UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... දැහැමි දිවියට සැනසුම ළඟාවන බව පෙන්වා දුන් රජ්ජුමාලා තෙරණිය

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

දැහැමි දිවියට සැනසුම ළඟාවන බව පෙන්වා දුන් රජ්ජුමාලා තෙරණිය

ළමා ලෝකය සුන්දරය. සමනළ තටුවක් තරම් සැහැල්ලුය. දේදුන්න සේ විචිත්‍රය. පිවිතුරු මලක් සේ සුවඳවත්ය. ඔවුන්ගේ ඒ සොඳුරු ලොව තලා පෙළා පොඩිකර විනාශ කර දමන්නේ සිත් පිත් නැති වැඩිහිටියන්ය. වැඩිහිටියන්ගේ කුරිරු අසාධාරණකම් නිසා අකාලයේ විනාශ වෙමින් පවතින මල් කැකුළු වැනි දරුවන්ගේ ගණන කෙතෙක්දැයි කල්පනා කළ යුතුය.

වැඩිහිටියන්ගේ නොමනා ඇවතුම් පැවතුම් නිසා දරුවන් දුකට පත්වූයේ අද සමාජයේදි පමණක් නොවේ. අතීතයේදීත් බොහෝ දරුවෝ වැඩිහිටියන්ගේ කුරිරුකම් ඉදිරියේ අසරණ විය. බුද්ධ කාලයේ විසූ රජ්ජුමාලා ද එසේ තම ස්වාමි දුවගෙන් අනේක විධ වධ බන්ධනයන්ට ලක්වුණු අසරණ මෙහෙකාර දැරියකි.

යෞවන වියේ පසුවු “මාලා” කුඩා කාලයේ සිටම ඇති දැඩි වූයේ නපුරු ස්වාමි දුවක් යටතේය. මිගාර සිටුතුමා කාරුණික පුද්ගලයෙක් වුවත් ඔහුට ඔහුගේ බිරිඳගේ සැහැසිකම් නවතාලන්නට කිසි විටකත් හැකි වුණේ නැත. කුඩා දැරියක්ව සිටි අවදියේ සිට සිටු මැදුරේ බැල මෙහෙවර කරන “මාලා” ට විටෙක කිසිම සාධාරණ හේතුවක් නොමැතිව සිය ස්වාමි දුවගෙන් ගුටි බැට වැදුණාය. මාලා විසින් කළ යුතු එදිනෙදා කාර්යයන් අතර මූලික කාර්ය වූයේ මුළුතැන්ගෙයි වැඩට සහාය වීමයි. ඊට අමතරව සිටු මැදුර ඇතුළත පිරිසුදු කිරීමත්, බඩු භාණ්ඩවල දූවිලි ආදිය පිස දමා ඔප කිරීමත් ඇයට අයත් කාර්යයන් විය. පසුව තරුණ වියට එළඹෙත්ම ගඟට ගොස් දිය ගෙන ඒමත් ඈ විසින් කළ යුතු විය. මෙහෙකාරියක් වුවද “මාලා” මනා රූ සපුවකින් යුක්ත වූවාය. මුවැත්තියක් මෙන් අහිංසක “මාලා” ස්වාමිදුවට නම් කිසි විටක හෝ රිසි නොවීය. කුමන හෝ අඩුපාඩුවක් සොයා මාලාට හිරිහැර කිරීම ඇගේ දින චරියාවේ එක් අංගයක් විය. දිනක් හිටි හැටියේ සුළු ප්‍රමාද දෝෂයකින් මාලා අතින් බඳුනක් බිම වැටී කැඩී බිඳී ගියාය. එයින් වියරු වැටුණු ස්වාමිදුව මෙහෙකාරියට සිත් සේ ගුටි බැට දී එයින්ද නොනැවති දැළි පිහියට ගෙන මාලාගේ දිගට වැවී තිබූ සුන්දර වරලසද කපා දැමුවාය. ස්වාමිදුව විසින් තම කෙස් වැටිය කපා දැමීම පිළිබඳ මාලාගේ සිත තුළ නම් දැඩි සංවේගයක් ඇති වූයේ නැත. වරලස තම රූපය තවදුරටත් ඔප කෙරූ ආභරණයක් වුවත් ඒ වරලසම ඇයගේ දුකටද හේතුවක් විය. ස්වාමිදුවට යළිත් කිසි දිනක තමාගේ කෙස් වැටියෙන් අල්ලා පහරදීමට හැකිවන්නේ නැත. එබැවින් මාලා ඒ පිළිබඳ සිතා සතුටු වූවාය. එහෙත් ඇගේ සතුට බොහෝ වේලාවක් පැවතියේ නැත. අකාරුණික වු ස්වාමිදුව ඇගේ ගෙල වටා රැහැන් පටක් දැමීය. මේ රැහැන නිසා සිටු මැදුරේ කවුරුත් ඇය “රජ්ජුමාලා” නමින් ඇමතූහ. තම ආකාරුණික දෛවය පිළිබඳ රජ්ජුමාලා සිතන්නට වුවාය. පෙර කරන ලද අකුසල කර්මයක් නිසා තමන්ට මෙවැනි ඉරණමක් අත්වන්නට ඇතැයි සිතු ඕ තොමෝ ලොවම දවා අළුවන තරමට සුසුම් ලෑවාය. ගඟට දිය ගෙනෙන්නට යන ඇය වරලස කපා දැමු පසු ඇති වූ තම විකෘති පෙනුම දෙස ගඟ දියට එබී බැලුවාය.

වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වු ආත්මානුකම්පාවකින් වෙළී ගිය ඈ තවදුරටත් මෙලෙස දුක් විඳිමින් ජීවත්වීමේ ඇති හරය කුමක්දැයි සිතන්නට විය.ආදරයක්, දයාවක්, කරුණාවක් කිසිවෙකුගෙන් හෝ කිසි දිනක නොලද ඇය ජීවත් වීමේ ආශාව අතහැර දැමුවාය. සුපුරුදු ලෙස දිය ගෙන එන්නට ගඟට ගිය රජ්ජුමාලා තිර අදිටනින් යුතුව තම නව අරමුණ ඔස්සේ වනාන්තරය දෙසට පිය නැඟුවාය. සිය දිවි නසා ගත යුතු යැයි යන නව සිතිවිල්ල ඇය වන ගැබ මැද්දට රැගෙන ගියාය. වන ලැහැබේ ඉතා සරුවට වැඩී තිබූ වැල් ගොමුවක් අසල නතර වු රජ්ජුමාලා එයින් ඉතා ශක්තිමත් වැල් පොටක් තෝරා ගත්තාය. තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ වැල් පටක් තෝරාගෙන එය වැල් ගොමුවෙන් වෙන් කොට කඩා ගැනීම උදෙසාම විශාල පරිශ්‍රමයක් දැරිමට ඇයට සිදු වුවත් තම සිතිවිල්ලේ ප්‍රබල බව ඇයට ඒ සඳහා ධෛර්ය දුන්නාය. කෙසේ හෝ වැල් පොටක් වෙන් කරගත් රජ්ජුමාලා එම වැල් පොටද රැගෙන එහි වූ තරමක් උස් ගසකට ගොඩවීමට උත්සාහ කළාය. ආදරය කරුණාව, මුළු ජීවිත කාලයම අපේක්ෂා කළ අසරණියට වන පෙත දෙසින් තමා අමතන කාරුණික හඬක් ඇසුණාය. තුෂ්ණීම්භූත වු රජ්ජුමාලා අවට බැලුවාය. වන පෙත අසලින් වඩිමින් සිටි බුදුන් වහන්සේ ඇගේ නෙත ගැටුණි. ජීවිතයේ ප්‍රථම වරට ඇසුණ කාරුණික හඬට වශීකෘත වූ රජ්ජුමාලා බුදුන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණාය. අසරණ රජ්ජුමාලාට දහම් දෙසු බුදුන්වහන්සේ ඇගේ ශෝකි සිතට සැනසුම් සුවයක් ගෙන දුන්නාහ. තම ජීවිතය නැති කරගැනීමේ අකුසල චේතනාවද ඇගේ සිතින් අතුරුදන් විය. කුඩා කල සිට තමන්ට දුක් කරදර දුන් ස්වාමිදුව කෙරෙහි මෛත්‍රි සිත පහළ වූවාය. නැවත සිටු මැදුරට ගිය රජ්ජුමාලා මිගාර සිටුතුමාගේ අවසරය ගෙන දෙව්රම් වෙහෙරට පැමිණ නිතර නිතර ධර්මය ශ්‍රවණය කළාය. අවසානයේ සිටුතුමාගෙන් අවසර ගෙන පැවිදි දිවියට පත්වන රජ්ජුමාලා තෙරණිය ජීවිතයේදී විඳි සියලු දුක් ගැහැටවලින් පමණක් නොව සංසාර දුකින්ද එතෙර වන්නීය.

මේ ජීවිතයේදි අනුන් විසින් තමන්ට කෙතරම් දුක් කරදර ඇති කළත් ඒ සියල්ල අප විසින් පෙර කරන ලද අකුසල කර්මයන්ගේ ඵල විපාක යැයි සිතා කිසිවෙකුත් කෙරෙහි හෝ වෛරී නොවී අවෛරීව ජීවත් විය යුතුය. එසේ ධර්මානුකූලව ජීවත්වන පුද්ගලයාට දිනක සැනසුම ළඟා වන බව රජ්ජුමාලා තෙරණියගේ චරිතයෙන් මනාව ප්‍රකට වේ.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]