UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙලෙස් බර දුරු කරන ශ්‍රද්ධාව

කෙලෙස් බර දුරු කරන ශ්‍රද්ධාව

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වුයේ තුන්ලෝ වැසි දනන්ගේ මෙලොව පරලොව ජීවිත සුඛිත මුදිත කරගෙන සංසාරික ජීවිත කෙළවර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරදීම පිණිසය. මෙකී කර්තව්‍ය බෞද්ධ සම්ප්‍රදායේ සඳහන් වන්නේ බුද්ධ කිස යනුවෙනි. කිස යනු කළ යුතු දේ යනුයි. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝ තලයෙහි පහළ වන්නේ නම් එය මිනිසත් බව ලැබු සෑම දෙනාගේම මහත් භාග්‍යසම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එහි සුවය දැනෙන්නේ මිනිසත් බවැ ලැබූ අය පමණක් නොව තිරිසන් සතුන්ටත් වෙනත් ජීවි අජීවි වස්තූන්ටත් එලෙසම දැනෙන්නේය. අප සම්බුදුරජාණන් වහන්සේගේ උපත (බෝසත් උපත) සිදු වූ දින මුළු ලොව පුරා මහත් ආහ්ලාදයකින් පිරී ගිය බව සැබවි. එහි ආලෝකය ජීවි අජීවි සියලු වස්තුන්ටම දැනුණ බව අරුමයක් නොව.මේ අනුව නිතැතින්ම කියැවෙන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම යනු මිනිසත් බව ලැබු සියලු දෙනාට වැඩදායක අවස්ථාවක් ලෙසයි.

මේ ලොව පිළිබඳ සැබෑ තතු හොඳින්ම අවබෝධ කරගත් උත්තරීතරම පුද්ගලයෙක් වන්නේ නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේමය. ලෝකවිදූ යන උතුම් බුදු ගුණයෙන්ද උන්වහන්සේ පිදුම් ලබන්නේ ඒ ගුණය උන්වහන්සේටම පමණක් ඇති නිසාවෙනි. උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණ සත්‍යයක් ඇත. එම සත්‍යය අප සරලවම හඳුන්වන්නේ ශ්‍රී සද්ධර්මය ලෙසිනි. එහි ආරක්ෂා කිරීමටත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට හුදී දනන්ට ඒ නිර්මල වූ ගැඹුරු වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට සසර ගමන කෙටි කිරීමට දායක වුවෝ මහා සංඝරත්නයයි. බෞද්ධ දර්ශනය තුළ ‘තෙරුවන’ යනුවෙන් හඳුන්වන්නේ මේ උතුම් රත්නයන්ටය. තෙරුවන් සරණ ගිය තැනැත්තා බෞද්ධ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වන්නේ බෞද්ධ උපාසක යන උත්තරීතර නාමයෙනි.

නිවැරදි ලෙසම තෙරුවන් සරණ ගිය තැනැත්තා ය. සැබෑ බෞද්ධයෙකු වන්නේ, නිසි ලෙසින් තෙරුවන් සරණ ගිය තැනැත්තෙක් තුළ “ශ්‍රද්ධාව“ නම්වු උතුම් ගුණාංගය පවතී. මේ අනුව තෙරුවන් සරණ යන්නේ නම් ඒ හා සමානව කියැවෙන වචනයක් වන්නේ ශ්‍රද්ධාව යන්නයි. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බොහෝ දේශනාවන් තුළ ශ්‍රද්ධාවන්තයා පිළිබඳව සඳහන් වේ. මේ ලිපියෙන් පින්වත් ඔබට ශ්‍රද්ධාවන්තයා පිළිබඳවත් ශ්‍රද්ධාව පිළිබඳවත් අවබෝධයක් ලබා ගත හැකිවේ.

ත්‍රිපිටකයේත් ත්‍රිපිටකයට සම්බන්ධ බොහෝ අටුවා ටීකා ග්‍රන්ථයන්හි ශ්‍රද්ධාව යන්නට අරුත් සපයා තිබේ. උදානට්ඨකථාවේ එයට ලබා දී ඇති අර්ථය වන්නේ කර්ම ඵල හා තෙරුවන් කෙරෙහි ඇති කර ගන්නා වු ඇදහීමයි. ධම්මසංගිණි අටුවාවේ දක්වා ඇත්තේ තමා පිළිබඳව හෝ පවත්නා ඇදහීම් මාත්‍රය ශ්‍රද්ධාව යනුවෙනි. මේ අනුව සරලවම අවබෝධ කරගන්නේ නම් මෙලොව ජීවිතයේත් පරලොව ජීවිතයේත් සුබ සිද්ධිය උදාකර ගැනීම පිණිස ඇති වන්නා වූ චෛතසිකයක් ලෙස ශ්‍රද්ධාව නම් කළ හැකිය. බුදු දහම මිනිස් හදට ඇතුළු වීමට ප්‍රථම ඔවුන් විශාල ගස්වලට පර්වතයන්ට ගල්වලට මහත් භක්තියකින් වන්දනාමාන කළ බව සාසන ඉතිහාසයෙන් පෙනේ. ඉර සඳ තාරුකා වැනි දේ පවා ඔවුන් සැලකුයේ මහා අද්භූත වස්තුන් ලෙසය.මේවා නිර්මාණය කළේ ඊශ්වර නමින් හැඳින්වෙන දෙවියා බව ඔවුහු සැලකූහ. ඒ නිසා ඒවාට වැඳුම් පිදුම් කිරීමට නිතැතින්ම ඔවුන් යොමුවූ බව පෙනේ. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවන් වූ ක්‍රියාවක් කරන්නේ නම් එය අරුත් රහිත , නිශ්ඵල ක්‍රියාවක් වන බවයි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී යමෙක් තෙරුවන් සරණ ගියේ නම් ඒ මනා වැටහීමකින් යුක්තවය. තෙරුවන් සරණ ගිය තැනැත්තා තුළ අවිවාදයෙන්ම තිබිය යුතු ගුණාංගයක් නම් ශ්‍රද්ධාවෙන් සමන්විත වීමය. මේ වචනය පිළිබඳ ව්‍යාකරණානුකූලව අර්ථ දැක්වුවහොත් මනා අරුතක් ලබා ගැනීමට හැකි වන්නේය. සංස්කෘත භාෂාවෙන් ශ්‍රද්ධා යනුවෙන්ද පාලියෙන් සද්ධා යනුවෙන් ද සඳහන් එය සිංහලින් භාවිතා වන්නේ සැදැහැ යන නමිනි. එය පාලි සද්ධා යන්න තත්භව වීමකි. තවත් අරුත් දක්වන්නේ නම් හොඳින් විශ්වාසය ඇති කර ගැනීම ආකාරවති ශ්‍රද්ධාව ලෙසත් වැරදි ලෙස විශ්වාස කිරීම අමුලික ශ්‍රද්ධාව ලෙසත් ගැනිය හැකිය.මේ වදන භාවිතකිරීමේදි නොදැනුවත්කම නිසා වැරැදි ලෙස ව්‍යවහාර කිරීමක්ද යම් අවස්ථාවලදි පෙනේ. ත්‍රිපිටකයේ ඇති බොහෝ සූත්‍රවලදී මේ පිළිබඳව යම් යම් අරුත් ගැබ් වී ඇත. ත්‍රිපිටකයේ ඇති අභිධර්ම කොටසේ චෛතසික ධර්මයන් තුළද මෙය අන්තර්ගතය. එහිදී පෙන්වා දෙන්නේ කිලුටට පත්විය හැකි වූත් නැවත පිරිසුදු විය හැකි වන්නා වූත් චෛතසිකයක් ලෙසය.

මෙහි ඇති වැදගත්කම පිළිබඳ දක්වන්නේ නම් බෞද්ධ දර්ශනයේ ඇති බොහෝ ධර්ම කාරණාවන්වලදි ශ්‍රද්ධාවට ප්‍රමුඛත්වයක් ලැබී තිබීමයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි පඤ්ච ඉන්ද්‍රියන්ට ද පඤ්ච බලයන්ට ද චතු සම්පදාවන්හි ද සප්තාර්ය ධනයෙහිද පසළොස් චරණ ධර්මයන්හිද මෙයට ලැබී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. ඉහතින් දැක්වූ ලෙස ශ්‍රද්ධාවේ ඇති මුල්බෙදීම වන්නේ අමූලිකා හා ආකාරවති යනාදී ලෙස කොටස් දෙකකට බෙදීමයි. සම්බුදුදහම ලොව පහළ වීමට ප්‍රථමවද ශ්‍රද්ධාව යන සංකල්පය භාවිත වී ඇත. මුලින් සඳහන් කළ පරිදි එකල ගස්, ගල් පර්වතයන්ටත්, ඉර, සඳු, තරු ආදියටත් වැස්ස,අව්ව ගින්න ආදියටත් දේවත්වයෙන් සැලකු පිරිස් ජීවත් වූහ. ඔවුන් තුළ වුයේ කරුණූ නිසි ලෙස අවබෝධ කර නොගත් අවිචාරවත් ඇදහීමකි. මෙය අමුලිකා ශ්‍රද්ධාවයි. විචාරශීලිව කරුණූ හොඳ හැටි අවබෝධ කරගෙන ශ්‍රද්ධාව ඇති කර ගත්තෝ ආකාරවති ශ්‍රද්ධාවෙන් යුක්ත වූහ. බුද්ධ දේශනාව තුළ සම්භාවනාවට පත් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවමය . අමූලිකා ශ්‍රද්ධාවෙන් යමෙක් කටයුතු කරන්නේ නම් ඔහුගේ ජීවිතය පරිහානියට පත්වන්නේමය. ඒ ඔහු මංමුලා වුවෙකු ලෙස කටයුතු කිරිමට පෙළඹීමයි. නිවන් අවබෝධ කරගැනීම තෙක් මනා සිහියෙන් යුක්තව ගමන් කිරීමට අවශ්‍ය වන කරුණකි. එහෙත් අමූලිකා ශ්‍රද්ධාවට නතු වූවෝ වැරදි වැටහීම් ඇති කරගෙන සසර ගමන තව තවත් දීර්ඝ කර ගනිති. මෙයට හොඳ උදාහරණයක් ලෙස මජ්ක්‍ධිම නිකායේ චංකී සූත්‍රය සඳහන් කළ හැකිය.

ආකාරවති ශ්‍රද්ධාව යනු මෙයින් ප්‍රතිවිරුද්ධ අංශයයි. මුලින් සඳහන් කළා සේම විචාර පූර්වකව යමක් පිළිබඳ මනා අවබෝධයෙන් සිතා හරිදේ අල්වා ගැනීමටත් වැරදි දේ ඉවත් කිරීමටත් ඇති හැකියාවයි. මෙයින් ගම්‍ය වන්නේ. මෙහිදී ඉතා වැදගත් සිදුවීමක් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වේ. එනම් සම්බුදු හිමියන් පිළිබඳ යමෙකුට තමා ගැන හෝ ධර්මය ගැන සැක සංකා ඇත්නම් ඒ පිළිබඳව විමසීමේ හැකියාව ලබා දී තිබීමයි. කාලාම සූත්‍රයේදි වුවද තමන්ට නිවැරදිව සිතා තීන්දු තීර්ණ ගැනීමේ ස්වාධීන අවස්ථාව හිමිකර දී තිබේ. අප යම් කෙනෙක් පිළිබඳව පිරිසුදු චේතනාවක් පහළ වීමට නම් ඒ තැනැත්තා පිළිබඳව මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යුතුය. බුදුරදුන් පිළිබඳව නිසි අවබෝධයක් විශ්වාසයක් නැත්තෙකුට උන්වහන්සේ පිළිබඳ ප්‍රසාදය ඇති කරගත නොහේ. ශී‍්‍ර සද්ධර්මය ද මහා සංඝරත්නය පිළිබඳවද ඉහත පරිදිමය. ඒ නිසාවෙනි. බුදු දහම තුළ සැකයට ඉඩක් නොලැබෙන සේ සියල්ල මනාව වටහා ගැනීමට හා විචාරශීලිව තීරණ ගැනීමට අවස්ථාව උදාකර දී තිබෙන්නේ. එසේ මනා වැටහීමක් ඇත්තාහට අවේච්චප්පසාදය ඇතිවේ. එනම් නැවත කිසිම කරුණක් නිසාවත් තමාගේ සිතුවිලි වෙනස් කරන්නේ නැත. එකම අරමුණක පිහිටයි. ඒ අරමුණ ද ධර්මානුකූල බෞද්ධ ප්‍රතිපදාවන්ට සමීපය.

සම්මා සම්බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් උපදින්නේ උන්වහන්සේ මිනිසුන් අතර ඉපිද ඔවුන් අතරම හැදී වැඩී ලොවෙහි තතු මැනවින් දැන හැඳින මහාභිනිෂ්ක්‍රමණයත් දුෂ්කර ක්‍රියාවේ වර්ෂ 06 ක් තරම් දීර්ඝ කාලයක් යෙදී උතුම් සම්මා සම්බෝධියට පත්වීම පිළිබඳව සාක්ෂ්‍ය හෝ සාධක පෙනෙන්නට තිබීමයි. සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මනුෂ්‍යත්වයත්. මහා කරුණාව පිළිබඳවත් ප්‍රඥාවෙන් පරිපූර්ණ බවත් උන්වහන්සේගේ ජීවිතය තුළින්ම අපට මැනවින් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන්ම උන්වහන්සේ දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කරුවකු නොව මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතරම හැදී වැඩී සම්බුද්ධත්වයට පත්ව දේවත්වය ඉක්මවා ගිය උත්තරීතර මනුෂ්‍යයෙකු වීමද වැදගත් වෙයි. මීට අමතරව විශුද්ධී මාර්ගයෙහි සඳහන් වන පරිදි බුදුවරයෙකු පවා කල්පයක් තිස්සේ තවත් බුදුවරයෙකුගේ බුදුගුණ වර්ණනා කිරීම සිදු කළ ද කල්පය අවසන් වන්නා මිස සම්බුදුගුණ අවසාන නොවන බව ප්‍රකාශ වීම ආදියෙන් සම්බුදු ගුණ කදම්භය පිළිබඳ අවබෝධයක් ඇතිකරගත හැකිවේ.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය පමණක් නොව ශී‍්‍ර සද්ධර්මය පිළිබඳව ද නොවෙනස් වන ශ්‍රද්ධාවක් ඇති කරගැනීමට හැකි වන්නේ ආකාරවති ශ්‍රද්ධාවෙන් සම්ප්‍රයුක්ත තැනැත්තාටමය. සම්බුදු හිමියන් අරිය පරියේසන සූත්‍රයේදි ධර්මය පිළිබඳ පැහැදිලි කරමින් දේශනා කළේ “මා විසින් අවබෝධ කරගත් ධර්මය ගැඹූරුය. දැක්මට අපහසුය.අවබෝධයට අපහසුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් දැකගත නොහැකිය. නිපුණය,පණ්ඩිතයන් විසින් දත යුතුය,” යනුවෙනි. එසේ නම් එමඟින් අපට අවබෝධ විය යුත්තේ එහි ඇති ස්වභාවයයි. සන්දෘෂ්ටික වු අකාලික වු ශ්‍රී සද්ධර්මය අවබෝධයට මනා බුද්ධියක් තිබිය යුතුමය. නොඑසේ නම් වැරදි වැටහීම් ඇති කරගෙන විචිකිච්ඡාවෙන් යුක්තව කටයුතු කළහොත් සිදුවන්නේ පරිහානියමය.මහා සංඝරත්නය පිළිබදව දැනීමද ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට මනා පිටුවහලක් වන්නේමය. මනාවූ මාර්ගයට පිළිපන් උන්වහන්සේලා ඤාණයෙන් පරිපූර්ණය.

ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලි කරණීය යනාදී ගුණයන්ගෙන් සම්භාවනාය. ඝොර බිරම් සසරින් එතෙර ව අනුන්ද එයින් මුදාලීමට නිරාමිස පී‍්‍රතියෙන් යුක්තව සසුනේ යෙදෙන උන්වහන්සේලා කෙරෙහිද ධර්මයට හිතැති එමඟෙහි නියුක්ත ශ්‍රද්ධාවන්තයාගේ චෛතසිකයන් පරිපූර්ණය.

මීට අමතරව තවත් ඉතා වැදගත් කරුණක් ධර්මයේ දැක්වේ. එනම් ශ්‍රද්ධාවන්ත තැනැත්තා තුළ තිබෙන්නා වූ ගුණධර්ම පිළිබඳව සඳහන් වීමයි. ඉහත දැක්වූ කරුණු ප්‍රධානතම ඒවා වන අතර පහත දැක්වෙන සාධක ද ඔහු තුළින් නිරූපණය වන බවයි අප අවබෝධ කර ගත යුත්තේ.

සිල්වතුන් දැකීමට කැමති, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරිමට කැමති, මසුරු මළ සිතින් ඉවත් කිරීමට උත්සාහ කිරීම ආදින්ගෙන් සමන්විත වන්නේ නම් ඔහු ශ්‍රද්ධාවන්තයෙකු බව ධර්මයේ සඳහන්ය. ඉහතින් දැක්වු ලක්ෂණයන්ට අමතරව අත්ථසාලිනී නම් අටුවාවෙහි ශ්‍රද්ධාවන්තයෙකු තුළ පවත්නා තවත් ලක්ෂණ කිහිපයක් නිරවුල්ව පෙන්වා දී ඇත. මාණික්‍යය ජලයට බහාලූ පසු එම ජලය පවිත්‍රත්ත්වයට පත්වන්නේ යම් සේද බුද්ධාදී උතුම් රත්නයන් මනසට නැගෙන විට කෙලෙස් නමැති මඩ බොර ගතිය යටපත් වී පිරිසුදු ජලය මෙන් සිත නිර්මලත්වයට පත්වේ. එසේ නිර්මලත්වයට පත් වු සිතකින් යුත් පුද්ගලයාට දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, තෙරුවන් ඇසුරු කිරිමට සිත් ඇති වීම ආදි කුසල චේතනාවන් ඇති වන බව පෙන්වා දී ඇත. ශ්‍රද්ධාව පිළිබඳව ද අත්ථසාලිනි අටුවාවේ අතිශය වැදගත් වන කරුණක් අන්තර්ගත වේ. එනම් සසර නමැති සයුරින් එතෙර වීම සිතන තරම් පහසු කරුණක් නොව අතිශය දුෂ්කර කරුණක් වන බවයි. සසර දිග් වන්නේ කෙලෙස් ප්‍රහීණ නොකළ නිසාවෙනි. කෙලෙස් නමැති ඕඝය ප්‍රහිණ කිරීම සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව බව එහි එන ධර්ම කරුණකි. ශ්‍රද්ධාවන්තයා තුළ කෙලෙස් බර අඩු බවයි. එයින් ගම්‍ය වන්නේ ශ්‍රද්ධාවන්ත තැනැත්තා නිතැතින්ම ප්‍රඥාව කරා කෙමෙන් ළඟා වීමට උත්සුක වන බව මනාව පැහැදිලි වේ.

ශ්‍රද්ධාව ඉහතින් පෙන්වා දුන් පරිදි එහි ප්‍රමුඛතම ප්‍රභේද අපි මනාව හඳුනාගත්තෙමු. ඊට අමතරව තවත් ප්‍රභේද රාශියක් ද දැක ගත හැකිය. ඒවා නම්,

සම්පසාදන ලක්ඛණ සද්ධා
සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා
සද්දහන ලක්ඛණ සද්ධා
ඕකප්පන ලක්ඛණ සද්ධා
ආගම ලක්ඛණ සද්ධා
අධිගම ලක්ඛණ සද්ධා

යනු ඒ ප්‍රභේදයන්ය. මේවායෙන් විශේෂිත වූ අරුත් ගැබ්ව පවතින බව පෙනේ. සම්පසාදන ලක්ඛන සද්ධා යන්නෙන් ලෝභ,දෝෂ මෝහාදි කෙලෙස් යටපත් කර සිතෙහි ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාවයි. සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව ඇති වන්නේ දාන ශීලාදි පින්කිරිමෙහි කෙතරම් බාධක ආවද ඒ පිළිබඳ නොසලකා සියලු බාධක මැඬගෙන ඉදිරියට යන තැනැත්තාටය. සද්දහන ලක්ඛන ශ්‍රද්ධාව යන්නෙන් ගම්‍ය වන්නේ තෙරුවන් කෙරෙහි අඥාන, සංශය, දුර්ඥාන යන කෙලෙස්වලින් තොරව තතු මනාව දැන ඇතිකර ගන්නා වූ අචල, ස්ථාවර වූ ශ්‍රද්ධාවයි. ඕකප්පන ශ්‍රද්ධාව බුද්ධාදී උතුමන් වහන්සේලාගේ ඇති ගුණ තතු ලෙස දැන එහි පත්ලටම ගොස් ඇතිකරගත්තා වූ ශ්‍රද්ධාවයි. බෝසතාණන් වහන්සේලා ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව ආගම නමින්ද ආර්ය ශ්‍රාවකයින්ට පහළ වන ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධා නමින්ද නම් කළ හැකිය.

අප දැන් ශ්‍රද්ධාවත් භක්තියත් පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා මේ දෙකෙහි බලපෑම කෙබඳු දැයි යළිත් විමසා බලමු. බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ශ්‍රද්ධා සංකල්පයෙන් ප්‍රසාදය ලෝලත්වය හෝ පේ‍්‍රමය ආදි අරුත් කිහිපයක් ගම්‍ය වුවත් එය භක්තිය යන මනෝභාවයෙන් සපුරාම ප්‍රතිවිරුද්ධ සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාව නම් ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා චිත්ත ප්‍රසාදයයි. එය නිරායාසයෙන්ම පුද්ගලයාගේ මනස තුළ හටගන්නා මනෝභාවයකි. එහෙත් භක්තිය යන්න මෙයට ඉඳුරාම වෙනස් වුවකි.

සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යමක් දෙස බුද්ධිමත්ව බලන ලෙසයි. මේ කරුණ සඳහා උන්වහන්සේ තමන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා දායක වූයේ බුද්ධිය බව පෙන්වා දී තිබේ. මජ්ක්‍ධිම නිකායේ වීමංසක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ භක්තියෙන් යුක්ත තැනැත්තාට නිවන් සාක්ෂාත් කිරීම කිසිදු දිනෙක සඵල කර ගැනීමට හැකියාවක් නොවන බවයි. තමන් සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ වුවද සැකයක් ඇත්නම් එය ද විචාරා නැතිකර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි. ඒ සැකය වුව නිවන් මඟට පිවිසෙන්නට වෑයම් කරන්නාට අහිත පිණිස හේතු කාරණාවක් වන්නට පුළුවන.

උන්වහන්සේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ දාළිද්දිය සූත්‍රයේදී මෙසේ දේශනා කළ සේක. යම් අයෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වු ශ්‍රද්ධාවෙන් සමන්විත වන්නේ නම් එහි මැනවින් පිහිටන්නේ නම් යහපත් වූ ආර්යකාන්ත ශීලය ප්‍රශංසා කරන ලද බවයි. එහිදීම යමෙක් සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇත්ද ඥාන දර්ශනයෙන් ඍජු වේද ඔහු නොදිළින්දෙකි. (බුද්ධාදී උතුමන් වහන්සේලා ද එලෙස වදාරති) ඔහුගේ ජීවිතය හිස් නොවේ. එහිම අභිසමය සංයුත්තයේදී උන්වහන්සේ දේශනා කරන්නේ යමෙක් තුළ තෙරුවන් පිළිබඳ පැහැදිලිව අචල ශ්‍රද්ධාව ඇත්ද ඔහු ප්‍රඥාව කරා ළඟා වන බවයි. මජ්ක්‍ධිම නිකායේ භික්ඛූ වග්ගයේ කීටාගිරි සූත්‍රයේදි පෙන්වා දෙන්නේ ලෝකයේ විද්‍යමාන වන පුද්ගලයින් අතුරින් ශ්‍රද්ධාවන්තයා ද එක් අයෙක් බවයි.

ශ්‍රද්ධාව යනු ප්‍රඥාව කරා ගමන් කරන මඟෙහි මුල්ම පියවර බව මුලින් පෙන්වා දෙන ලදී. ප්‍රඥාවෙන් ආලෝකවත් තැනැත්තාට නිවන් මඟට පහසුවෙන් එළඹිය හැකිය.

නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අප යන ගමන් මඟේදී ඒ සඳහා පිරිය යුතු සෑම ධර්ම කරුණක්ම බොහෝ විට ශ්‍රද්ධාවෙන් ඇරඹි ප්‍රඥාවෙන් කෙළවර වන බව පැහැදිලි වේ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ රාගාදීපෙය්‍යාල සූත්‍රයේදී නිවන් අරමුණූ කරගත් තැනැත්තා වැඩිය යුතු ධර්මතා පසක් පෙන්වා දේ. එනම් සද්ධා බලය, විරිය බලය, සති බලය. සමාධි බලය, පඤ්ඤා බලය යනාදියයි. පටිසම්භිදා මග්ගයෙහිද සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ “මහණෙනි, ශ්‍රද්ධාව නමැති ඉන්ද්‍රිය බෝධි පාක්ෂික ධර්මයක් වන්නේය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් වන්නා වූ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේද පරලොව හිත පිණිස හේතුවන්නා වූ කරුණු අතරින් පළමු කරුණ වන්නේ ශ්‍රද්ධාවයි. (සද්ධා , සීල, චාග, පඤ්ඤා) එහිම සත්තක නිපාතයේ සංඛිත්තධන සූත්‍රයේදි සප්ත ධන අතර පළමුවෙන්ම සඳහන් වන්නේද ශ්‍රද්ධාවයි. එහිම අන්තර්ගත (සත්තක නිපාතයේ සත්තධම්ම සූත්‍රයේදී සද්පුරුෂයෙකු සතු ධර්මතා රාශියක් දක්වා ඇත.එහි දී ද ප්‍රමුඛ වන්නේ ශ්‍රද්ධාවයි,

ඉහත කරුණු අනුව ශ්‍රද්ධාව යනු හුදු වචනාර්ථයට පමණක් සීමා වූවක් නොව නිවන් මඟට ප්‍රවිෂ්ඨවීම සඳහා මහෝපකාරි ධර්ම කාරණාවක් බව පැහැදිලි වේ. කසී භාරද්වාජ සූත්‍රයේදී සම්බුදු හිමියන් භාරද්වාජයන්ට පෙන්වා දුන්නේ සසුන කෙතක් වන්නේ නම් ශ්‍රද්ධාව යනු එහි වපුරන බීජය වන බවයි. ඉහතින් දැක්වු කරුණු සැලකිල්ලට ගෙන නිර්වාණගාමී මඟෙහි යෙදෙන අපත් ආකාරවති ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රඥාසම්පන්නව උතුම් වූ නිවන් මඟ විවර කර ගනිමු.

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]