට තිබුණේ යැයි තෙන්නකෝන් විමලානන්ද මහතා සඳහන් කරයි. භාරුත් ස්ථූපය වටා ජාතක කතා 30 ක් පමණ කැටයමට නගා තිබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එහි අන්තර්ගතය විධුර, නිග්‍රෝධමිග, මුගපක්ඛ, ඡද්දන්ත, මිගපෝතක, අලම්බුසා, කුරුංගමිග, චන්දකින්නර, වෙස්සන්තර ආදි ජාතක කථාවන්ගෙන් යුක්ත බව ප්‍රකටය. කැටයමට නැගූ ජාතක කතාවන්ගේ නාමයන්ද ඒවායේ සටහන් කර තිබේ.

සාංචියේ අවට ප්‍රදේශයේ ඇති ගල්වැට හා තොරණ සතර පසුකාලයක එක් කරන ලද නිර්මාණයක් බව පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. එනමුදු ඒවා අශෝක යුගයේ කළැයි සියල්ලෝම පාහේ පිළිගනිති. සාංචියේ ගල්වැට අඩි 9 ක් උස අටපට්ටම් ගල්කණූු අඩි 3 ක පරතරය සිටින අන්දමින් සිටුවා ඇති අතර ඒ මත අර්ධ කවාකාර ගල් දැවක් යොදා ගෙන ඇත. ගල්කණු අතර අඩි දෙකක් පමණ පළල ඇති හරස්කඩවලින්ද සමන්විත වේ. මේ කණුවල පද්ම පත්‍රයන් ලියවැල් හා යක්ෂ රූපයන් යොදා සරසා ඇත. සතර දිගින් පිහිටුවා ඇති තොරණ සතරෙහි බෝසතුන් මව්කුසින් බිහිවීම, බුදුවීම, දම්සක් දෙසුම, පිරිනිවන් පෑම, ප්‍රාතිහාර්ය පෑම ආදි බුදුසිරිතේ වැදගත් අවස්ථාවන් මෙන්ම ඡද්දන්ත, අලම්බුසා, වෙස්සන්තර, මහාකපි යන ජාතක කතාවල එන සිදුවීම්ද කැටයම් කොට ඇත. සාංචි හා භාරුත් අතර දක්නට ඇති වෙනස්කම වන්නේ බුදුරුව නොදැක්වීමයි. ඒ සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ බෝගස, ධර්මචක්‍රය වැනි සංකේතයන්ය.

සාංචියේ තොරණක උස අඩි 35 ක් පමණ වේ. ඒවා පළලින් අඩි 12 ක් පමණ ද වේ. උඩ කොටසේ හරස්කඩ තුනක් යොදා ඒවායේ ඉදිරිපස හා පිටුපස කැටයමින් සරසා ඇත. තොරණ මුදුනේ ධර්මචක්‍රය හා ත්‍රිශූලයක් දක්නට ලැබේ. එක් අංශයක සිංහ රූපයක්ද ඇත. නමුදු ඒ සිංහ රූපය අශෝක කුලුනුවල ඇති සිංහ රූප තරම් කලාත්මක නොවේ යැයි ආචාර්ය වින්සන් ස්මිත් මහතා සඳහන් කරයි. බෝසත් චරිතයේ වැදගත් සිද්ධීන් හා එකල රජුන්ගේ තොරුතුරුත් සාංචි තොරණවල සඳහන් වේ. මේ නිසා දඹදිව බුද්ධාගමේ මුළු ඉතිහාසයම සාංචි තොරණ්හි ගැබ්ව ඇතැයි කිව හැකිය. ක්‍රමයෙන් විකාශනය වු බෞද්ධ කලාවේ තොරතුර සාංචි කැටයම්වලින් ලබාගත හැකිය. බෞද්ධ ජාතක කතා ජන ජීවිතයට කෙතරම් බද්ධව පැවතියේ දැයි සාංචියේ දක්නට ලැබෙන ජාතක කැටයම්වලින් මනාව පිළිබිඹූ වේ. උතුරු වාසල්කඩේ වෙස්සන්තර ජාතකය කැටයමට නගා ඇත. අලි ඇතුන් දන්දීම,අනතුරුව තම රට වැසියන් කෝප වු පසු වනගත වීම, අතරමගදි හමුවූ බමුණන්ට සිය රථය දන් දීම, ඉන්පසු රජු ඇතුළු පිරිස පාගමනින් යන අයුරු සිතුවමට නගා ඇත. මේ පේකඩයේ මධ්‍යයේ ඇති ගල්රාමුවේ වනගත වී සිටින වෙස්සන්තර රජතුමාගේ කුටියද එහිදී තම දරුවන් දන්දෙන අයුරුද දරුවන් වරපටින් බැඳ වධ දෙමින් බමුණා ගෙනයන ආකාරයද සිතුවමට නගා ඇත. අනතුරුව දේවිය දන් දීමද, දරුවන් නිදහස් වීමද, රජතුමා නැවත රජ මාලිගයේ දිවිගෙවන අන්දම ද සියුම් කැටයමින් ජීවමානා කාරයෙන් නිරූපණය කොට තිබේ.

නැගෙනහිර වාහල්කඩේ මහාභිණිෂ්ක්‍රමණය පුවත ඉතා විසිතුරු අන්දමින් කැටයමට නගා ඇත. කන්ථක අසු මාලිගයෙන් නික්මෙන වෙලේ අසුගේ පා හඬ නොනැගෙන සේ දැක්වීමට යක්ෂයන් සිව් දෙනෙකු අසුගේ පා කුරවලට අත් තබන අයුරුත් අනතුරුව මහමඟට පිළිපන් අසු පලසක් හා ඒ මත්තේ ඡත්‍රයක් පමණක් දැක්වීමෙන් ගල්වඩුවෝ සතුටු වූහ. මෙහිදී බෝසත් රුව තත්ත්වාකාරයෙන් දක්වා නැත. බෝසතුන් කන්ථක අසු පිටින් බසින අයුරු පා සටහනින් දැක්වේ. ගමන් කරන ලීලාව ඡන්නත් අසුත් පෙන්නීමෙන් නිරූපණය කර තිබේ. මේ කැටයම් අතර බරණැසට වැඩි බුදුහිමියන් දම්සක් සුතුර දෙසන අයුරු දක්වා ඇත්තේ ධර්මචක්‍ර සංකේතය යෙදීමෙනි, ධර්මශ්‍රවණයට පැමිණි දෙව්බඹුන් ඒ ඒ රූපවලින් දක්වා තිබේ. මාර දූවරුන්ගේ කාම රංගනයද මෙහි නිරූපණය කර ඇත. මෙහි බුද්ධ පරිනිර්වාණය දක්වා ඇත්තේ චෛත්‍යයක් ඒ වෙනුවට යෙදීමෙනි. එසේම ආදි බුදුවරුන් දැක්වීම සඳහා චෛත්‍යය සතක්ද දක්වා ඇත. තවත් තැනෙක එක් ගසක් ළග රැස්වූ රජවරුන් කුමාරවරුන් හා සෙසු ජනකාය යුද්ධයකට සැරසෙන අන්දම දක්වා තිබේ. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශේෂ වු ධාතු බෙදා ගැනීමේ ඇති වූ ගැටුමයි. සැවැත් නුවරදී ගන්ඩම්බ නම් අඹ රුක මුල බුදුන් දැක්වු යමා මහපෙළහර රශ්මි මාලාවකින් හා අඹ රුකකින් නිරූපණය කර ඇත.

මේ කැටයම් අතර ඉතා විසිතුරු එකක් සේ සැලකෙන්නේ බුදුන් දෙව්ලොව සිට සංකස්ස නුවරට බසින අයුරු නිරූපණය වන අවස්ථාවයි. මෙහි රුවන් සෝපාන දෙකක් දක්වා ඇති අතර බුදුරදුන් සටහන් කර ඇත්තේ අංගයක් දැක්වීමෙනි. ඊට අමතරව බුදුරදුන් කිඹුල්වතට වැඩ ශාක්‍යයන් දමනය කළ අන්දමත් නිරූපණය කර ඇත. ඉතා ජනපි‍්‍රය කතා පුවතක් වන බුදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කර එහි වැඩ විසීම හා වඳුරෙකු මී වදයක් පිදීමද එයින් සතුටුව අත්තෙන් අත්තට පනිමින් යන අන්දමද මෙහි සිතුවම් කර ඇත. නැගෙනහිර වාසල්කඩේ මුදුන හස්ති රූප චිග්ගජ නොහොත් සිව්දිගට අධිපති හස්ති රූප සතරකින් යුක්ත වේ. මේ කොටසේම පෙර බුදුන් වහන්සේලාගේ ස්තූප විසිතුරු මාලා දාමයන්ගෙන් සරසා තිබෙනු දක්නට ලැබේ’. තවද අශෝක රජු ශි‍්‍ර මහා බෝධිය වෙත එළඹ එය ජලයෙන් දොවන අයුරුත් පෙන්නුම් කර ඇත.

බුද්ධත්වයෙන් පසු තෙවැනි සතියේදි බුදුරදුන් සක්මනින් ගතකළ අයුරු දැක්වීමට සක්මනක් යොදා ඇත. පිටාර ගැලු නේරංජරා නදියෙන් එතෙරට වැඩම කොට තීර්ථකයන් දමනය කළ අයුරුත් බිම්සර රජු බැහැදැකීමට පෙරහරින් වැඩම කළ අයුරුත් ශක්‍ර, බ්‍රහ්ම යන දෙවිවරුන් ධර්ම චක්‍රයක් වෙත එළඹ යාඥා කරන අන්දමත් මේ වාහල්කඩේ කැටයම් අතර වේ. මෙහි පහළ කොටසේ සදිව්‍යලෝකයන් ඉතා විසිතුරු ලෙස දක්වා ඇත.

මෙසේ සාංචි තොරණවලට ප්‍රධාන වස්තු විෂය වූයේ බුද්ධ චරිතය හා බෝසත් කථා පුවත් බව මේ කැටයම්වලින් පෙනී යයි. සමාජයේ අවශ්‍යතාවන් පරිදි ඔවුන්ගේ දෛනික ජීවිතය සකස් කර ගැනීමට අදාළ වන ප්‍රවෘත්තීන්ද සාංචි තොරණවල අන්තර්ගතය. මේ තොරණවල කැටයම් ලාලිත්‍යකින් මෙන්ම සජීවත්වයෙන්ද උසස් තැනක් ගනී. කලා ශිල්පීන්ගේ ඒ පිළිබඳ නිපුණත්වය එයින් මොනවට පැහැදිලි වේ. මේ හැර සාංචි තොරණවල රජවරු, බිසෝවරු, දැසිදැස්සෝ, පිරිවැජියෝ, යුධ නිලධාරියෝ, ගැහැනු පිරිමි ළමුන්ගේ ඇඳුම් පැළදුම්, යක්ෂයෝ ,දෙවිවරු, නාගයෝ, පශූ පක්ෂීහු, තාපසාරාම යනාදි දෛනික ජීවිතයේ උපකරණද ඇතුළත් වී තිබෙනු පෙනේ. මේ නිසා සාංචියේ වාහල්කඩවල ගල්කැටයම් ඉන්දියාවේ වනපොත යැයි කියනු ලැබේ. ආන්ද්‍ර යුගයේදි අමරාවතිය වැදගත් තැනක් ගනී. දැනට සොයාගෙන ඇති සාධකවලට අනුව අමරාවතී ථූපය වටා ඇති කැටයම් යුග දෙකකට අයත් වන බැව් පෙනීයයි. එයින් පැරැණී කැටයම් සාංචි භාරුත් කැටයම් වලට සාම්‍යත්වයක් දක්වයි. ඒ පැරැණි කැටයම් අතරේ බුදුරදුන් හා බෝසත් රුව දැක්වුව මනා තැන සංකේතයක් පමණක් යෙදීමත් නූතන යුගයට අයත් කිරිගරුඬ තහඩුවල නෙලා ඇති කැටයම්වල බුදුන් හා බෝසත් රුව එලෙසින්ම දැක්වීම් මෙයට හොඳම නිදසුනයි. ආන්ද්‍ර රජුන්ගේ මුල්කාලයේ මේ කිරිගරුඬ තහඩු යෙදු බව එහි එන ශිලා ලිපියකින් අනාවරණය වේ.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]