UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව්දත් නොදුටු මොක් පුර

දෙව්දත් නොදුටු මොක් පුර

දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ හා ගිහිකල ඤාතීත්ත්වයක් පැවතියෙන් එම වරප්‍රසාදය යොදා ගනිමින් භික්ෂු සමාජයේ විශේෂිත පුද්ගලයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කර ඇත. තම සමීප බව නිසා බුදුරජාණන් වහන්සේ තමන් කියන කරන දේ එලෙසින් අනුමත කරාවි යැයි සිතා සිටි බව පෙනේ. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරන ලද්දේද එම අදහසෙහි පිහිටාය.

බුදුරජාණන් වහන්සේට විරුද්ධවාදීකම් පෑ අය කීපදෙනා අතර චිංචිමානවිකාව සුප්‍රබුද්ධ රජු, මාගන්ධියා දේවිය, දේවදත්ත තෙරුන් ආදීන් පිළිබඳව නිතර නිතර සඳහන් වෙයි. මොවුහු බුදුරජාණන් වහන්සේ තුළ පැවති උතුම් ගුණ සමුදාය වටහා නොගත්හ. තම තමන් ගෙන ආ අතීත කර්ම බලවේග නිසා බුදුගුණ වටහා ගැනීමට ඔවුන්ට නොහැකි වූවා පමණක් නොව එමගින් වර්තමාන ජීවිතයත් අනාගත භවයත් දුකට ම හෙළා ගත්හ. මේ පිරිස් අතරින් ප්‍රකට ම චරිතයක් වන්නේ දේවදත්ත හිමියන්ගේ චරිතයයි.

දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ හා ගිහිකල ඤාතීත්ත්වයක් පැවතියෙන් එම වරප්‍රසාදය යොදා ගනිමින් භික්ෂු සමාජයේ විශේෂිත පුද්ගලයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කර ඇත. තම සමීප බව නිසා බුදුරජාණන් වහන්සේ තමන් කියන කරන දේ එලෙසින් අනුමත කරාවි යැයි සිතා සිටි බව පෙනේ. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරන ලද්දේද එම අදහසෙහි පිහිටාය. ඒ අනුව දිනක් ජේතවන විහාරයට වැඩි දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනහ. එම අවස්ථාවේ සංඝයා පාලනය කිරීමේ බලය තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇත. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම එක හෙළා ම ප්‍රතික්ෂේප කළහ. එම සිදුවීම මුල්කර ගෙන බුදුරජාණන් වහන්සේ සමඟ වෛර බැඳගත් දෙව්දතුන් උන්වහන්සේ විනාශ කිරීමට උපාය යෙදීය. එහි පළමු පියවර ලෙස බිම්බිසාර රජතුමාගේ පුතණුවන් වූ අජාසත්ත කුමරු හා මිතුරුව පියා මරා රාජ්‍යත්ත්වයට පත්වන ලෙස පොළඹවා ඇත.

එහි ප්‍රතිඵලය වූයේ පියරජතුමාට දරුණු වධ දී මරණයට පත් කිරීමයි. දඟ ගෙයි දමා ආහාරපාන ලබා නොදී කුසගින්නේ මැරී යාමට කටයුතු යොදා ඇත. බුදුරජුන්ගෙන් බණ අසා පැහැද සෝවාන් වී සිටි රජතුමා මරණින් පසු ‘ජන වසභ’ නමින් දෙවියෙක්ව චාතුම් මහා රාජිකදෙව්ලොව උපන්නේ ය.

අජාසත් රජතුමාගේ ඇසුරෙන් ශක්තිමත් වූ දෙව්දතුන් බුදුරජාණන් වහන්සේ මරා දැමීම සඳහා දුනුවායන් යොදවා ඇත. එහෙත් දුනුවායන් සමඟ සුහද කතා බහක යෙදීමෙන් ඔවුන් බුදුරජාණන් වහන්සේ හා මිත්‍රවීම නිසා එම පළමු උත්සාහය ව්‍යර්ථ විය.

දෙවනුව බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම සඳහා නව උපක්‍රමයක් භාවිතා කොට ඇත. එනම් බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්ව පාමුල සක්මන් කරමින් සිටින විට පර්වතය මුදුනේ සිට පහළට ගලක් හෙළීමයි. එම අවස්ථාව ද ව්‍යර්ථ වන්නේ අලුතින් මතු වූ ගල්කුලක් එම පෙරලන ලද ගල් කුල වළකාලීම නිසයි. එම අවස්ථාවේ දී ගැලවී ගිය ගල් පතුරක් වැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ පාදයක ඇඟිල්ලක් තුවාල ව ඇත. එයට ජීවක වෛද්‍යවරයා සැත්කමක් කොට ප්‍රතිකාර කර ඇත.

තව තවත් වෛරී වූ දෙව්දත් තෙරුන් තුන්වන වතාවටත් බුදුරජුන් ජීවිතක්ෂයට පත් කිරීමට උත්සාහ කොට ඇත. ඒ අනුව රජගහනුවර සිටි චණ්ඩ රෞද්‍ර ඇතෙකු හැඳින ඇත් ගොව්වන්ට අල්ලස් දී බුදුරජාණන් වහන්සේ වඩින ඉදිරි මඟට ඇතා මෙහෙයවා ඇත. රා කළ සොළොසක් පොවා බෙර, සිංගාරම් ආදිය හඬවා ප්‍රකෝප කර සිටි එම දරුණු ඇතා ඉදිරිපිටට පැමිණෙන බුදුරජාණන් වහන්සේ එම නාලාගිරි (ධනපාල) ඇතා කාරුණික වදනින් දමනය කොට ඇත. උන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ නාලාගිරි ඇතාගේ කුම්භස්ථලයෙහි අත තබා

නා කුංජර නාග මාසදො
දුක්ඛංහි කුංජර නාගා මාසදො
නහි නාග හතස්ස කුංජර
සුගති හොති ඉතො පරං ගතො

මාච මදෙ මා ච පමාදෙ
නහි පමත්තා සුගතිං වජන්ති
තෙන ත්වඤ්ඤෙව තථා කරිස්සති
යෙන ත්වං සුගතිං ගමිස්සසි”

ඉහත ගාථාවන්, දේශනා කළහ. ඉන් කියැවෙන්නේ “හස්ථිය, බුද්ධ නමැති ඇත් රජුහු, වෙළන්නාට මතු යම් හෙයකින් සුගතියෙක් නොවන්නේ ද? එහෙයින් වධක සිතින් බුද්ධ නාගයා වෙත නො එළඹෙව. බුද්ධ නමැති හස්ථි රාජයා වෙත එසේ වධක චිත්තයෙන් පැමිණීම මතු දුක් විපාක ලැබීමට හේතු වේ. මත් නොවව, පමා නොව පමා වූවො සුගතියට නොයෙත්, එබැවින් සුගතියට යා හැකි සෙයක් හෝ ම කරව.....” යන්නයි. ඒ අනුව එම ඝාතන උත්සාහයද අසාර්ථක විය.

දෙවිදත් තෙරුන් අනතුරුව උත්සාහ කරන්නේ භික්ෂූන් වහන්සේලා තමන් වෙත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට විරුද්ධ පිරිසක් ගොඩනැඟීමයි. ඒ අනුව තමන්ට පක්ෂපාතී කෝකාලික කට මෝරක තිස්ස, සමුද්දදත්ත යන භික්ෂූන් වහන්සේලාත් ථුල්ල නාදා නම් මෙහෙණියත් සමඟ එක්ව පිරිස් බලයක් ගොඩ නගා ගෙන ඇත. තම හිත පක්ෂපාතී කණ්ඩායම හා සාකච්ඡා කොට භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු පිළිවෙත් පහක් සකස් කොට එය බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කොට ඇත. දේවදත්ත තෙරුන්ගේ වර පස නමින් එය ප්‍රකටය.

1. දිවි ඇතිතෙක් භික්ෂූන් ආරණ්‍යවාසී විය යුතුය
2. දිව ඇතිතෙක් භික්ෂූන් පිණ්ඩපාතිකව සිටිය යුතුය
3. දිවි ඇතිතෙක් භික්ෂූන් පාංශුකූලිකව සිටිය යුතු ය.
4. දිවි ඇතිතෙක් භික්ෂූන් වෘක්ෂ මූලික විය යුතු ය.
5. දිවි ඇතිතෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් වැළකිය යුතු ය.

මෙම ඉල්ලීම් පස ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ කැමැති කෙනෙක් මෙය කෙරේවා. අකැමැති කෙනෙක් එය නො කෙරේවා යනුවෙන් දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් දෙව්දත් තෙරුන් තම මතය ඉදිරිපත් කර තමන්ට පක්ෂපාතී පන්සීයක් පමණ භික්ෂු පිරිසක් සමඟ ගයා ශීර්ෂයට ගොස් වෙනම පොහොය විනයකර්ම ආදිය කරමින් කල් ගෙවූහ. කල්පයක් නිරයේ පැසෙන දෙවන ආත්ම භාවයේ අනිවාර්යයෙන් විපාක දෙන ආනන්තරීය පාපකර්මයක් වන සංඝභේදය නමැති අකුසල කර්මයද එමගින් සිදු කරගන්නේ ය.

දෙව්දතුන් ගේ ක්‍රියා කලාපයෙන් විනාශයට පත් වන අන්‍ය භික්ෂූන් ඉන් මුදවා ගනුවස් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගයාශීර්ෂයට යවා ඔවුන්ට කරුණු පෙන්වා දී එම පිරිස යහ මගට ගෙන ඇත. සැරියුත් හිමියන්ගේ ධර්ම දේශනාව අසා පන්සියක් පමණ එම භික්ෂූන් වහන්සේලා සෝවාන් වූහ.

දෙව්දත් තෙරුන් සම්බුද්ධ ශරීරයෙහි ලේ සෙලවීමෙන් ද බලවත් අකුසලයක් කර ගත්තෙකි. ධ්‍යාන වඩා සෘද්ධිමතෙකුව සිටියෙකි. ලාභයෙහි ඇලී සිටියෙකි. එනිසාම සසර ප්‍රමාද වූ වෙකි. බුදුරජාණන් වහන්සේ ඇසුරේ සිටිමින් බණ ඇසුවද සසරින් මිදීමට අසමත් විය. අවසන් මොහොතේ බුදුරදුන් දැකීමෙහි සිත් ඇතිව සිසුන්ගේ කර පිටින් පැමිණිය ද ජේතවන පොකුණ සමීපයෙහි දී පොළොව පැලී අවීචි මහා නිරයට ගිය බව සඳහන් වෙයි.

ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
සිඳ විඳ දුක් සසර – අනේ දෙව්දත් නොදුටි මොක් පුර

යනුවෙන් ගුත්තිල කතුවරයා පවසනුයේ එහෙයිනි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]