UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 13

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 13

තථාගතයන් වහන්සේ බරණැසින් පිටත්ව උරුවෙල් දනව්වට වැඩම කළ සේක

බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරයේ පළමු වස් කාලය ගත කරන ලද බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා හැට නම ධර්ම චාරිකාවේ පිටත් කර හරින ලදි. උන්වහන්සේ බරණැස සිට උරුවෙලාව තෙක් පිහිටි මාර්ගයේ වඩිනා විට බුදුරජාණන් වහන්සේ මහ වනය පැත්තෙක පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක මගින් ඉවත්ව එහි රුක් මුලක, වැඩ සිටින අතර භද්‍රවර්ගික නමින් ප්‍රකට කුමාරවරු සිය බිරියන් සමඟ වනය තුළ ඇවිදින්නට ගිය අතර ඒ පිරිසෙන් පලාගිය එක් බිරිඳක් සොයමින් ඒ වන ලැහැබෙහි ඇවිද්දෝය. කුමාරවරුන් වන ලැහැබේ තැනින් තැන ඇවිදිමින් ඒ ස්ත්‍රිය සොයන්නට පිටත් විය. මේ අතර මහ වන මැද රුක් සෙවනේ සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්ස, මේ පැත්තට යන ස්ත්‍රියක් දුටුවාදැයි ඇසූහ.

ළමයිනි, තමන් සොයා ගැන්ම වඩා උතුම්ද? නැතහොත් (අන්‍ය) ස්ත්‍රියක සෙවීම වඩා උතුම්ද? තෙපි මෙය කෙසේ සිතවුද? යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. ස්වාමිනි, අපි අපම සොයන්නෝමු නම් ඒ සෙවීම උතුම් යැයි ඔවුහු උත්තර දුන්හ.

එහෙනම් ළමයිනි ඉඳ ගන්න. මම ඔබ සැමට තමන් සොයා ගන්නා සැටි කියන්නම්. ඔවුහු සියලු දෙනා බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක හිඳගත්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාන කතා, ශීල කතාදි පිළිවෙළ කථායෙන් අවවාද අනුශාසනා කළ සේක. එය ඇසීමෙන් ප්‍රසන්න වූ මෘදු මොළොක් වූ සිතැති ඔවුනට දහම් දෙසූ සේක. එය ඇසීමෙන් ඔවුනට දහම් ඇස පහළ විය. ඔවුන්ගෙන් සමහරු සෝවාන් වූහ. සමහරු සකෘදාගාමි වූහ. අන් අය අනාගාමී වූහ. මෙසේ ආර්ය භූමියට පැමිණි කුමාරවරුන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූහ.බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු සම්පත්තියෙන් ඔවුන් වෙත පැවිදි උපසම්පදාව දෙන ලදී. ඔවුන්ගේ භාර්යාවරු මේ බව දැන මාලිගාවට පිටත් වූවාය.


රජගහනුවර පිහිටි කඳු පන්තිය

භික්ෂූන් වහන්සේලා තිස්නම ධර්ම දූත සේවාවට පිටත් කර හැර බුදු පියාණෝ උරුවෙල් ජනපදය බලා ගමන්ගත් සේක. ඒ කාලයේ උරුවෙල් දනව්වෙහි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යැයි සහෝදර තවුසෝ තිදෙනෙක් නේරංජනා ගඟ අද්දර තාපාසාරාම කොට ගෙන ගිනි දෙවියන් පුදමින් වාසය කරන ලදී.

මෙහි වැඩිමහල් තවුස් උරුවෙල කාශ්‍යප සතුව පිරිස පන්සියක් විය. මධ්‍යම සහෝදරයා නදී කාශ්‍යප තෙම සතුව පිරිස තුන්සියක් විය. බාල සොහොයුරු ගයා කාශ්‍යප සතුව ජටිල පිරිස දෙසීයක් විය.

ඌරුවෙල් කස්සප වනාහී තමා රහතෙකැයි සිතා ගත්තෙකි. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ මානය බිඳ අන්තිමේ දී රහතෙකැයි ඔහු තුළ වූ අදහස වැරැදි බව තෝරා දුන් සේක.

ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගේ අසපුව සමීපයේ වන ලැහැබක වැඩ වාසය කරමින් තවත් බොහෝ පෙළහැර දක්වන ලදී. අන්තිමේ කාශ්‍යප තුළ තිබෙන තමන් රහත් යන මතය වැරැදි බව පෙන්වා වදාළ සේක. එය පිළිගත් උරුවෙල් කස්සප ඇතුළු පන්සියක් ජටිලයන් බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහි භික්ෂු උපසම්පදාව ලබා ගත්හ.

උරුවෙල කාශ්‍යප ප්‍රධාන කොටැති ජටිල පිරිස ශාසනයේ මහණ වීමේ දී ජටා මඩුලු ආදී තවුස් පිරිකර ගඟේ පා කර යැවූහ. නේරංජනා නදිය අද්දර වූ නදී කාශ්‍යප තවුසා පාවී යන තවුස් පිරිකර දැක ගඟ ඉහළට ගොස් තම සහෝදරයා අනතුරක් වීදැයි සොයා බලනු පිණිස ගියේ ය. ශාසනයෙහි පැවිදි වී සිටි සිය සොයුරා දැක මේ පැවිද්ද හොඳදැයි ඇසූහ. එසේය. තාපස ප්‍රව්‍රජ්‍යාවට වඩා මේ පැවිද්ද උතුම් යැයි කාශ්‍යපයන් පිළිතුරු දුන්හ. මේ ඇසූ නදී කාශ්‍යප තමාගේ ජටා මඬු ලු ආදිය ගඟේ පා කර යවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹි පැවිද්ද ඉල්ලා සිටි අතර ඔවුනටද භාග්‍යවතුන් වහන්සේ ඒහි භික්ෂු පැවිද්ද හා උපසම්පදාව දෙන ලදී.


ජීවක අඹ උයන

මේ තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යපයන් තම සහෝදර දෙදෙනාට සිදු වූ දෙය බලන්නට ගොස් ඔවුන් මහණ වී සිටින බව දැක ඔවුන්ගෙන් කරුණු විමසා ගයා කාශ්‍යපයන් ඇතුළු පිරිස ද බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලා සිටි අතර ඔවුනට ද ඒහි භික්ෂු පැවිද්ද හා උපසම්පදාව දෙන ලදී. අනතුරුව මොවුහු සියලුම දෙනා රැගෙන භාග්‍යවතුන් වහන්සේ ගයා ශීර්ෂයට ගෙන ගොස් මොවුන් සියලු දෙනාට ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරන ලදී.මේ ධර්ම දේශනාව අසා සිටි ඒ දහසක් ජටිල භික්ෂූන් උතුම් රහත් භාවය අවබෝධ කර ගත්හ.

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය

භාග්‍යවතුන් වහන්සේ මේ වන විට බුද්ධත්වය ලබා මාස නමයක් ගත වී ගොස් සිටි අතර දුරුතු මස පුර පොහොය උදාවිය.මහා කරුණා ඤාණයෙන් ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේට ලක්වැසියන්ට තමන් වහන්සේගෙන් විය හැකි ශාන්තිය දුටු සේක. එදින අහසින් ලක්දිවට වැඩි සේක. දැනට මහියංගන චෛත්‍ය පිහිටි ස්ථානයට වැඩම කර මහා යුද සංග්‍රාමයට සැරසුනු යකුන් සෘද්ධි බලයෙන් පන්නා දමා එහි පැමිණි සුමන දෙවි රජුට දහම් දේශනා කර ඔහු සෝවාන් ඵලයට පත් කරවා පූජනීය වස්තුවක් ඉල්ලූ දෙවියන්ට හිස පිරිමැද කේස ධාතු මිටක් දී උරුවෙල් දනව්වට පෙරළා වැඩි සේක. සුමන සමන් දෙවියන් කේශ ධාතු මීට නිධන් කොට මහියංගන චෛත්‍ය රියන් හතක් උසට ඉදිකරන ලදී.

බුදුරජාණන් වහන්සේ ජටිල භික්ෂූන් වහන්සේලා කැඳවාගෙන උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට තුන් ගව්වකට ඈතින් පිහිටි ලට්ටිය නම් වූ වනයට පැමිණ එහි නුග රුකක් මුල වැඩ විසූ සේක. බුදුරජාණන් වහන්සේ එහි වැඩ වසන බවත් උන්වහන්සේ ගැන රටේ පැවති ගුණ ඝෝසයත් ඇසූ බිම්බිසාර රජු මහා ජන සමූහයක් කැටුව ගොස් දැක පසෙක ඉඳ ගත්තේය.

එසේ රජු සමග ගිය පිරිසේ සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර බස් කතා කොට තවත් කෙනෙක් උන්වහන්සේ දෙසට ඇඳිලි බැඳ හිස නමා ආචාර කොටද ඇතැම් කෙනෙක් මේ සියල්ල නොකොට නිෂ්ශබ්දව ද ඉඳ ගත්හ. මෙසේ සිටින්නේ කිමද භාග්‍යවතුන් වහන්සේ විමසන ලදී. ශ්‍රමණ ගෞතමයෝ උරුවෙල් කාශ්‍යපයන්ගේ ශිෂ්‍යව මහණ දම් සපුරයි ද ? නැතිනම් කාශ්‍යපයෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ශිෂ්‍යව මහණ දම් පුරයිද ? රැස්ව සිටි පිරිසට සැක පහළ විය. එවිට බුදුරජාණන්වහන්සේ, කාශ්‍යපයන් වහන්ස ගිනි පිදීම අත්හැරියේ කුමන හේතුවක් නිසාදැයි විමසන ලදී. එවිට බුද්ධ වචනය අසා ගිනි පිදීමේ නිෂ්ඵලතාව තේරුම් ගෙන එය අත්හැරි බවත් තමන් දැන් බුද්ධ ශ්‍රාවකයෙකු බවත් පවසා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ කාශ්‍යප තෙරුන් පැවසීය. රැස්ව සිටි පිරිසගේ සැකය එයින් දුරුවිය. මෙහිදී වච්ජපාල බ්‍රාහ්මණ ආදීහු පැහැදී තෙරුවන් සරණ ගියෝය. ඉක්බිති උරුවෙල් කාශ්‍යපයන් දමනය කිරීම ගැන පිරිස ස්තූති කළ විට ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ඉන් පෙරත් තමන් විසින් ඔහු දමනය කළ බව දෙසූ සේක.

තවත් කොටසක් ඉල් අමාවක පොහෝදා නොවැම්බර් 22 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 12
 

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]