UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... වැරැදුණු ජීවිතය නිවැරැදි කරගත් පටාචාරා

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

වැරැදුණු ජීවිතය නිවැරැදි කරගත් පටාචාරා

ජීවිතයේ එක් මොහොතක ගන්නා ලද තීරණයක් වැරැදී මුළු ජීවිතයම අපායක් කරගත් යුවතියන් අද සමාජයේ වගේම එදා සමාජයේත් සිටියා. “පටාචාරා” කියන්නේ බුද්ධ කාලයේ සිටිය එවැනි කාන්තාවක්. එහෙත් ජීවිත කාලයේදී තමන් ලද අවාසනාවන්ත අත්දැකීම් තුළිනුත්, ලැබුණා වූ නිවැරැදි මාර්ගපෝදේශය නිසාත් “පටාචාරා” වැරැදුණුූ ජීවිතය නිවැරැදි කරගත්තා. එදා සමාජයේ විසු “පටාචාරා” අද සමාජයේ වසන පටාචාරාවන්ට ආදර්ශයක් වන්නේ ඒ නිසයි.

බුද්ධියට ඉඩ නොදී හැඟීම්වලට වහල් වී ක්‍රියා කිරිම, වැඩිහිටියන්ගේ අවවාද නොපිළිගැනීම, තම සිතැඟි පරිදි දුර දිග නොබලා තීරණ ගැනීම, ආත්මාර්ථකාමී බව,අන්‍යයන්ට සවන් නොදීම වැනි හේතු සාධකයන් බුද්ධකාලීන සමාජයේ විසු පටාචාරාවන් ගේ ජීවිතය අඳුරු ආගාධයකට ඇඳ දැමුවා. එහෙත් ඇය ආදර්ශවත් බෞද්ධ කාන්තාවක් ලෙස පිළිගැනෙන්නේ ඇයට ලැබුණූ නිවැරැදි මාර්ගෝපදේශනයෙන් ප්‍රයෝජන ගෙන වැටී සිටි ආගාධයෙන් ගොඩ ආ නිසයි. අඳුරෙන් අඳුරට යන ජීවිත අතර “පටාචාරා” යනු අඳුරෙන් ආලෝකය කරා පැමිණි ආදර්ශවත් චරිතයක්. ගෞතම බුදුන්වහන්සේ ගේ කාලයේදී සැවැත්නුවර සතළිස් කෙලක් සම්පත් ඇති සිටු කුලයක දියණියක වී පටාචාරා උපත ලැබුවාය. යස ඉසුරින් පිරුණු ජීවිතයකට ඇය උරුමකම් කීවා පමණක් නොව රූපශ්‍රීයෙන් ද අනූන කාන්තාවක් වූවා. පෙර කරන ලද්දා වු කුසල කර්මයන්ගේ ඵල විපාක හේතුවෙන් කෙනෙකු බලය, කීර්තිය , රූපශ්‍රීය ආදියෙන් පරිපූර්ණව උපත ලබනවා. පටාචාරද මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වු පියුමතුරා නම් බුදුන් වහන්සේගේ කාලයේ සිට ගෞතම බුදුන්වහන්සේගේ කාලය දක්වා වූ කාල පරාසය තුළ ලොව පහළ වු සියලු බුදුවරයන්වහන්සේලා ගේ කාලයෙහි ඉපිද නොයෙක් පින්කම්කොට මෙසේ සැවැත්නුවර ධනවත් සිටු කුලයක රූමත් කුමාරිකාවක් ලෙස උපත ලැබුවා. සසර පුරා කෙතරම් පින් දහම් කල ද කුමන හෝ අවස්ථාවක අප විසින් යම් අකුසල කර්මයක් සිදු කළේ නම්, එහි ඵල විපාක ද ගෙනා පසු පස එන කරත්ත රෝදය මෙන් අප පසුපසම විත් විපාක දෙනවා. පටාචාරාවට ද එවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවුණා.

“මේ සිටු කුමරිය නොගැළපෙන විවාහයකට පෙළඹී අන්ත දුක් විඳී” යන ජන්ම පත්‍ර අනාවැකිය නිසා සියලු යස ඉසුරු මැද සත් මහල් ප්‍රාසාදයක උඩු මහල් තලයට වී දිවි ගෙවන්නට ඇයට සිදුවුණා. අනාගතයේ තම දියණියට වන්නට යන ව්‍යවසනයෙන් ඇය මුදාගන්නට දෙමව්පියන් ගත් මේ තීරණය බුද්ධිමත් එකක් යැයි සිතිය නොහැකිය. යස ඉසුරු මැද සිරගත කළ හුදෙකලා ජීවිතයක් කෙසේ නම් දුක මත පිහිටි ලෝකය දකින්නද? සඳලු තලයේ සිට අවට බලන ඇය දුටුවේ රජ මැදුරත් ඒ අවට පිහිටි සිටුමැදුරුත් පමණි. මිනිස්සු ජීවත් වෙන්න තමන්ගේම දෛවය සමඟ සටන් කරන හැටි පටාචාරා, දුටුවේ නෑ. දිළිඳුකම කුසගින්න, මිනිසුන්ගේ නැති බැරිකම මොනවගේද කියලා ඇය දැන සිටියේ නෑ. අවට ලෝකය ගැන සමාජය ගැන කිසිදු දැනුමක් නොතිබුණු පටාචාරා තමන්ගේම මාලිගයේ සේවය කරන කඩවසම් තරුණ පුරුෂයෙකුට පේ‍්‍රම කරන්නට පටන් ගත්තා. රූපශ්‍රීයෙන් අනූන තම තරුණ දියණියට සැප සම්පත් පිරුණු හුදෙකලා කුටියක සිරගත නොකොට මවුපියන් ඇයට මහ පොළොව පය ගසා ජීවත් වන්නට කියා දුන්නා නම් ඇතැම් විට ඇය කිසි විටක කම්කරු තරුණයෙකුට පෙම් නොකරනු ඇත. ඕනෑම පුද්ගලයෙකුගේ කායික හා මානසික සුවතාව හොඳින් පවතින්නට නම් යහපත් ආර්ථිකයක් තිබිය යුතුමය.

අපි ලුණුයි බතුයි කාලා හරි ජීවත්වෙමු. රත්තරන් “ කියලා දිළිඳු පෙම්වතා සමඟ පැනලා යන සිටු කුමරියන්ගේ ජීවිත මොන වගේද කියාල වර්තමාන සමාජය දිහා හොඳින් දෙනෙත් විවර කොට බැලුවහොත් අපට දැකගන්නට පුළුවන්. ඒ වගේ බොහෝ දෙනෙකුගේ ජීවිත කතන්දර කාන්තා සිර මැදිරි තුළින් පුරුත්ථාපන කඳවුරු තුළින් අපට අසන්නට ලැබෙනවා.

ජීවිතයේ එක් සුළු මොහොතකදී අප ගන්නා තීරණයකට පුළුවන් අපේ මුළු අනාගතයම වෙනස් කරන්න. මේ ජීවිත ගමනේදි වැඩිහිටියන් හිඳින්නේ අපට වඩා ගොඩක් ඉදිරියෙන්.අපට වඩා ඔවුන්ගේ ජීවිතාවබෝධය පුළුල් පරාසයක් තුළ විහිදී පවතිනවා. වැඩිහිටියන්ගේ බසට ඇහුම්කන් නොදී සිටීම අනුවණකමක් වන්නේ ඒ නිසයි. හැම අවස්ථාවකදීම ඔවුන් උත්සාහ ගන්නේ දරුවන් වරදින් මුදා ගන්නයි. ඒ සඳහා ඔවුන් ගන්නා පියවර තරුණ වයසේ දරුවන්ට ඇතැම්විට අරුචි වන්නට පුළුවන්. එහෙත් වැඩිහිටි අවවාදවල වටිනාකම අපට වැටහෙන්නේ ජීවිතය වරද්දාගත් විටයි. පටාචාරාවට ද මව්පිය සෙනෙහස වැටහුණේ ඇය කම්කරු තරුණයා සමඟ හොර රහසේ පැන ගොස් ජීවත්වන්නට පටන් ගත් විටය. එක් කලෙක සේවක සේවිකාවන්ගේ ආවතේව ගරු බුහුමන් මැද දිවි ගෙවු පටාචාරා දැන් තම සැමියාගේද කුදු මහත් කටයුතු සොයා බලමින් ගම්මානයක පැලක් තුළ ගෘහණියක් ලෙස දිවි ගෙවන්නේය. සැප සම්පත්වලින් පිරුණු පසුගිය ජීවිතය පිළිබඳ සිතමින් ඇය ලත වන්නේය. “ආදරය” ,”පේ‍්‍රමය” පමණක් ජීවත් වන්නට ප්‍රමාණවත් නොවන බව ඇය අවබෝධ කර ගන්නේ තම කුළුදුල් දරුවා ප්‍රසූත කරන්නට ආසන්න වෙද්දීය. දරුවන්ගේ ජීවිත යහපත් කරන්නට දෙමව්පියන් සිහින මවන අයුරු පටාචාරා අවබෝධ කර ගන්නේ ඇය ඇයගේ දරුවාගේ අනාගතය යහපත් කරන්නට සිහින දකින විටය.

“මේ පැලෙහි දරු ප්‍රසූතියට මට කිසිම උදව්වක් නැත. මගේ දෙමවුපියන් වෙත ගියහොත් ඔවුහු මට සමාව දෙති. එසේ වුවහොත් බිහිවන දරුවාටද යහපතක් වන්නේයැ”යි සිතන පටාචාරා දිනක තම සැමියාගේ ඇකැමැත්තෙන් ඔහුට ද හොර රහසේ දෙමව්පියන් වෙත යන්නට පිටත් වේ. එහෙත් අතරමඟදී ඇයට දරුවා බිහිකරන්නට සිදුවේ.ඇය සොයා පැමිණෙන ස්වාමි පුරුෂයා සමඟ නැවත තම පැල්පතට යන පටාචාරා යළිත් සුපුරුදු ලෙස එදිනෙදා ගේදොර වැඩ කර ගනිමින් දරුවා රැක බලා ගනිමින් කාලය ගත කරන්නීය. මෙලෙස කලක් ගතවී දරුවා පියවර නඟන කාලයේදී ඇයට නැවත දරු ගැබක් ඇති විය. දරු ගැබ මුහුකුරා යත්ම,ඇයට දරුවා බැලීමත් ගේ දොර වැඩ කටයුතු කිරීමත් දුෂ්කර කාර්යයක් විය. ‘මේ දරුවා බිහිවීම පිණිස දෙමවුපියන් වෙත යමි. ඔවුහු මුණුබුරාගේ සුරතල් දැක ඔහුට ආදරය කර අපටද සමාව දිය හැකිය”

හැඟීම්වලට වහල් වී දෙමවුපිය සෙනෙහස අමතක කොට දමා හිතු මනාපයට ආගන්තුක සෙනෙහසක් සොයා පැමිණි පටාචාරාට ජීවිතය වැරදුණු පසු මව්පියන් සිහිපත් වූවාය. මවුපිය සෙනෙහස හා ඔවුන්ගේ රැකවරණය පිළිබඳ අවබෝධයක් කුඩා කල සිටම දරුවන්ට තිබුණානම්, කිසි විටක එවැනි රැකවරණයක් ,සෙනෙහසක් අතහැර නො යනු ඇත. දෙවැනි වතාවේදි ද දරුවා බිහි කරන්නට මවුපියන් වෙත යා යුතුමයි. පටාචාරා ගත් තීරණය ඇගේ මුළු දිවියම විශාල වෙනසකට ලක් කළේය. මහ වර්ෂාව මධ්‍යයේ සිදු වූ අනපේකෂිත දරු ප්‍රසූතිය නිසා ඇති වූ කායික වේදනාවට, ඒ මොහොතේම සිදුවන සැමියාගේ අකල් මරණය සහ පසුව මුහුණ දෙන්නට සිදුවන දරුවන්ගේ වියෝව නිසා ඇතිවන මානසික වේදනාවද එකතු විය. මහත් වූ කායික, මානසික පීඩනයකින් යුක්තව සැනසීමක් පතා මවුපිය සරණ සොයා යන පටාචාරාට අතරමගදි අසන්නට ලැබෙන්නේ තම මවුපියන්ගේ සහ එකම සොහොයුරාගේ මරණය පිළිබඳ පුවතයි. අන්ත අසරණව සිටින මොහොතක සිහිවිකල් විය. හඬමින් , වැළපෙමින්, විටෙක සිනහවෙමින්, හැඳිවත පවා ගිලිහී වැටුණූ බවත් නොදන්නී, සැවැත්නුවරට යන පාරේ විලාප දෙමින් දිව ගියාය. මහා කාරුණික වු බුදුපියාණන් වහන්සේ එදින අලුයම ලොව බැලූකල උන්වහන්සේගේ නෙතට දිස් වූයේ අසරණ උමතු පටාචාරාවයි. මහා කාරුණිකයාණන්, වහන්සේ දම් සභා මණ්ඩපයේදී හිඳ, උමතු අසරණිය විහාරස්ථානය දෙසට එන ලෙසට අධිෂ්ඨාන කළ සේක. කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණව උමතුව සිටි පටාචාරාවට බුදු හිමි සරණ වූහ.පෙර කළ පින් ඇති බැවින් ඇය පහසුවෙන්ම ධර්මය අවබෝධ කර ගත්තාය. මෙලෙස ලැබුණා වූ නිවැරැදි මාර්ගෝපදේශකත්වය ,ඇය සසර කතරින් එතෙර කරවන්නට සමත් විය.

බිඳී විසිරී ගිය ජීවිත මේ සමාජය තුළ අනන්තය. නිවැරැදි මඟ, පෙන්වා දෙන්නට කිසිවෙකුත් නැතිනම්, කළ යුත්තේ තමන් ලද අත්දැකීම් තුළින් හෝ හොඳ නරක වටහා ගෙන වැරදුණු ජීවිතය නිවැරැදි මාවතකට යොමු කර ගැනීමය.ජීවිතයේ තමන්ට හිමිව තිබු සියලු දේ නැති වී ගියද, අහිමිව ගිය දෑ පිළිබඳ ලත වෙමින් නොසිට, ඇතිවී, පැවැති නැතිවී යන ලොවෙහි ඇති අනිත්‍ය ස්වභාවය නුවණින් වටහාගෙන තම අනාගතය සුවපත් කර ගන්නට පටාචාරවට හැකි විය.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]