UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 22

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 22

ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර නගරයේ පිඬුසිඟා වැඩම කළ අවස්ථාව පිළිබඳව සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවෙන් දුරුතු අව අටවක පෝදා පත්‍රයෙන් සිහිපත් කළෙමු.

සුදොවුන් මහ රජ තුමාගේ ඇරැයුමෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක මහ සඟරුවන රජ මැදුරේදී දානය වැළඳීමෙන් අනතුරුව දහම් දෙසූ අවස්ථාව ගැනද එහිදී සඳහන් කළෙමු.

සුදොවුන් මහ රජතුමා තථාගත බුදුපියාණන් වහන්සේ දෙසූ සදහම් ශ්‍රවණය කර සෝවාන්වීමෙන් අනතුරුව සකෘදාගාමී විය. ධර්ම ශ්‍රවණය කළ මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයට පත්වූවාය.

සුදොවුන් මහ රජතුමා විසින් යශෝධරා දේවියටද පැමිණ බුදුපියාණන් වහන්සේට වන්දනා කරන ලෙස දන්වා යැවුවද, එහිදී යශෝධරා දේවිය ස්වකීය අදහස් දැක්වූ ආකාරය පිළිබඳ සිහියට නඟා ගනිමු.

“වසර ගණනාව තුළ තමා ගත කළ ජීවිතය ගැන හොඳින් දන්නා නිසා බුදුරජාණන් වහන්සේ තමා හමුවට පැමිණෙනු ඇත. කසාවත් හැඳි බව ආරංචි වූ මොහොතේ සිටම මම ද සියලු ආභරණ පසෙකලා කසාවතින් සැරසුනෙමි. මගේ සැමියාණන් එක වේලක් වළඳන බව අසා මම ද එක් ආහාර වේලකින් යැපුණෙමි. මගේ සැමියා අතිශය අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බව අසා මාද චාම් ජීවිතයකට හුරුවුණෙමි.

මට කොතරම් නම් යෝජනා ඉදිරිපත් වුනිද ? මම ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළෙමි. මා විසින් මෙසේ පුරන ලද ස්ත්‍රී ප්‍රජාවටම අයත් උත්තරීතර පිළිවෙතක් විණිද, අප තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේට දැනගන්නට ලැබී උන්වහන්සේ මා සිටින තැනට වැඩීමේ අදහසක් ඇතිවේවා” යි පැතුවාය.

මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දක්වන ලද සහනසීලි ආකල්පය ආදර්ශවත්ය.

යශෝධරාව සංසාර පාද චාරිකාවේ බොහෝ ආත්ම ගණනක් හමු වූ සිදුහත් කුමරාගේ ස්වාමි දියණියයි. ඇය කුමරා වෙනුවෙන් බොහෝ දුක් ගිනි ඉසිලුවාය. සංසාර පාද චාරිකාවේදීම ආත්ම ගණනාවක හමු වූ ඇය බොහෝ දුක් දරා ගනිමින් පාරමිතා පිරීමට සහාය වූවාය. බුද්ධත්වය ලැබීමට බොහෝ උපකාර කළාය. එබැවින් ඇය දැකීමට යාම මගේ යුතුකමයි.යශෝධරා දකින්නට මා එන බව දන්වන්නැයි බුදුරජාණන් වහන්සේ පිය රජුට පාත්‍රය පිරිනමා එය රැගෙන පළමුව යවා සැරියුත් මුගලන් දෑගසව්වන් සමඟ යශෝධරා දේවිය දැකීමට වැඩමකර විය. අතර මග මොහොතකට නතර වූ බුදුරජාණන් වහන්සේ දෑගසව්වන් අමතා මෙසේ දේශනා කළ සේක.


යශෝධරාවගේ මාලිගාවට බුදුරදුන් වැඩම කිරීම

යශෝධරාවගේ සිතේ තවමත් පවත්නා අසීමිත පේ‍්‍රමය මට සිතාගත හැකිය. පේ‍්‍රමය වනාහී ආධ්‍යාත්මය විනිවිද උපදින්නකි. පේ‍්‍රම වියෝගය ගිනි අඟුරු මෙන් සිත දවන්නකි. යශෝධරාව කෙලෙසුන් දුරුකර, දිනෙක මාර්ග ඵල අවබෝධ කරගන්නා තුරු මේ පේ‍්‍රම ගින්නෙන් දැවීම සොබාවිකය. මා දුටු සැණින් ඇය හඬාවැටෙන්නට පටන් ගන්නවා ඇත. කිසිවකු හෝ ඇය වළක්වන්නට නොයා යුතුය. එවිට ඇය දුක දරාගත නොහැකිව ළය පැළී මිය යන්නට ඉඩ ඇත. ඇයට ඇතිවන තුරු හඬන්නට ඉඩ දෙන්න. යැයි වදාළහ. යශෝධරාවගේ මාලිගයට බුදුපියාණන් වහන්සේ දෑ අග සව්වන් සමඟ වැඩමවා පනවන ලද අසුන්හි වඩහුන් සේක.

යශෝධරාව බුදුරදුන්ගේ පා අල්ලා හඩන්නට පටන් ගත්තාය. ඇය පියෙකුගේ පා අල්ලා හඩන දුවක කොට සලකා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වැඩසිටියහ.

එසේ හැඬුම අවසන යශෝධරාව පියවි සිහිය ලැබුවාය. ඇයගේ සිතට මහත් ලජ්ජාවක් දැනිණි. ඇයගේ සිතේ ඇතිවු කම්පාව සුදොවුන් රජ තේරුම් ගත්තේය.

ස්වාමීනි යශෝධරාව, මේ අන්දමින් හැසිරීමෙන් ඔබ වහන්සේට අවනම්බුවක් කළේ යැයි නොසිතන්න. යම් කිසි ලෙසකින් හෝ ඇගෙන් වරදක් සිදුවී නම් ඇයට කමා කරන සේක්වා. සුදොවුන් රජ පැවසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

නැත ඇගෙන් වරදක් සිදු වී නැත. මිනිස් ජීවිතයේ මේ සොබාව අප ධර්මයෙන් වටහාගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කර යශෝධරාවන්ට චන්දකින්නර (සඳකිඳුරු ) ජාතකය දේශනා කළේ මේ අවස්ථාවේදීය.

මේ බණ අසා සිත පහදා ගත් යශෝධරාවට පැවිදිවීමට කැමැත්ත ඇති වුවාය. ඇය මහණ වන්නට අවසර පැතුවාය. ඇයගේ ගුණ අසා සිටි ඤාතීහු ඇයට සාධුකාර දුන්හ. යශෝධරාවෝද නිශ්ශෝක වැඳ සතුටින් පිනා ගියාය. එදවස්ම මහණවනු කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙණ සස්නට ඇය පළමුවෙන් නොගතයුතු බවත්, මතු සුළු මෑණියන් විසින්ම ඒ තනතුරු ලැබිය යුතු බවත් සලකා ඇයගේ ඉල්ලීම නොපිළිගත් සේක. රජ්ජුරුවෝ ද කරුණු කියා ඇය නවතාලූහ.

සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්ම ගිය මොහොතේ පටන් යශෝධරා දේවිය සියලු දුක් ඉවසා දරාගනිමින් මාලිගාව තුළ රාහුල කුමරුන් සමඟ හුදකලාව ගත කරන ලදී. බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය තුළ ආරම්භ කරන ලද උතුම් භික්ෂුණී ශාසනය තුළ පැවිදි වූ යශෝධරා උතුම් රහත් තෙරණියක් බවට පත් වූවාය.

තවත් කොටසක් නවම් පුර අටවක පොහෝදා ජනවාරි 27 වනදා පත්‍රයේ

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]