UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සිරිතේ දැක්වෙන ගුරු භූමිකාව

බුදු සිරිතේ දැක්වෙන ගුරු භූමිකාව

අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ඟුරුවරයකු වශයෙන්, තම ශිෂ්‍යයන්ට ,ශ්‍රාවකයන්ට මඟ පෙන්වූ ආකාරයත් ඟුරුවරයකු තුළ තිබිය යුතු මානව හිතවාදී උත්තුංග ඟුණාංගත් බෞද්ධ සාහිත්‍ය තුළින් ප්‍රකට වේ. උපාලි ගෘහපති නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන දායකයකු විය. ඒ වගේම දීඝ තපස්සුක නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙකු විය. බුදුපියාණන් වහන්සේ දිනක් පාවාරික සිටුවරයාගේ අඹ වනයෙහි වැඩ සිටියේය. නිගණ්ඨනාථ පුත්තගේ ආරාමයක් එම අඹ වනය අසලම පිහිටා තිබුණි. නිගණ්ඨනාථ පුත්තට ඉතාමත්ම හිතවත්ව සිටි දීඝ තපස්සුක ශ්‍රාවකයා අඹ වනයේ වැඩ සිටි බුදුපියාණන් වහන්සේ දැක බලා ගැනීමට ගිය අවස්ථාවේදී කර්මය පිළිබඳව වාදයක් ඇති වුණි. බුදුපියාණන් වහන්සේත් තමන් වහන්සේ කර්මය පිළිබඳව තිබුණ නියමය ප්‍රකාශයට පත් කළහ. බුදුපියාණන් වහන්සේ කර්මය පිළිබඳව දේශනා කරන තොරතුරු කරුණු කාරණා සත්‍ය බව වටහා ගත්තත් දීඝ තපස්සුක නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවයකු නිසාම එම සත්‍ය පිළිගැනීමට කැමැති නොවූහ.අවසානයේ නිගණ්ඨනාථ පුත්ත තමාගේ දායකයකු වූ උපාලි ගෘහපති බුදුපියාණන් වහන්සේ හමුවීමට යැවූහ. බුදුපියාණන් වහන්සේ සමඟ වාද කර තර්ක කරමින් බුදුරජාණන් වහන්සේ පරදවා උපාලි ගෘහපතියාගේ ගෝලයකු බවට බුදුපියාණන් වහන්සේ පත්කරගෙන රැගෙන එන අරමුණින් එසේ යැවීය. අප්‍රමාණ වූ බුදුගුණයන්ගෙන් පරිපූර්ණ වූ බුද්ධ ශරීරය දැකීමෙන්ම උපාලි ගෘහපතියාට බුදුපියාණන් වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇතිවුණි. බුදුපියාණන් වහන්සේ සමඟ වාදයට පැටළුණු උපාලි ගෘහපතියාට අවසානයේ දහම් පිපාසාවක් ඇති වුණි. බුදුපියාණන් වහන්සේ කර්මය පිළිබඳව කරුණු වදාරණ විට උපාලි ගෘහපතියා එය වටහාගනු ලැබුවත් එම දහම් කාරණා තේරුනේ නොමැති බව ප්‍රකාශ කරමින් නැවත නැවතත් එම දහම් කරුණු අසමින් දහම් පිපාසාවෙන් පෙළෙන්නට විය. ධර්මය ඇසීමට නම් දහම් පිපාසාවක් ඇතිවිය යුතු වුවත් වර්තමාන සමාජයේ බොහෝ දෙනා බණ ඇසුවත් දහම් පිපාසාවක් නැත.

දහම් පිපාසාවෙන් පෙළෙන ගෘහපතියා අවසානයේ බුදුපියාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් තමා ගෝලයකු කරගන්නා ලෙස ආයාචනා කරනු ලැබුවත් බුදුපියාණන් වහන්සේ එය පිළිගනු ලැබුවේ නැත. “බුදුහාමුදුරුවනේ , මට ඔබ වහන්සේ ගේ ගෝලයෙක් වෙන්න ඕනෑ” යනුවෙන් උපාලි ගෘහපතියා තුන් වතාවක් ආයාචනා කරනු ලැබුවා. “උපාලි මගේ ගෝලයෙක් වෙන්න එපා” යනුවෙන් බුදුපියාණන් වහන්සේ උපාලි ගෘහපතියාට වදාරණු ලැබූහ. බුදුහාමුදුරුවනේ මම නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයකු වුණ දවසේ නිගණ්ඨනාථ පුත්ත කොඩි දමමින් පෙරහරවල් පවත්වමින් මහා සැණකෙළි පවත්වන ලදී. ඔබ වහන්සේ ඒ කිසිවක් නැතිව මට කියනවා ගෝලයෙක් වෙන්න එපා යනුවෙන්. එසේ ප්‍රකාශ කරන උපාලි නැවතත් බුදුපියාණන් වහන්සේගේ ගෝලයකු වීමට අවශ්‍ය බව ආයාචනා කරනු ලැබුවා.” ඔබ ගෝලයකු වනවා නම් එක ඉල්ලීමක් ඉෂ්ට කරන්න.” ඔබ මෙතෙක් කල් නිගන්ඨනාථපුත්තට ලබා දුන් දන් වැට ඒ ආකාරයෙන්ම නොනවත්වාම දෙන්න” උපාලි ගෘහපතියා නිවසට ගොස් නිගණ්ඨනාථපුත්තගේ පිරිසට දානය දීම සඳහා නිවසින් පිටත ආසන පිළියෙල කරන ලෙස නිවැසියන්ට දැන්වූවාය.

සැබෑ ගුරුවරයෙකු වශයෙන් බුදුපියාණන් වහන්සේ තුළ තිබුණ උදාර ලක්ෂණ මේ කතාවෙන් හෙළි වෙයි.

අංඟුලිමාල හාමුදුරුවන් පිණ්ඩපාතේ වඩින විට දරුවකු බිහිකරගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින කාන්තාවක් දක්නට ලැබුණි. ඒ වෙලාවේදී අංඟුලිමාල හාමුදුරුවන් බුදුපියාණන් වහන්සේට මේ පුවත සැළකරන ලදී. ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කර පිරිත් දේශනා කරමින් ඒ ගර්භිණී මව සුවපත් කිරීමට බුදුපියාණන් වහන්සේට හැකි වුවත් උන්වහන්සේ එම කාර්යය අංඟුලිමාල හාමුදුුරුවන්ටම පවරණු ලැබූහ. අංඟුලිමාල ගිහි කාලයේදී කළ වැරැදි වැඩ නිසා මිනිසුන් අංඟුලිමාල තෙරුන් වෙත දන් පූජා නොකළහ. අංඟුලිමාල හාමුදුුරුවන්ට ඒ අවස්ථාව වන විට රටේ ගැටලුකාරි වාතාවරණයක් නිර්මාණය වී තිබුණි. මිනිසුන් අංඟුලිමාල තෙරුන් පිළිගන්නේ නැත. අප්‍රසාදයෙන් ඒ දෙස බලති. මගේ ගෝලයට සමාජයේ තිබෙන මේ අකැමැත්ත දුරු කරලීමට හොඳම අවස්ථාව මෙය බව දැනගත් බුදුපියාණන් වහන්සේ අංඟුලිමාල හාමුදුරුවන්ට එම ස්ථානයට තනිවම වැඩම කරන ලෙස දැන්වූවා. “කවදාවත් මම සතුන් මරල නැති බවට සත්‍යයක් ක්‍රියා කරන ලෙස දැන්වුවත් තමන් ඇඟිලි කපා මිනී මරල ඇති නිසා එසේ කරන්නේ කෙසේද?” යනුවෙන් අංඟුලිමාල තෙරුණ් බුදුපියාණන් වහන්සේගෙන් විචාරණු ලැබුවා. අංඟුලිමාල ඔබ එසේ කළේ ගිහිකාලය තුළය. ඔබ ආර්යය ජන්මයේ උපන් කෙනෙක්. භික්ෂුවකට උප්පත්ති දෙකක් තිබේ. එකක් ආයුෂයෙන් එන උප්පත්තියයි. බුදුරජාණන් වහන්සේගේ ආර්යය ශාසනයෙන් උප්පත්තිය යනු දෙවැදෑරුම් වන ආකාරයයි. ඒ නිසා ආර්යය ජන්මයේ උපන්දා සිට කිසි වරදක් කර නැති බව සත්‍යයක් ක්‍රියා කරමින් පිරිත් දේශනා කරන ලෙසට අංඟුලිමාල හාමුදුරුවන්ට එතෙක් සමාජයේ තිබුණ අප්‍රසාදය දුරුවී ගියහ. අංඟුලිමාල තෙරුන් මේ ශාන්තිය කරනු ලැබුවේ ලෝකයට දරුවකු බිහිවන වෙලාව තුළයි. ලෝකයට දරුවකු බිහිවන වෙලාවේ ශාන්තියක් උදා කරනවා යනු ලෝකයේ පැවැත්මට බලපෑම් කළ හැකි විශාල ශක්තියක් ඒ තුළ ගැබ්ව තිබෙන බවයි. ඒ අවස්ථාවේදී ඟුරුවරයකු වශයෙන් තමන්ගේ ශ්‍රාවකයාට සමාජය තුළ දියහැකි ඉහළම ගෞරවය ලබාදීමට කටයුතු කරනු ලැබූහ. වර්තමාන සමාජය තුළ ඇතැම් ඟුරුවරුන් තමන්ගේ ගෝලයන් තමා අභිබවා යනවට කැමැති නොවන අවස්ථා නැතිවා නොවේ. ඟුරුගෝල සමාජයට බුදුපියාණන් වහන්සේ උගන්වනුයේ තමාගේ ගෝලයාට තමා අභිබවා යාමට ඉඩ දිය යුතු බවය. එසේ ගෝලයන් ඉදිරියට ඇදෙන විට සැබෑ ඟුරුවරු අප්‍රමාණ නිරාමිස පී‍්‍රතියට පත් වේ. ඒ සඳහා මනස ඔසවා තැබීම බුදුදහමේ ලක්ෂණයකි. ගුරුවරයා යනු වින්නඹුවක් මිස හෙදියක් නොවේ.

වින්නඹුව දරුවකු උපද්දන්නට උපකාර කරනු ලබයි. හෙදිය විසින් ලැබුණ දරුවා රැක බලා ගනී. වඩාත් වැදගත්ම කාර්යය භාරය කරනු ලබන්නේ වින්නඹුවයි. ඇයගේ අතින් වැරැදුණහොත් දරුවා මිය යා හැකිය. ගුරුවරයා යනු අලුතෙන් චරිතයක් උප්පාදනය කරන්නෙකි. ඕනෑම දරුණු චරිතයක් රැගෙන අලුත් චරිතයක් නිර්මාණය කිරීමේ හැකියාව ගුරුවරයකු සතු විය යුතුයි.

පුතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ශරීරය තුළ බිබිලි ඇවිත් සැරව ගලමින් සිටින අවස්ථාවේදී කවුරුත් ළඟට නොආහ. බුදුහාමුදුරුවන් එම ස්ථානයට වැඩම කර පුතිගත්ත තිස්ස හාමුදුරුවන් එළියට ගෙනැවිත් පවිත්‍ර කර බෙහෙත් ගල්වලා ඇඳේ වැතිරවූහ. ගුරුවරයෙකු වශයෙන් බුදුහාමුදුරුවන් තුළ තිබූ උදාර ගුණයන් ඒ තුළින් පිළිබිඹු වෙයි.

තමන්ගේ ශ්‍රාවකයාට ගෝලයාට ගුරුවරයාගෙන් ලැබිය යුතු ලෙන්ගතුකම, ආදරය, සෙනෙහස , දයාබරත්වය බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙන් ලැබී තිබෙන ආකාරය ඉහත සිදුවීම් තුළින් පැහැදිලි වෙයි.

ඕනෑම බිහිසුණු චරිතයක් තුළ සද්පුරුෂයෙකු ජීවත්වන බව බුදුපියාණන් වහන්සේ විශ්වාස කළහ. ආලවක දමනයේදී බුදුපියාණන් වහන්සේ ආලවක “නික්ඛම සමණානි” යනුවෙන් එළියට බහින ලෙස අණ කරන අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ කුඩා දරුවකු මෙන් එයට අවනතව මද සිනහවකින් යුතුව හිතේ මහා කරුණාව මෛත්‍රිය පෙරදැරිව හිස මදක්, පහත් කරගෙන සෙමෙන් සෙමෙන් ආලවක භවනෙන් ඉවතට වැඩම කරනු ලැබූහ. “ පවිස සමණානි” නැවතත් ඇතුළට එන ලෙස ආලවක බුදුපියාණන් වහන්සේට අණ කරනු ලැබූහ. බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ආලවකගේ ගෝලයකු බවට පත්වූයේ යැයි අප ඉදිරියේ මැවෙන මෙම චිත්ත රූප තුළින්ම බුදුහාමුදුරුවන් තුළ ඟුරුවරයෙකු වශයෙන් පැවතුණි . උදාර ගුණාංගයන් අප ඉදිරියේ මැවී පෙනේ. සිනහ මුසු මුහුණින් සෙමින් සෙමින් වඩින බුදුපියාණන් වහන්සේගේ නම්‍යශීලිභාවය විදහාපාන උදාර චරිත ලක්ෂණ පිළිබිඹු වේ. බුදුපියාණන් වහන්සේ ආලවක ඉදිරියේ ගෝලයකු බවට පත් වේ. මෙය සැබෑ ඟුරුවරයෙකු ගේ ලක්ෂණයක්. තමන්ගේ ගෝලයා නියම මාවතට ගැනීමට නොහැකි නම් එහිදී ගුරුවරයාට සිදුවනුයේ ගෝලයාගේ යම් යම් දේවලට අවස්ථානෝචිතව නම්‍යශීලී වීමටයි. එසේ නොවුවහොත් ඔහු සැබෑ මාර්ගයට ගත නොහැකි විය හැකිය. ආලවකගේ අණට කීකරුව තුන්වතාවක් ආලවක භවනෙන් එළියටත්, ඇතුළටත් බුදුපියාණන් වහන්සේ වඩිනු ලැබුවේ ඒ දහම කියාදෙන්න නම්, ඒ අවස්ථාවේ ඔහුගේ මනසේ බුර බුරා නැගෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පැවැති සිතෙහි පවතින ගිනිදැල් මෛත්‍රිය , කරුණාව, දයාව තුළින් නිවාදැමිය යුතු නිසයි. ගිනිගත් සිතකට ධර්මදේශනා කළාට පලක් නොවන බව බුදුරජාණන් වහන්සේ දැන සිටි නිසයි. ආලවකගේ මනසෙහි ඇවිලුණු ගිනිදැල් නිවා දමනු ලැබුවේ නිහඬ ධර්ම දේශනාවකිනි. බුදුපියාණන් වහන්සේ යම් යම් අවස්ථාවලදී නිහඬ ධර්ම දේශනා පැවැත්වූ අවස්ථා තිබේ. බුදුවීමට පෙර ගංගාවට පාත්‍රයක් දැමූ අවස්ථාව තුළින් නිහඬ ධර්ම දේශනාවක් කරනු ලබයි. ඒ වන විට බුද්ධත්වය ලබා නොසිටි සිදුහත් බෝසතාණන්ට පටිසෝතගාමී මාවතට පැමිණීමට තිබූ හොඳම අවස්ථාව මෙය බව ස්වභාවදහම දැනුම්දීමක් කළහ. මෙම සංසාරය නමැති සැඩ පහරට හසුව මිනිසුන් පහළට ගලාගෙන යන ගමනේදී පටිසෝතගාමීව අනෙක් පැත්තට හැරී උඩුගං බලා පිහිනීමට සූදානම් වන අවස්ථාවේ අපට ආරාධනා කරන්නේ ඔබලාත් මා මේ යන ගමනේ මා පසුපසින් එන ලෙසටය.මේ සංසාරය ඕඝයක් පංචේන්ද්‍රියන් පිනවමින් සකළ විධ අරමුණු ආශාවන්ගෙන් තෘෂ්ණාවෙන් වෙළී සංසාර සැඩ පහරට අප ගසාගෙන යයි. ඒ ගසාගෙන යන සැඩ පහරේ මම දැන් අනෙක් පැත්තට හැරී උඩුගං බලා පිහිනීමට සූදානම් වන අවස්ථාව.

පහළට ගලා යන සැඩ පහරක උඩු අතට පිහිනීමට නම් වීර්යය අවශ්‍යයි. සංසාර සැඩ පහරේ අනෙක් පැත්තට පිහිනන්න නම්, වීර්ය පාරමිතාවක් වශයෙන් අවශ්‍යයි. එම වීර්ය නම්, අකුසල පරාජයට පත්කර කුසල සිතිවිලි තැන්පත් කරගන්නා මහා දැවැන්ත ව්‍යායාමයයි. මනා වීර්යය ඇතිකරගත යුතුයි.

ආලවකටත් ඒ නිහඬ ධර්ම දේශනාව පැවැත්වූහ.

ගුරුවරයෙකු තුළ තිබිය යුතු සැබෑම ලක්ෂණය වන කෙතරම් නින්දා පීඩා අපහාස පැමිණුනත් තමාගේ එකම පරමාර්ථය වූත් තමාගේ ප්‍රධාන කාර්යය වූත් තමාගේ ශ්‍රාවකයාට දහම කියාදීම මාර්ගය කියාදීම සත්‍ය අවබෝධය කිරීමයි. ඒ නිසා තමන්ගේ ගෝලයන්ට සත්‍යය අවබෝධය ලැබෙන තුරු තමන්ගේ ක්‍රියාදාමය අත් නොහරී .

අවසාන වශයෙන් ආලවක බුදුපියාණන් වහන්සේගෙන් සමාව අයැද “බුදුහාමුදුරුවනේ මට සමාවන්න. බුදුපියාණන් වහන්සේගේ සිරිපතුල් වැළඳගෙන හඬා වැළපෙමින් සමාව අයදී. මම ඇසූ ප්‍රශ්නවලට ඔබ වහන්සේ දුන් පිළිතුරු හරියට යටිකුරු කර තිබූ භාජනයක් උඩුකුරු කර පෙන්වූවා වගෙයි. වහපු භාජනයක පියන විවෘත කර පෙන්වුවා වගෙයි. මංමුලාවූවකුට පාර කියාදුන්නා වගෙයි. අඳුරු කුටියකට පහනක් දැල්වූවා වගෙයි. අනේ බුදුහාමුදුරුවනේ මාව ගෝලයකු කරගන්න. මීට මොහොතකට පෙර එළියට බහින ලෙස බුදුපියාණන් වහන්සේට අණ කරනු ලැබූ ආලවක අවසානයේ සිරිපතුල් වැළඳගෙන සමාව අයැඳමින් ගෝලයකු වීමට ආයාචනා කිරීම තුළින්ම සැබෑ ගුරුවරයකු තුළ තිබූ උතුම් ඟුණාංග ප්‍රකට වේ. එම බිහිසුණු ආලවක නැතිකරමින් ඒ තුළ සැඟවී සිටිය සැදැහැවත් ප්‍රඥාවන්ත ආලවක නම් වූ චරිතය ක්‍රමයෙන් සෙමෙන් සෙමෙන් එළියට ගත්හ. වසාගෙන සිටි මහා භයානක චරිතය පැත්තකට තල්ලුකර දමමින් එය පරාජයට පත්කරමින් සැදැහැවත් චරිතය ජීවත් කරවූවා. ගුරුවරයකු වශයෙන් කළ යුත්තේ එයයි. තමන් සොයන මුදල ගෝලයා වෙනුවෙන් වියදම් කරන. ගෝලයාට යහමඟ කියාදෙමින් ශිල්ප ඥානය ලබාදෙන ක්‍රමවේදයක් මීට පෙර අප සමාජය තුළත් පැවතුණි. ඟුරුභූමිකාව කෙබඳු විය යුතුද? යන්න බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය තුළින් ප්‍රතීයමාන වේ.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]