UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවන රිය පෙරහර 12 වන දා කොළඹ සිට මහනුවරට 13 වන දා මහනුවර සිට අනුරාධපුරයට රිය පෙරහර ගමන් ගන්නා මඟ දෙපස දී මල් පූජාවට සැදැහැවතුන්ට අවස්ථාවක්





මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010 නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම සඳහිරු සෑය ඉදි වේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුළ මෙරට උපන් විශාල දරු පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ ය. ඒ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහාය. මව්කුසයේ සිටි අහිංසක දරුවන්ගේ සිට කිරි දරුවන්, ගැබිනි මව්වරුන්, ගොවියන්, වෘත්තිකයන්, පාසල් දරුවන්, විවිධ තරා තිරම්වල අහිංසක පුරවැසියන් භික්ෂූන් වහන්සේද ඇතුළු පදිකවේදිකාවේ සිට රටේ ජනාධිපතිවරු දක්වා යුද්ධය වෙනුවෙන් රටේ මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමිවුණි. හැමදෙනාම අනුස්මරණය කරමින්, ඒ හැම කෙනෙක්ම නැතිවීම තුළ ඒ ඒ අයගේ ඤාතීන්ට, ඒ ඒ අයගේ දරුවන්ට ඒ ඒ අයගේ හිතමිතුරන්ට සිදු වූ පාඩුව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. ඒ ඒ අයගේ ජීවිතවල පුද්ගල වටිනාකම් මෙතකැයි කියා තක්සේරු කළ නොහැකිය. එබැවින් ඒ සියලු දෙනාට පින් දෙන්නත්, එම ත්‍රස්තවාදය නිසා තමන්ට ඇති වී තිබෙන දුක, වේදනාව තුනී කර ගැනීමට ඒ අයගේ උදාර පරිත්‍යාගයට, අහිමිවීමට නැවත කළ හැකි වෙනත් දෙයක් නොවේ.

එබැවින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙස් විදෙස් වශයෙන් ලබාගෙන එම සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කර මෙතෙක් හෙළ රජවරුන් විසින් කරන ලද මහා නිර්මාණයකට සමාසන්නව සිදු කරන අද්විතීය අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවයකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සඳහිරු සෑය ඉදිකිරීම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේත් දේශීය හා විදේශීය දායකත්වය මත පේසා වළලු තුනේ ඉදිකිරීම් අවසන්කර ගර්භයේ ධාතු කුටිය ඉදිකිරීම් නිමවා මෙම මස 23 වන දා හයදහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරේ. සඳහිරු සෑය නිර්මාණයේ දී එය පොළොව මතුපිට සිට උසින් අඩි 280 පමණ වේ. අඩි 50 කට ආසන්න පොළොව යට සිට පොළොව පාදම තිබේ. සඳහිරු සෑයේ විශ්කම්භය අඩි 255 කි. සඳහිරු සෑයේ වටප්‍රමාණය අඩි 802 කි. සඳහිරු සෑය නිර්මාණය කිරීමේ දී එය ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක් බවටද පත් වේ. සඳහිරු සෑය වටා සලපතල මළුවට පහළින් කොටස විශාල කලාගාරයක් බවට පත් කිරීම සඳහා ජාතක කතා, බෝසත් සිරිත, අසිරිමත් බුදු සිරිත, ලංකා ශාසන ඉතිහාසය, දම්සක් පැවැතුම් සූත්‍රයේ අදාළ සංකල්ප මූර්තිමත් කෙරේ.

රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය සිදුවූයේ කෙසේද? ඒ අයුරින්ම පෙර රජ දවස සිදුකළ සියලු පුද පූජා චාරිත්‍ර සියලු පූජා ද්‍රව්‍ය, රන් රුවන්, මුතු, මැණික් සියල්ල තැන්පත් කර එම ධාතු නිධාන පූජෝත්සවය පැවැත්වේ.

මෙම ඓතිහාසික අවස්ථාව මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්ද වනු ඇත. එබැවින් මෙය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ අපට වසර 1600 කට පසු දක්නට ලැබෙන, නැවත අපේ ජීවිතයේ පමණක් නොව ඇතැම් විට සංසාර ගමනේ දී බොහෝ කලකට පවා දක්නට නොලැබෙන ඉතාම පරම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එම මහඟු අවස්ථාව සියල්ලන්ටම සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමටද අවස්ථාව උදාවී ඇත. එම සඳහිරු සෑයේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමද උදාර පින්කමක් වනු ඇත.

සඳහිරු සෑය ජාති, ආගම්, ආදී කිසිදු භේදයකින් තොරව ඓතිහාසික පූජනීය වස්තුවක් ලෙසත්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන බුද්ධ පූජාවක් ලෙසත් සඳහිරු මහ සෑ ව්‍යාපෘතිය සඳහන් කළ හැකි ය. එම සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රිය පෙරහරෙන් වැඩම කරවීම මෙම 12 වන දා ආරම්භ කැරේ.

සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දා උදෑසන අරලියගහ මන්දිරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා වැඩම කරනු ඇත. ශ්‍රී දළදා මාලිගාවේ සිට නොවැම්බර් 13 වනදා අනුරාධපුරය වෙතද එම රිය පෙරහර පැවැත්වේ.

සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිය පෙරහරකින් වැඩම කරවීම.

සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දින උදෑසන අරලියගහ මැදුරේ සිට රිය පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා ද, 2014 නොවැම්බර් 13 දින ශ්‍රී දළදා මාලිගාවේ සිට අනුරාධපුරය වෙතද ගමන් ගැනීමට නියමිතව ඇත. එහි ගමන් මාර්ගය සහිත විස්තර පහත පරිදි වේ.

2014 නොවැම්බර් 12 දින පෙරවරු 09.00 ට අරලියගහ මැදුරින් ආරම්භ කරන රිය පෙරහර ලේක්හවුස්, මරදාන දුම්රිය හන්දිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, ඇල්දෙණිය බැලුම්මහර ඔස්සේ නිට්ටඹුව වෙත පෙරවරු 11.00 වන විටද වේවැල්දෙණිය, වරකාපොළ, නෙලුම්දෙණිය හරහා කෑගල්ල වෙත පස්වරු 02.30 වන විටද මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය පසුකරමින් මහනුවර වෙත පස්වරු 5.30 වන විට පැමිණීමට නියමිතව ඇත.

2014 නොවැම්බර් 13 දින පෙරවරු 09.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කර අඹතැන්න, මාවතපොල හරහා මාතලේ වෙත පෙරවරු 10.45 වන විටද පලාපත්වල, හුන්ගන්වල පසුකරමින් නාවුල වෙත පස්වරු 12.30 වන විටද ලේනදොර හරහා දඹුල්ල වෙත පස්වරු 02.00 වන විටද මඩාටුගම පසුකර කැකිරාව, වෙත පස්වරු 3.00 වන විටද මරදන්කඩවල වෙත පස්වරු 04.00 වන විටද ගල්කුලම වෙත පස්වරු 6.00 වන විටද කවරක්කුලම හන්දිය පසුකරමින් අනුරාධපුරය වෙත පස්වරු 07.00 වන විට ළඟා වීමට නියමිතව ඇත.

එම රිය පෙරහර ගමන් කරන මාර්ගයේ දී මඟ දෙපස සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මලින් පූජෝපහාර දැක්වීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවී ඇත. මෙම මස 14 වන දා සවස 5 ට රුවන්වැලි මහ සෑය අබියසදී විශේෂ කප්රුක් පූජාවක්ද, එමෙන්ම අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ අබියසදී ද ආගමික වතාවත් සිදු කෙරෙන අතර එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ද විශේෂ ආගමික වතාවත් සිදුකර එදින රාත්‍රී 9 ට පමණ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ සති පිරිත් දේශනාව සඳහා ගරුතර මහා සඟරුවන සඳහිරු සෑ පරිශ්‍රයට පුද පෙරහරෙන් වැඩම කරවනු ලැබේ. එදින රාත්‍රී සත් දින පිරිත් දේශනාවද ආරම්භ කැරේ.

මෙම මස 15 වන දා සිට 21 වන දා දක්වා එම ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා මහජනතාවගේ වන්දනාවට පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතී. සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය නිමිත්තෙන් මෙම 21 වන දා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දී විශේෂ බෞද්ධ සම්මන්ත්‍රයක්ද පැවැත්වේ. 23 වන දා ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]