UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

වෙසක් පුර අටවක (අප්‍රේල් 25) පත්‍රය හා සම්බන්ධයි

(The life story of the Sunlun GU Kyaung Sayadaw)

වර්තමාන කාලයේ වැඩ වසන තායිලන්ත භික්ෂූන් වහන්සේ නමක් වන අජාන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ ද මාරයා පිළිබද ඉතාමත් ම පැහැදිලි විස්තරයක් කර ඇත. ඒ මෙසේය.

“මාරයා වාසය කරන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේය. ඒ වනාහී ආශාවන්ගේ හා චේතනාවන්ගේ බලය අනිත් අයගේ නිර්මාණ හා අන් අයගේ නිම්මිතවලට බලපවත්වන ලෝකයයි. ඒ වනාහී බොහෝ දුරට විකාර දේවල් පාලනය කරන ලෝකයයි. ඔබ තුළ ඇති විකාර දේවල් පාලනය කරන තැන බව දැනගන්න. මාරයා තමයි ඔබ තුළ ක්‍රියාත්මක වෙන කෙනා. ඔහු නිතරම උත්සාහ කරන්නේ “එන්නකෝ ඔච්චර නිදියන්න එපා. “එන්නකෝ, මොනවහරි දෙයකට උනන්දු වෙන්නකෝ” එන්නකෝ” ධ්‍යානයක් උපදවා ගන්නකෝ”. “එන්නකෝ , ඔයා කවුරු කියලද ඔයා හිතන්නේ?” “ එන්නකෝ”. කොච්චර කාලයක් ඔයා හාමුදුරු කෙනෙක් හැටියට හිටියද, කොච්චර නම් කාලයක් ඔයා පසු බැස්සාද? එන්න, ඉස්සරහටම යන්න.” යනුවෙන් කියමින් ඔබව ඇතුළට තල්ලුකර පිටතට ඇදලා දාන්න. මේ තමයි මාරයා! “මම දන්නවා නුඹ තමයි මාරයා” කියල උත්තර දෙනකොට මාරයා අතුරුදහන් වෙනවා. ඔබ මාරයාව දන්නේ නැත්නම්, ඔබ දන්නේ නැත්නම් පාලක විකාරයක් ඔබ තුළ තියෙනවා කියලා. ඔබ නිතරම ආතතියෙන් හා කලබලයෙන් තමයි ඉන්නේ.”

ඔබට අවුරුදු ගණනක් අභ්‍යාස කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ අරමුණට හුඟාක් සමීප වෙන්නත් පුළුවන්. මක්නිසාද යත් මාරයා ඔබට නිතරම, නැවත නැවතත් පාන් වාටි කීපයක් දෙනවා. නමුත් ඔබ ධ්‍යානයක් ලබා ගන්නාතුරු ඔබට කවදාවත් බඩ පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න, මාරයාට යන්න බැරි තැන් තමයි ධ්‍යාන කියන්නේ. එහිදී මාරයා අන්ධයි.මේවා තමයි මාරයාට ඇතුළුවෙන්න බැරි තහනම් කලාප, ඇයි එහෙම කියන්නේ? ධ්‍යාන ලබාගත් ඕනෑම කෙනෙක් දන්නවා මේ තත්ත්වලදි පාලනයක් කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. “ක්‍රියාකිරීමට” තිබෙන බලය නැති වෙනවා. ඉතින් ඒ ක්‍රියාකිරීමට තිබෙන බලය තමයි මාරයා. ඉතින් ඔබ භාවනා කරමින් සිටින විට මාරයාට අවස්ථාවක් ලබා දෙනවාද? ඔබ පාලනය අතට අරගනිමින්, මෙහෙමයි එය කළයුත්තේ, අරහෙමයි එය කල යුත්තේ යනුවෙන් මේ භාවනාව මෙහෙයවන්න උත්සාහ කරනවාද? ඔබ එසේ කරනවා නම් ඔබ තැන්පත් නැති වග ඔබට තේරුම් යාවි.”

(Ajahn Brahm Extract from SIMLY THIS MOMENT, 17 I KNOW YOU MARA)

මාරයාගේ ස්වභාවය තේරුම් ගැනීමට පහසු නොවනබව බුද්ධ කාලයේදී භික්ෂූන් වහන්සේලා විසින් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන්ම පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේගෙන් එබඳු ප්‍රශ්න ඇසූ භික්ෂූන් වහන්සේලා අතර රාධ තෙරුන් වහන්සේ ප්‍රමුඛස්ථානයක් ගනියි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලයේ රාධ තෙරුන් වහන්සේට මාරයා පිළිබඳ සැකයක් ඇතිවිය.

“එකල ආයුෂ්මත් රාධ තේරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියහ. එසේ සිටින රාධ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, “මාරයා, මාරයා” යැයි කියවෙනවා“ ස්වාමීනි, මාරයා යැයි කියන්නේ කොහොම තරමේ දෙයක්ද? රාධ රූපය ඇති විට මාරයා හෝ මැරියයුත්තා හෝ මැරෙන කෙනා වන්නේය. ඒ නිසා ඔබ මෙහිදී රූපය මාරයා යැයි දකින්න, මැරිය යුත්තායැයි දකින්න. මැරෙන කෙනා යැයි දකින්න. රෝගයයැයි දකින්න.ගඩුවයැයි දකින්න. උලයැයි දකින්න. විපතයැයි දකින්න. විපතට පැමිණිකෙනා යැයි දකින්න. කවුරු හරි එය මේ විදියට දකියි නම්, ඔවුහු නිවැරදිවම දකිති. වේදනාව ඇති විට මාරයා හෝ මැරිය යුත්තා හෝ මැරෙන කෙනා වන්නේය. රාධ, ඒ නිසා ඔබ මෙහිදී වේදනාව මාරයා යැයි දකින්න. මැරිය යුත්තා යැයි දකින්න. මැරෙන කෙනා යැයි දකින්න. කවුරුහරි එය මේ විදියට දකියිනම්, ඔවුහු නිවැරැදිවම දනිති. සංඥාව ඇති විට සංස්කාර ඇතිවිට මාරයා හෝ මැරිය යුත්තා හෝ මැරෙන කෙනා හෝ වන්නේය. රාධ, ඒ නිසා ඔබ මෙහිදී සංස්කාර මාරයා යැයි දකින්න. කවුරුහරි එය මේ විදියට දකියිනම්, ඔවුහු නිවැරදිව දනිති. විඥානය ඇති විට මාරයා හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රාධ ඒ නිසා ඔබ මෙහිදී විඥානය මාරයා යැයි දකින්න. මැරිය යුත්තා යැයි දකින්න. මැරෙන කෙනායැයි දකින්න. රෝගය යැයි දකින්න, ගඩුව යැයි දකින්න. උල යැයි දකින්න, විපත යැයි දකින්න. විපතට පැමිණි කෙනා යැයි දකින්න. කවුරුහරි එය මේ විදියට දකියි නම්, ඔවුහු නිවැරදිව දකිති.”

(සංයුක්ත නිකාය, රාධ සංයුත්තය, මාර සූත්‍රය)

මේ අනුව පැහැදිලි වන්නේ මාරයා ඉතා බලසම්පන්න දිව්‍යපුත්‍රයෙකු වශයෙන් කටයුතු කරන බලවේගයක් වන අතර ඇතැම් විට තමාම මාරයා විසින් මෙහෙයවනු ලබන බලවේගයක්ද විය හැකි බවය. පංචස්ඛන්ධය හෙවත් රූප වේදනා, සංඥා , සංඛාර හා විඥාන යන ස්කන්ධ මාරයාගේ අදහසට අනුව ක්‍රියාකරන හෙයින් තමා තමන්ට නොදැනීම මාරයාගේ අතකොලුවක් වීමට ඉඩ ඇති බව මෙම අවසාන විග්‍රහයෙන් පැහැදිලි වේ. ඒ අනුව උතුම් වු චිත්ත සමාධියෙන් දකින මාර දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ විවිධ වේශයන් මෙන්ම තම පංචස්කන්ධයද මාරයාගේම විවිධ පැතිකඩවල් බව තේරුම් ගැනීම වඩා සුදුසුය. බාහිරව සිටිතැයි උපකල්පනය කරන මාරයා පරාජය කිරීමට වඩා තමා තුළ ඇති පංචස්කන්ධය නමැති මාරයා ජය ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ මේ නිසාය. ඉහත දක්වන ලද මාර සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ පංචස්කන්ධය ම මාරයා මැරිය යුත්තා හෝ මැරෙන කෙනා ලෙස දකින ලෙසයි. එයින් අදහස් වන්නේ තමා තුළ සිටින මාරයා අන්කිසිවෙකු නොව පංචස්කන්ධය ම බවය.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]