UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිස්කමේ වටිනාකම

මිනිස්කමේ වටිනාකම

මනුෂ්‍ය යන වචනය තුළ විශාල අර්ථයක් අන්තර්ගත වී ඇත. උසස් මනසක් තිබීම “මනුස්ස” යන පදය හැඳින්වීමට හොඳම සාධකය වන්නේය. උසස් මනසක් ඇති නිසා මිනිසා තිරිසනාට වඩා වෙනස් අයුරින් ක්‍රියාකරනු ඇත. කරන ක්‍රියාව, සිතුම් පැතුම්, කථා කරන වදන මේ සෑම දෙයකදීම සිතා මතා විමසා බලා එහි ප්‍රතිඵලය ගැන සිතා ක්‍රියාකිරීමට වග බලා ගන්නවා ඇත

අප ගත කරන ජීවිතය පිළිබඳව තක්සේරු කිරීමට ඇති එකම මිනුම් දණ්ඩ වන්නේ, අප කරන කියන දේවල පමණි. ඒ අනුව අපි මිනිසත්කමේ වටිනාකම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. ජීවින් අතර මිනිසාට සමාන කළ හැකි ජීවීන් මිහිපිට තවත් නොමැත්තේය. එයට හේතුව වන්නේ “මනස්ස උස්සන්නො මනුස්සා” යනුවෙන් උසස් මනසකින් යුක්ත වීමය. පෙනෙන හෝ නොපෙනෙන සත්ව කොට්ඨාස අතර මිනිසාට සම කළ හැකි සත්ව කොට්ඨාසයක් නොමැත. එයට හේතුව, අනිත් සත්ව කොට්ඨාසයන්ට නොමැති සිතීමේ හැකියාවක් මිනිසාට තිබීමය. එය හොඳ නරක දෙඅංශයෙන්ම සිතා බලා කටයුතු කිරීමේ හැකියාවක්ද මිනිසා සතුව ඇත.

තිරිසන් සතාගේ ස්වභාවය වන්නේ අනුකරණය කිරීම හා දුටු පමණින් කටයුතු කිරීමය. ඒ අනුව එහි විපාකය කුමක් වුවද එය සිදුකිරීම එහි විශේෂත්වයයි. හොඳ හෝ නරක පිළිබඳ සිතීමේ ශක්තියක් ඒ සතුන්ට නොමැත. සිතීමට තරම් දියුණු සිතක් සත්ව කොට්ඨාසයන් තුළ නොමැති වීම එයට හේතුව වන්නේය. ඒ අනුව, තිරිසන් සතුන් තමන්ගේ සිතට සිතෙන සිතෙන දේ අනුව තම ක්‍රියාවන් හැසිරවීම සිදුකරනු ඇත.

තිරිසන් සතුන්ට කරන ක්‍රියාවේ ප්‍රතිඵලය ගැන සිතීමට තරම් කල්පනා ශක්තියක් නැත. එසේම එම ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා ලජ්ජාවක් හා බියක්ද ඔවුන් සතුව නොමැතිවීම තවත් විශේෂත්වයකි.

මනුෂ්‍ය යන වචනය තුළ විශාල අර්ථයක් අන්තර්ගත වී ඇත.

උසස් මනසක් තිබීම “මනුස්ස” යන පදය හැඳින්වීමට හොඳම සාධකය වන්නේය. උසස් මනසක් ඇති නිසා මිනිසා තිරිසනාට වඩා වෙනස් අයුරින් ක්‍රියාකරනු ඇත.

කරන ක්‍රියාව, සිතුම් පැතුම්, කථා කරන වදන මේ සෑම දෙයකදීම සිතා මතා විමසා බලා එහි ප්‍රතිඵලය ගැන සිතා ක්‍රියාකිරීමට වග බලා ගන්නවා ඇත. එහිදී මිනිසා සිතන්නේ මෙම කරන ක්‍රියාව තුළින් තමන්ට වන අයහපත හා අනුනට වන අයහපත පිළිබඳවයි. දෙඅංශයටම අයහපතක් වේ නම් එවැනි දේ වලින් වැළකීමට මිනිසාට හැකියාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය තුළින් දේශනාකොට ඇත්තේද පුද්ගලයා උසස් පහත් වන ආකාරයයි.

”න ජච්ඡා වසලො හෝති
න ජච්ජා හොති බ්‍රාහ්මණෝ
කම්මනා වසලො හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණො”

උපතින් කිසිවෙකු වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත් කරන ක්‍රියාව අනුවම බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන බවත් එම ගාථාව තුළින් පැහැදිලි වේ. ඒ අනුව තමන් ලැබූ උසස් මනසත් සමඟ බ්‍රාහ්මණයෙක් වනවා හැර වසලයෙක් නොවීමට වග බලා ගත යුතුය. ඒ සඳහා ලැබූ උසස් මනස උපයෝගී කරගත යුතුය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ, දුර්ලභව ලැබිය හැකි කරුණු හතරින් එකක් හැටියට “දුල්ලභංච මනුස්සත්තං “ මනුස්ස ආත්ම භාවයක් ලැබීම දුර්ලභය. යන කරුණත් දැක්වීමට පුළුවන.

ඒ අනුව මිනිස්කමේ වටිනාකම තවත් වැඩිවනු ඇත. මිනිස්කමේ ශ්‍රේෂ්ඨත්වය වටිනාකම හඳුනා නොගත් පුද්ගලයින් සිදුකරන්නේ දෙලොවම පසුතැවෙන ක්‍රියාකාරකම්ය. හරියාකාරව, නිවැරදිව මෙම මිනිස්කමේ වටිනාකම හඳුනාගත් පුද්ගලයාට කෙනෙකුට ලැබිය හැකි උසස්ම පදවිය වන බුද්ධත්වය පවා ලැබීමට පුළුවන් කමක් ඇත.

බුදු පසේ බුදු , මහරහතන් වහන්සේලා ලැබූ මාර්ගඵල හා, ධ්‍යානාදී උසස් මානසික දියුණුවක් ලැබීමට පුළුවන් සේම අවසානයේ සියලු කෙලෙස් විනාශ කොට සසරින් මිදීමටත් පුළුවන් කමක් ඇත්තේ මෙම මිනිස්කමේ වටිනාකම හඳුනාගෙන සිත දියුණු කරන අයට පමණි.

ඒ වගේම මිනිසත් කමේ වටිනාකම හඳුනා නොගත් පුද්ගලයා, සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම අයහපත්, අකුසලය වෙත යොදනු ඇත. එතුළින් ඔවුනට අපාදුක් විඳීමට සිදුවේ. සමාජය තුළ දක්නට ලැබෙන්නේ මේ දුර්ලභ ලැබූ මිනිසත්කමේ වටිනාකම හඳුනා නොගැනීම හා කරන කියන දෑ වල විපාකය ගැන නොසිතීමය. නිතරම සිතිය යුත්තේ, අප කරන කියන දෑ වල ප්‍රතිඵලය අප පසු පස්සේ ගමන් කරන බවයි.

ඒ බව සිතිය හැක්කේ උසස් මනසක් ලැබූ මිනිසුන්ට පමණි. මිනිසාට එසේ සිතිය හැක. එසේ සිතීම වටී. එසේ නොසිතන්නේ නම් එවැනි අය හා ඉහත කී සතුන් අතර වැඩි වෙනසක් දැකිය නොහැකිය. ඒ නිසා මිනිසා විසින් නිතර සිතිය යුත්තේ අනෙකුත් සත්වයන්ට වඩා උසස් බවයි. එසේම නිතර කළ යුත්තේ උසස්, ශ්‍රේෂ්ඨ කටයුතුය.

මිනිසත්කමේ වටිනාකම හඳුනාගත් පුද්ගලයින් තුළින් නිතරම සිදුවන්නේ තමන්ටත් අනුන්ටත් මුළු මහත් සමාජයටමත් වැඩදායක වූ දෙයක්මය. එහිදී දාන, ශීල, භාවනාදී උතුම් පුණ්‍ය ක්‍රියා, දස කුසල්, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ ආදී උතුම්, උසස් ගුණධර්ම සම්පූර්ණ කරමින් චර්යාමය වෙනසක් ඇති කිරීමටද පුළුවන් වේ.

එහිදී තමාටත් අනුන්ටත් සමාජයටත් අහිත පිණිස, අවැඩ පිණිස පවතින පස්පව් , දස අකුසල නොකිරීමද සිදුවේ. එසේ නම් මේ දුර්ලභව ලැබූ මිනිසත් බවේ වටිනාකම හඳුනාගෙන, වැරදි අඩුපාඩු සකසා ගෙන, ගුණධර්ම දියුණු කර ගැනීම තම ජීවිතය සාර්ථක කර ගැනීමේ මග වේ. මැණිකක් කපන්න කපන්න ඔප වන්නා සේ , මේ මිනිසත් භවයත් ගුණ ධර්ම පුරන්න පුරන්න බැබළෙන්නේය. එනිසා සුවඳවත් ඇති මලක් වාගේ, අරටුවක් ඇති ගසක් වාගේ මිනිසත්කම,උසස් ක්‍රියාධර්ම තුළින් ඔපවත් කළ යුතුය.

මිනිසත් භව ලැබූ අප සෑම දෙනෙක්ම එතුළින් අර්ථයක් ඇති දෙයක්ම සිදු කොට මෙලොව ජීවිතය සාර්ථකව ගත කිරීමට උත්සාහවත් වෙමු.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]