UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2015.01.20

මිනිස් සිත

භාරතය පුරා දෙසැටක් මිසදිටු පහළ වී තිබූ අවධියක සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ඉපිද සත්‍යය කුමක්දැයි සොයා සාවුරුද්දක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කළ සේක. තමන් වහන්සේ වෙත දීපංකර පාදමූලයේ දී අතට පත් නිවන පවා අතහැර සසර ගමනට එක්ව ලොව දුකින් පෙළෙන අනන්ත අප්‍රමාණ සත්වයා සසරදුකෙන් එතෙර කරවීමේ මහා කරුණාවෙන් පහළ වූ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ඒ බෝසත් සිරිත පවා මහා අසිරිමත්ය. ආදර්ශවත්ය.

ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්ව උන්වහන්සේ ස්වකීය ඤාණයෙන් අවබෝධ කර ගත් සත්‍ය දහම ලෝ වැසියන් වෙත මහත් දයානුකම්පාවෙන් දේශනා කළ සේක. එදා භාරතය පුරා විවිධ දර්ශන, මතවාදවලට එළඹ සිටි බොහෝ දෙනා ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ එම අසිරිමත් ධර්ම මාර්ගයට පිවිසීමට උන්වහන්සේ සොයා ආහ.

භාරතීය සමාජය විවිධ බෙදීම්වලට ලක්ව පැවැතියද ශාන්තිනායක තථාගතයන් වහන්සේගේ දේශනාව වූයේ කවර අයෙක් වුවද හේ උස් පහත් වනුයේ අන් කිසිවකින් නොව තමා කරන ක්‍රියාවන්ට අනුවම තමන් උසස් හෝ පහත් වන ආකාරය උන්වහන්සේ සමාජයට ආදර්ශයෙන්ම පෙන්නුම් කළ සේක.

කෙනෙකු උසස් හෝ පහත් වන්නේ තමන් කරන කියන ක්‍රියාදාමයන් අනුව හෙයින් මනුෂ්‍යයා කයින්, වචනයෙන් හා සිතෙන් යන තිදොරින් සිදු කැරෙන අකුසල්වලින් හැම විට වැළැකී සිටීමට කටයුතු කිරීම බෞද්ධ ප්‍රතිපදාවය. සියලු දුසිරිත් හා සුසිරිත් ගැන සිතිවිල පළමුව පහළවනුයේ ඒ ඒ තැනැත්තාගේ සිත තුළය.

යහපත් හෝ අයහපත් ලෙස පහළ වන සිතිවිලි හටගනු ලබන්නේ සිත මුල්කර ගෙනය. ඒ අනුව හොඳට, නරකට දෙකට මුල්වන්නේ සිතය. සිත දමනය හෙවත් පාලනය කර ගත නොහැකි වූ විට ඒ සිත මුල්වීමෙන් කරන ක්‍රියා ඇතැම්විට අනුන්ට පමණක් නොව තමාටද උදාකරනුයේ අයහපත ය.

මනුෂ්‍යයාගේ සිතට බුදුදහම මගින් හිමිවන්ගේ ප්‍රමුඛස්ථානයකි. ඒ සිත ඒ තරම්ම බලවත් බව ඉන් ගම්‍ය වෙයි.

ස්වභාවයෙන් මිනිස් සිත ප්‍රභාශ්වර වුවද බාහිර වශයෙන් පැමිණෙන අරමුණු හා ගැටෙමින් ඒ ප්‍රභාශ්වර සිත මොහොතකින් අපවිත්‍ර වෙයි. අපිරිසුදු වෙයි. නරකට යොමු වූ සිත මුල්වීමෙන් කරන ක්‍රියා මගින්ද සිදු කැරෙනුයේ නරකක්ම ය. එහෙත් යහපතට සිත මුල් වූ විට ඒ යහපත් සිතිවිලි නිසාම කරන ක්‍රියාද යහපත් වෙයි. නරකට යොමු වූ සිත හැමවිට දුක්ගෙන දෙයි.

සුචරිතයට යොමු වූ සිත හැම විට යහපත ගෙන දෙයි. නරකට යොමු වූ සිතෙන් කරන ක්‍රියාවේ ප්‍රතිඵලද ගොනුගේ පය අනුව යන කරත්තය මෙන් නරක ප්‍රතිඵල විඳදරා ගැනීමට සිදුවෙයි. යහපත් වූ සිතෙන් කරන ක්‍රියාවන්හි ප්‍රතිඵලය සුවදායකය. තමාගේ පසුපස යන සෙවණැල්ල මෙන් එහි යහපත් ප්‍රතිඵල තමාවෙත ම උදාකර දෙයි.

ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පිවිතුරු සිතෙහි ඇති අධ්‍යාත්මික ශක්තිය ලොවට දේශනා කළ ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින් මනුෂ්‍යයා තුළ පවතින සිතෙහි පහළ වන සිතිවිලි මඟින් ඒ පුද්ගලයා සැපතට හෝ දුකට පත්කරවීමට මුල් වන්නේ අන් අයකු නොව තමා විසින්ම බව අවබෝධ කර ගැනීම අපහසු නොවන්නකි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මෙයට වසර දෙදහස් හයසියයකටත් පෙර දේශනා කරන ලද සත්‍ය වූ ධර්ම මාර්ගය අදටත්, අද මෙන් ඉදිරියටත් නොවෙනස්ව පවතින්නකි.

සර්වඥතා ඤාණයෙන් දැක අවබෝධ කර ගත් ඒ උත්තරීතර වූ සදහම් මඟ අනුගමනය කරන ශ්‍රාවක ජනතාවද හැකිතාක් ඒ සත්‍යය වූ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට හැම විට උත්සාහ කිරීම බෞද්ධයා සතු මූලික වගකීමක් වේ. බෞද්ධයා හැම විට බුද්ධිමත්ව සිතා බුද්ධිමත්ව ක්‍රියා කරන්නෙකි.

සිත මෙන්ම කයද, වචනයද නිරතුරුව රැක ගත යුත්තේ ඒ තිදොර අසංවර වුවහොත් එහි කටුක වූ විපාක අත්විඳීමට තමාට සිදුවන බැවිනි. ජීවිතයකට තිදොරින් සංවර වූ යහපැවැත්ම සමාජ අභිවෘද්ධියෙහි අත්‍යවශ්‍ය අංගයකි. තමා වෙසෙන සමාජයට එබඳු යහපතක් සලසා කටයුතු කිරීම මහත් වූ සමාජ මෙහෙවරක් ලෙසද අගය කළ යුතු වේ. තමා උපන් රටට සමාජයට කළ හැකි එබඳු මෙහෙවර සැලසීමට සහායවීම සියල්ලන්ගේ වගකීමද වේ.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]