UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 27

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 27

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයත් සමඟ සම්බන්ධ වූ භාරතයේ සියලුම ස්ථාන දහනව වන සියවසෙහි අගභාගය වන විට මුළුමනින්ම පාහේ සොයා ගෙන තිබුණි. සොයා නොගෙන ඉතිරිව තිබුණේ කපිලවස්තු නගරය පමණි. ඉන්දියා, නේපාල දේශසීමාව වසා වැවී තිබුණු කැලෑවන් ක්‍රම ක්‍රමයෙන් එළි කිරීමත් සමඟ පුරාණ මනුෂ්‍ය වාසයයි සිතිය හැකි පස් ගොඩැලි ගණනාවක් මතු විය. පුරාවිද්‍යාඥයෝ මේ පස් ගොඩැලිවලින් කුමන කොටස කපිලවස්තුපුරය විය හැකිද? යන්න ගැන අනුමානය සිතන්නට පටන් ගත්හ.

රාජ්‍ය වර්ෂ 1858 දී ගොරක්පුර නගරයෙන් කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ස්ථානයේ තිබුණු පස් ගොඩවල් කපිලවස්තු නගරයේ සුන්බුන් විය හැකි බව අනුමානයෙන් පෙන්නුම් කළේ ය. 1863 වර්ෂයේ දී ශ්‍රාවස්ති නුවර නිසියාකාරයෙන් හඳුන්වාදීමෙන් පසු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා චීන ජාතික වන්දනාකරුවන්ගේ ගමන් මාර්ගයක් උපයෝගී කොටගෙන කපිලවස්තු නගරය පිහිටා ඇත්තේ නගර්ඛාස්යන ස්ථානයෙහි බව ප්‍රකාශ කළේ ය. එම ප්‍රකාශයට ස්ථිර වශයෙන්ම නැවතත් මතු නොවනසේම විසඳීමට කනිංහැම්ගේ දෙවෙනි නිලධාරියා වන ඒ.සී.එල්. කාලයිල් මහතා ක්‍රි.ව. 1875 – 76 වර්ෂයේ දී බස්ති සහ ගොරක්පූර් දිස්ත්‍රික්ක දෙක මැන බලා සිතියම් සෑදීමේ කටයුතු අවසාන කළේ ය. ඒ.සී.එල්. කාලයිල් මහතා ගත් නිගමනය නම් භුයිලාදින් නමැති ස්ථානය කපිලවස්තු නුවර බවයි. ඒ අවදිය වන විට උගත් බුද්ධිමතුන් අතර කපිලවස්තු නගරය පළමුවෙන්ම නැවත සොයා ගැනීමට තරඟයක් ක්‍රම ක්‍රමයෙන් නැගී ඒමට පටන් ගත්තේ ය.

ක්‍රි.ව. 1896 වර්ෂයේ දී ඒ ෂුරේ මහතා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ස්ථානය ලුම්බිණිය බව අශෝක රජතුමාගේ කුළුණ සොයා ගැනීමෙන් ස්ථිර කළේ ය. මෙය අතිවිශිෂ්ට සොයා ගැනීමක් වුවද චීන වන්දනාකරුවන් ද ලුම්බිණියේ සිට කපිලවස්තු පුරයට ඇති දුර ප්‍රමාණය හඳුනා ගැනීමට ඉතාම ආසන්නව තිබූ බවක් පෙනේ.

1971 ජනවාරි මාසයේ කේ.එච්.ශ්‍රී වාස්තවා මහතාගේ අධ්‍යක්ෂකත්වයෙන් පිප්පරහාවා නගරයේ මැණීම් කටයුතු ආරම්භ විය. 1973 වර්ෂයේ දී බෙහෙවින් සිත් පුබුදුකරවන සොයා ගැනීම් ගණනාවකට පසු කපිලවස්තු යන නම සඳහන් වූ මුද්‍රා සටහනක් සොයා ගොඩ ගන්නා ලදී. සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි ජීවිතය ගත කළ නගරය සොයාගෙන ඇති බව ස්ථිර විය.


නිග්‍රෝධාරාම පුදබිම

කපිලවස්තු නගරයේ ඉතිරි කොටස් ගනචරියා සහ පිප්පරහාවා යන ස්ථාන දෙකෙහි පිහිටා ඇත. ගනචරියා යන ස්ථානය කපිලවස්තු නුවර රජමාලිගාව පිහිටි ස්ථානය මෙහි තිබී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සිට දින තබා ඇති ලී වලින් සහ මැටියෙන් තැනූ කපිලවත්ථු පුරයේ සැලැස්මක් සොයාගෙන ඇත. මෙයින් විශාල කොටසක් පුරාණ කාලයේ සිට ඇති වූ ජලගැලීම්වලට මැදිවීමෙන් නොපැහැදිලි තත්ත්වයට පත්ව තිබේ.

ධර්ම චාරිකාවක යෙදුනු ධර්මාශෝක මහරජතුමා ශාක්‍යවරුන්ට ගෞරවයක් වශයෙන් කපිලවස්තු නගරයෙහි ස්ථූපයෙහි මෙවැනි සිහිවටන ගොඩනැගීමේ දී දැක්විය හැකි නොයෙකුත් අවස්ථා දක්නට ඇත. ප්‍රථමයෙන්ම ඉදිකළ ස්ථූපය කුඩා චාම් එකක් විය. ඒ සඳහා තවත් කොටසක් එකතු වී ක්‍රමයෙන් එය විශාල ස්ථූපයක් බවට පත්ව ඇත.

සුද්ධෝදන රාජ මාලිගාව

නිග්‍රෝධාරාම පූජා භූමියේ සිට කිලෝමීටරයක් පමණ පසු පසින් කපිලවස්තු නුවර හැටියට සලකණු ලබන නටබුන් රැසක් හමුවී ඇත. නගරය ලෙස ලකුණු කර ඇති ප්‍රදේශ ඉතා විශාල ය. මෙහි කරන ලද කැණීම්වලදී මෙම නගරය ක්‍රි.පූ. 800 වර්ෂයේ සිට කුෂාණ යුගයේ කෙළවර ක්‍රි.ව. 300 දක්වා මිනිස් වාසයක් ව තිබූ බව පෙනී ගොස් ඇත.

සුද්ධෝදන රජතුමාගේ මාලිගාව යැයි සලකනු ලබන විශාල ගොඩනැගිල්ලක අත්තිවාරම එහි ඇත. එම ගොඩනැගිල්ලේ දිග අඩි 103 කි. අළල අඩි 103 කි. එහි මැද මිදුලක් සහ වටේට කාමර දැකිය හැකිය. එහි කාමර 24 ක් පමණ තිබෙන්නට ඇත. කාමරයක උස ප්‍රමාණය අඩි 7 1/2 ක් පමණ වේ. මාලිගාවට ඇතුළුවන ප්‍රධාන දොරටුව අඩි 20 අඟල් 8 ක් පළලය.මෙහි අත්තිවාරමේ සමහර ස්ථාන අඩි 3 1/2 පමණ පළලය. මෙම ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට තව කුඩා ගොඩනැගිල්ලක නටබුන් දැකිය හැකිය. එය රජ මාලිගාවේ රජතුමාගේ දේවීවරුන් වාසය කළ මාලිගාව ලෙස විශ්වාස කරයි. මෙහි දිග අඩි 86 ක් හා පළල අඩි 85 කි. ප්‍රධාන දොරටුව අඩි 14 ක් උස වන අතර අඩි 6 1/2 ක් පමණ පළලය. කාමර 22 ක් දැකිය හැකි ය. මැද මිදුලක් ඇත. එම කාමර සමහරක් දෙස බැලීමෙන් එම ගොඩනැගිල්ල තට්ටු කීපයකින් යුක්තවූ බව විශ්වාස කළ හැකිය. එමෙන්ම මෙම කාමර නිදාගැනීමට දේවීවරුන්ගේ ආභරණ ආරක්ෂා කිරීමට සහ මුළුතැන්ගෙය වශයෙන් ද යොදාගන්නට ඇතැයි ද කල්පනා කරයි.

කපිලවස්තු නුවර භික්ෂූන් වහන්සේලා දැනට වැඩ සිටින එකම විහාරස්ථානය මහින්ද විහාරයයි. මෙම විහාරස්ථානය මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ නිර්මාතෘ අපවත් වී වදාළ කොළඹ 10 මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති අතිපූජ්‍ය බද්දේගම විමලවංශ අනුනායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද්දකි. ජිනරතන ස්වාමීන් වහන්සේ නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දී බුද්ධ පුත්‍රයෙකු විසින් කළයුතු ශාසනික මෙහෙවරක් ලෙස සලකා 1976 වර්ෂයේ දී එම විහාරය වර්තමාන තත්ත්වයට ඉදිකරන ලදී.

බර්ඩ්පුර් නගරයේ සිට කපිලවස්තු නුවරට යන මාර්ගයේ කිලෝමීටර් 6 ක් පමණ ගිය විට මාර්ගයේ වම්පස එම විහාරය පිහිටා ඇත. මහින්ද විහාරය යන නම සිංහල භාෂාවෙන්ම ලියා ඇත. කපිලවත්ථු නුවර වන්දනා කරන වන්දනා පිරිස් සඳහා විශ්‍රාම ගැනීම සඳහා පහසුකම් ඇත. එහිදී ස්වාමීන් වහන්සේ නමක් හමුවීමෙන් දීර්ඝ විස්තර දැන ගත හැකි වේ.

කපිලවස්ථු නුවර දී බුදුරජාණන් වහන්සේ මහා ධර්මපාල ජාතකය, සඳකිඳුරු ජාතකය, එන්දන ජාතකය, දද්දභ ජාතකය, ලටුකික ජාතකය හා වටිටක ජාතකය දේශනා කරන ලදී. එමෙන්ම මහා සමය සූත්‍ර දේශනාවද සිදු කරමින් පහළොස්වන වස් කාලයද ගත කරන ලදී.

තවත් කොටසක් මැදින් පුර පසළොස්වක පොහෝදා මාර්තු 05 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 26

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]