UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

කැලණි රජමහා විහාරය

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිගේ අනුශාසකත්වයෙන් මේ මස 06 වැනි දා පැවැත්වේ.

අලුයම 4.00ට කඨින චීවරය පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය ජී. චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිටයි. පෙ.ව. 6.00 ට කඨින චීවරය සඟසතු කර පූජා කෙරේ. දවල් 40 නමකට අධික මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. රාත්‍රී 7.30 සිට 8.30 දක්වා කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.


මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරයේ කඨින පින්කම් මේ මස 5, 6 දිනයන්හි මහෝපාධ්‍ය අස්ගිරිමහා විහාරයීය කාරක සභික, නාථදේවාල විහාරාධිපති ගොමගොඩ රතනසාර නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 5 වැනි දා අස්ගිරි මහා විහාර පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමි ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් මාලාවකි.


පන්නිපිටිය ඉන්ද්‍රාරාමය

පන්පිටිය හයිලෙවල් පාරේ ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සවය මේ මස 5 හා 6 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති සියඹලාවේ ආනන්දසාගර හිමි අනුශාසනා පරිදි කඨින පින්කමේ ප්‍රධාන දායකත්නය පන්නිපිටිය පරණ පාරේ අංක 59/9 නිවසේ මහේෂ් ගුණසේකර බණ්ඩාර මහතා ඩී.එම්. ගුණසේකර මහතා” ඉන්ද්‍රානි ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සැමගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. ඉන්ද්‍රාරාමයේ නිර්මාතෘවර අපවත් වී වදාළ ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හැඩිගම ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ 29 වන ගුණ සමරුව හා උන්වහන්සේගේ ශිෂ්‍ය ඉන්ද්‍රාරාමාධිපතිව වැඩවිසූ වාද්දුවේ ඉන්ද්‍රරතන හිමියන්ගේ තෙවස් පූර්ණ ගුණසමරුවද උදෙසා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමත්, 25 නමක් උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් හා කඨින චීවර පුජාව පැවැත්වීමත් හා ගුණ සමරු ධර්ම දේශනාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.


හම්බන්තොට ශ්‍රී සුමේධාරාමය

හම්බන්තොට ශ්‍රී සුමේධාරාම බුදුරජ වෙහෙර විහාරාධිපති පනාමුරේ සුනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 05 හා 06 දිනයන්හි කඨින පින්කම පැවැත්වේ. 05 වැනිදා රාති‍්‍ර පිරිත් දේශනාවද, 06 වැනිදා අලුයම නෝමන් විලියම් මහතාගේ නිවසින් කඨින කඨින පෙරහර පිටත්වීමත් එදින දවල් සංඝගත දක්ෂිණාවද, අෂ්ඨ පරිෂ්කර පුජාවද සිදු කෙරේ. එදින පස්වරු 6.30 සංඝාවාසය සඟසතු කර පුජා කිරීමට නියමිතය.


වාද්දුව දෙගම්බද විහාරය

වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ වාර්ෂික කඨින පින්කම මේ මස 6 වැනිදා මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ විහාරාධිපති රයිගම් සල්පිටිකෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති බෝපිටියේ ධම්මිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. කේ.පී. කන්නන්ගර මහතාගේ නිවසින් අලුයම 2.30 පිටත්වේ.

තල්පිටියේ ඩබ්.ඇම්.ඇස්.වී විජේනායක (වාද්දුව සංචාරක)


ගලගෙදර පෙතිගේවෙල විහාරය

ගලගෙදර පෙතිගේවෙල පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 06 වැනිදා පැවැත්වේ. නොවැම්බර් 5 සවස 7 සිට රාත්‍රි 9 දක්වා යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවකි.

කේ.බණ්ඩාරනායක


අත්තනගල්ල අරහන්ත රජමහා විහාරය

අත්තනගල්ල අරහන්ත රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මේ මස 5 සහ 6 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. අත්තනගලු රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි 5 දින රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද, 06 වැනිදා දවල් අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා සාංඝික දානය ද එදිනම රාත්‍රී 8.00 ට කඨින ධර්ම දේශනාවක්ද පැවැත්වේ. 06 දින හිමිදිරියේ අත්තනගල්ල පදිංචි නන්දසිරි කළුබෝවිල මහතාගේ නිවසින් කඨින සිවුර රැගත් පෙරහර පිටත් වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වනු ලබන කඨින චීවර පූජාව පුර පොහොය දින සිදු කෙරේ. එදින අලුයම වියා නිමය කළ කඨින වස්ත්‍රය, සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, ඒවා එක් කොට මැසීමෙන් පසු දින කීපයක් තිස්සේ කැලෑ ගස් පොතු, මල් කොළ යොදා තම්බා සකස් කර ගත් පඬු දියර, ඔරුවක දමා එම වස්ත්‍රය පඬු ගැන්වීම කරනු ලබයි. එදින දවල් විසිපස් නමකට අධික ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනමන සාංඝික දානයෙන් පසු එම කඨින චීවරය, වස් විසූ ස්වාමින් වහන්සේලා වෙත පූජා කිරීමට නියමිතය.


කඩවත ඇල්දෙනියේ අභිනවාරාමය

කඩවත ඇල්දෙනියේ අභිනවාරාමයේ කඨින පින්කම ඇල්දෙනිය බණ්ඩාරනායක මාවතේ වීර නිවාස 35 ක් ඒකරාශි වී සිදු කළේය.

කඨික පින්කම සඳහා අනුශාසනා ඇල්දෙනිය ශී‍්‍ර අභිනවාරාම විහාරාධිපති ශාන්තාලංකාර හිමියන් විසිනි. වීර පෙදෙස එකමුතුව සංවිධානයේ සභාපති - උභය වික්‍රමසිංහ, ලේකම් – බෙනට් සුබසිංහ, භාණ්ඩාගාරික – චමින්ද ජයවර්ධන, ප්‍රධාන සංවිධායක – වීරසිංහ වේ. ප්‍රදේශයේ නිවාස 35 ක් එකමුතුව සංවිධානය කළ අතර එම සෑම නිවසකම එක් දිනක් කඨින චීවරය වැඩම කරවා සෑම නිවසකම දම් දෙසුමක් හා පිරිත් සජ්ඣායනාවක් හිමිවරු දෙපලක් විසින් කරනු ලැබූහ. සෑම නිවසකම සවස ගිලන්පස පසුදින උදේ දානය බුද්ධ පූජාව, දවල් බුද්ධ පූජාව සවස ගිලන්පස පූජාව නිවැසියන් විසින් සිදු කැරිණි.

නිවාස 35 පිහිටි ප්‍රදේශයේ නිවාස සියල්ල පිරිසුදු කර තීන්ත ආලේප කර ගෙවල් ඇතුළත හා පිටත පිරිසුදු කර සියලු මංමාවත් අලංකාර කර ප්‍රදේශය සැරිසිලි හා ආලෝකවත් කිරීම දින 35 තුළම සිදුවිණ. කඨින චීවර පෙරහර ඉපැරණි ක්‍රම අනුව සිදු කැරිණි.

කඨින චීවරය දෝලාවක් මත තබා එම දෝලාව හතර දෙනකුගේ කර පිටින් ඒ දෙපස සේසත් ඉදිරිපිටින් හා පසුපසින් ගෙන දෙපැත්තෙන්ම ගිනි පන්දම් ගෙන ගෞරවාන්විතව චීවරය වැඩම කරවීම හා පිටුපසින් මල් වට්ටි රැගෙන කණ්ඩායම් ගමන් කළේය. අභිනවාරාමයේ දහම් පාසල් ළමුන් මල් සහ බෞද්ධ කොඩි රැගෙන ගමන් කිරීමද වීර පෙදෙස අවට තිබෙන සියලුම සමිති සමාගම් කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමද සිදු කැරිණි.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින චීවර පූජාව හා ආශිර්වාද පින්කම මේ මස 05 හා 06 දෙදින පුරා පැවැත්වේ. 05 වැනි දා සවස 6.30 බෝධි පූජාව ඔකදගහ චන්ද්‍රාලෝක හිමියන් විසිනි. 06 වැනිදා අලුයම ඩී.ජී. මාටින් මහතාගේ නිවසින් කඨින පෙරහර පිටත්වේ. එදින ඇතුල්ගම සුධම්මානන්ද හිමි, ගැවිලිපිටියේ පාලිත හිමි දම් දෙසුම් පවත්වයි. කඨිනානිශංස දම් දෙසුම තිබ්බටුගොඩ ශ්‍රී නන්ද හිමියන් විසිනි.


කඩුගන්නාව පොත්ගුල් විහාරය

කඩුගන්නාව ඉල්ලදොර පොත්ගුල පුරාණ විහාරයේ කඨින පින්කම 5, 6 දිනවලදී විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, ඕවල සෝරත නාහිමි මූලිකත්වයෙන් පැවැත්වේ.

කේ. බණ්ඩාරනායක


මහනුවර ගංගාරාමය

මහනුවර ලේවැල්ල ගංගාරාමයේ කඨින පින්කම මල්වතු මහා විහාර කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික සංඝරාජ පරිවෙණාධිපති ගංගාරාමයේ භාරකාර ශාස්ත්‍රපති නැහැතිවල පියදස්සි හිමි ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 5 වෙනි දා සවස සෙත් පිරිතකි. බෝධි පූජාවකි.


තලාතුඔය ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති, මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධානන්ද හිමි ප්‍රධානත්වයෙන් කඨින පින්කම මේ මස 5, 6 දිනවල සිදුකෙරෙන අතර මහා සංඝරත්නය හතලිස් නමක් විෂයෙහි කප්රුක් සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.


පේරාදෙණිය රජමහා විහාරය

පේරාදෙණිය ගන්නෝරුව රජමහ විහාරාධිපති යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක අඹන්පොල සුමංගල නාහිමි ප්‍රධානත්වයෙන් කඨින පින්කම මේ මස 5, 6 දිනවල පැවැත්වේ.

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]