UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වඩාත් කැමති දියුණුවීමටද පිරිහීමටද?

වඩාත් කැමති දියුණුවීමටද පිරිහීමටද?

දියුණු වන පුද්ගලයා මෙන්ම පිරිහෙන පුද්ගලයාද අපට පහසුවෙන් පැහැදිලිව දැක ගත හැකි බව අප කතා කළා. ධර්මයට කැමැති සද්පුරුෂ ධර්මය පි‍්‍රය කරන්නා දියුණු වන බවත් අසද්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නා මෙන්ම ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත් අප කතා කළා.එසේම මිනිසාගේ පිරිහීමට තවත් ප්‍රබල ලෙසින් බලපානු ලබන කරුණු කිහිපයක් පරාභව සූත්‍රයේ තෙවන පිරිහීමේ දොරටුව ලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් වදාළා.

නිද්දාසීල සභාසීලි
අනුට්ඨාතාච යො නරො
අලසො කොධ පඤ්ඤාණො
තං පරාභවතො මුඛං

යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් පුද්ගලයෙක් නිතර නිදන සුළුවේද, පිරිස සමඟ එකට සිටීමට කැමැතිවෙයිද ,උට්ඨාන වීර්යයයෙන් තොරවූයේ වෙයිද, අලස වූයේ වෙයිද, නිතර කිපෙන සුළු වූයේ වෙයිද? එය එම පුද්ගලයාගේ පිරිහීමට හේතු වන බව උන්වහන්සේ එම ගාථාවෙන් වදාළා.

වර්තමාන සමාජයේ මිනිසුන් දෙස බැලූ විට මේ එක් කරුණකින් හෝ වැළකී සිටින්නට සමත්ව ඇත්තේ සුළු පිරිසක් බව පෙනෙනවා. ඇතැම් පිරිස් නින්දෙන් පිබිද කාර්යාලයට යන අතරතුර බස් රථයේ හෝ දුම්රියේ නින්දේය. කාර්යාලයට ගියද එතැනද නින්දේය. දවල් කෑමෙන් පසු ද නින්දේය.

මෙවන් පිරිස් තමන් පිරිහෙනවා පමණක් නොව සමස්ත සමාජයද පිරිහීම කරා ගෙන යාමට සාධක මතු කරයි. තමන්ගෙන් විය යුතු සේවය පවා නිසියාකාරව ලබා දෙන්නට ඔවුන් සමත්කමක් දක්වන්නේ නැහැ. බස් රියක දුම්රියක යන අප මඟියකු මිස පාඨකයකු හෝ නිදාගන්නා පුද්ගලයකු විය යුතු නැහැ. බස් රථය පුස්තකාලයක් හෝ නිදන කාමරය නොවේ. තම ගමන අවබෝධයෙන් පියවි සිහියෙන් යුක්තව ගමන් කිරීමයි. එහිදී වැදගත් වන්නේ.

එසේ නොමැතිව රියැදුරාට පමණක් තම දිවිය බාර දී මහමඟ වාහනයක ගමන් කිරීම කිසිසේත්ම ඥානවන්ත ක්‍රියාවක් නොවන බව මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වනවා.

බස් රථ, කාර්යාල පමණක් නොවේ ඇතැම් පිරිස් පෙර කීවාක් මෙන් කාර්යාලයේදීත් නැත්නම් නිවෙසේදීත් නින්දේය. ඔවුන් තම කර්මාන්ත රැකියා සඳහා දායකත්වයක් සපයන්නේ නැහැ. නිදන සුළු පුද්ගලයාට කිසිදු ආකාරයක දියුණුවක් ලැබීමට නොහැකිය. පුරුදු වූ පසුව ඔහුට නින්ද අධිකව නැතිවම බැරි තත්ත්වයකට පත්වේ. සාමාන්‍යයෙන් මිනිසකුට නින්ද අවශ්‍ය වන්නේ පැය 8 ක පමණ කාලයක් වන නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස කාලය වෙන් කරමින් නින්ද සඳහා වැය කළේ පැය කිහිපයක් පමණක් බවත් මෙහිදී අප අවබෝධ කරගත යුතු වෙනවා.

මඳක් සිතා බලන්න. වයස අවුරුදු 10 ක් තරමේ කාලයේදී දරුවකුට ලෝකය පිළිබඳව වැටහීමක් ලැබෙනවා.

ඔහු වසර 70-80 ක් හෝ ඊට වැඩි කාලයක් මෙලොව ජීවත් වුවත් තම ශක්තිය යොදා කර්මාන්ත කළ හැක්කේ රැකියාවන්හි නිරත විය හැක්කේ අනෙක් අයගේ කාර්යයන් කළ හැක්කේ උපරිම වයස දක්වා පමණයි. ඉදින් වසර 50 ක පමණ කාලයක් පමණක් ඔහුට අධ්‍යාපනය රැකියා විවාහ කටයුතු ආදිය සඳහා තිබෙනවා. එයින් ද දිනකට පැය 8 ක් බැගින් විවාහ කටයුතු ආදිය සඳහා තිබෙනවා. එයින්ද දිනකට පැය 8 ක් බැගින් නින්ද සඳහා ගත කළහොත් වසර 35 ක් පමණ කාලයක පමණයි එම සියලු කටයුතු සඳහා ඉතිරි වන්නේ.

එයින්ද තවත් නින්ද සඳහා වැය කරන්නේ නම් ඔහුට රැකියා ආදි කර්මාන්ත කළ හැකි වේද විවාහ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබේද? තම දූ පුතුන්ගේ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබේද?

අධ්‍යාපනය ලබන කාලයේදි අධික නින්දක් ලැබුවහොත් තම අධ්‍යාපනික කටයුතු සියල්ල අඩපණ වනවා. එයින් උසස් රැකියා සඳහා ඇති ඉඩ කඩ සියල්ල ඇහිරි යනවා. රැකියා කරන අයෙක් නම් තම රැකියාව නිසි පරිදි කර ගැනීමට නොහැකිව දෝෂ දර්ශනයට ලක් වනවා. උසස්වීම් ආදිය ලබා ගැනීමට බාධා ඇති වනවා. සෙසු පුද්ගලයන්ගේ ගර්හාවට සමච්ඡලයට ලක් වනවා.

එමෙන්ම දිවා කාලයේ නින්ද සෞඛ්‍යය වශයෙන්ද අහිතකර බව මේ වන විට වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ වසර දෙදහස් ගණනකට පෙර පුද්ගලයෙක් පිරිහීමට ලක්වීමට නිතර නිදන සුළු බව බලපානු ලබන බව පැවසුවේ මේ සියලු කරුණු උන්වහන්සේ විසින් මැනවින් අවබෝධ කරගෙන සිටි නිසයි.

එමෙන්ම අද සමාජයේ බොහෝ විට තැන් තැන්වල කුඩා කණ්ඩායම්ය. වර්තමාන සමාජයේ ඒ සඳහා විවිධ නාම කරණද ලැබී තිබෙනවා. මාධ්‍යය මඟින් පවා මේ නාමකරණ අද භාවිතා කරන්නේ ඒ අය ආකර්ෂණය කර ගැනීමට බව පෙනෙනවා.

විශේෂයෙන්ම ඇතැම් ගුවන් විදුලි නාලිකා හරහා මේ කුඩා කණ්ඩායම් විවිධ කාර්යයන්හි නිරත වන බවක් අපට පෙනෙනවා. බහුලව භාවිතා වන ‘ගැන් එක’ ,’සෙට් එක’, ‘බජාර් එක’ වැනි වදන් මඟින් සමාජයට යහපත් කටයුතු වන අවස්ථා ඇති නමුත් ඇතැම් පුද්ගලයන් එක්ව විවිධ දුරාචාර සඳහා සෙසු පිරිස් කැන්දාගෙන යාමත් නිතරම කාලය කා දමමින් සමාජ ඇසුරට වී සිටීමත් නිසා ඔවුන් සමාජයේ පිරිහෙන පුද්ගලයන් බවට පත් වනවා. අනෙක් අය කිසිදු කාර්යයක නිරත නොවී සිටීම තමන්ද උදාහරණයට ගෙන තම තමන්ගේ හයිකාරකම් සෙස්සන්ට පෙන්වා ඔබ මොබ යාම මොවුන්ගේ සිරිතයි. එහෙත් රස්තියාදුකාරයා වැනි සාමජයේ පිළිකුල් පුද්ගලයන්ට යෙදෙන නාමයන් ඔවුන්ට පටබැඳෙන බව ඔවුන් දන්නේ බොහෝ කලක් ගියාට පසුවයි.

සමාජයේ කිසිදු වැදගත් පුද්ගලයකු විසින් මේ තැනැත්තන් පිළිනොගන්නා තත්ත්වයට නිතැතින්ම පත්වනවා.

ඔවුන් නිතැතින්ම සමාජයේ වෙනම කාණ්ඩයක් බවට පත් වනවා. ඒ පිරිහීමේ කාණ්ඩය ලෙසින්. සමාජයේ බෙදීම් ඇති කරගත් මෙන්ම පිරිහෙන මෙන්ම දියුණු වන කණ්ඩායම් දැක ගත හැකි හොඳම ස්ථානය සොහොන් පිටිය නොහොත් කනත්තයි.

අවමංගල්‍යයක් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී සොහොන් පිටියක සිටින කණ්ඩායම් දෙස බලන්න, විශ්‍රාමලත් පිරිස එක් තැනක, තරුණ කාන්තාවන් තවත් තැනක මේ ආදි කණ්ඩායම් විවිධ ස්ථානවල සිටින අතර තරමක් ඈතින් පිරිසට දුරස්ව සිටින කණ්ඩායම් දෙස බලන්න. අප කතා කළ පිරිහීමේ නිතර කතාවට ඇලී ගැලී සමාජයට බරක් වන කණ්ඩායම්ද එහි වෙනවා.

සමාජයෙන් මේ පිරිස් පිරිහීමට ලක්වන්නේ නිතර අල්ලාප සල්ලාපයන්ට හුරුවීමෙන් විශේෂයෙන් නිෂ්ඵල කතාවන්ට යොමුවීමෙන් බව අප සිහි තබා ගත යුතු වෙනවා.

ඔවුන්ට කතා කරන්නට දෙයක් නොමැති වූ කල මුසාවාද , ඕපාදූප හෝ කේළාම් හෝ කීමෙන් දවස ගෙවනු ලබන බවක් හොඳින්ම පෙනෙනවා. එවන් තත්ත්වයක් හමුවේ එම පිරිස්හි පිරිහීම වැළැක්විය නොහැකියි. දියුණුවන හා පිරිහෙන පුද්ගලයන් දෙස බැලීමට සමාජයේ හොඳම ස්ථානය ඔබගේ කාර්යාලයයි.

නිතර නිදන සුළු පුද්ගලයන් ඔබගේ කාර්යාලයේද සිටිනවා විය හැකියි. එමෙන්ම තමන්ගේ කාර්යයන් පවා නිසියාකාරය සිදු නොකර අනෙක් අයගේ කාර්යයන් පවා නිසි පරිදි සිදු කර ගැනීමට බාධා පමුණුවන පිරිස් ඇතැම් කාර්යාලයන්හි දක්නට ලැබෙනවා.

අප නිරතුරුවම කල්පනා කළ යුත්තේ මේ පිරිස් නිසා සමාජයට සිදු වන අගතිගාමී තත්ත්වය සිතා බලා තම තමන් සැම විටම එම පිරිහීමේ දොරටු කරා නොගොස් දියුණුවේ දොරටු සොයා ගැනීමටයි.

නිතර නිදන සුළු බව මෙන්ම පිරිහීමට බලපානු ලබන අලසකමද සමාජයේ විශාල පිළිලයක්.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]