UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

ධර්මය සහ සමාජය

පිළිවෙතින් පෙළගැසෙනු පිණිස බුදු දහම
කර්තෘ - මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
ප්‍රකාශනය – මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල – රු.275.00

මෙය සත්‍ය නිර්මල බුදුදහමත් ඒ තුළින් මිනිසාට ලැබිය හැකි විමුක්තිය පිළිබඳවත් පැහැදිලි ආකාරයෙන් සරල ලෙස ගැඹුරු විස්තරයක් ගෙන එන පොතකි. පොතෙහි මුල් පරිච්ඡේද තුළින් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ උත්කෘෂ්ඨ වන්නේ මක් නිසාද යන්නත් පිළිබඳවත් පැහැදිලි විස්තරයක් ගෙන එනු දක්නට ලැබේ. එයින් අනතුරුව මිනිසා පිළිබඳව බෞද්ධ සංකල්පය විස්තර කෙරෙන අතර මානව සමාජයේ විකාශයද බෞද්ධ සමාජ ආකල්ප ආදිය පිළිබඳව මාතෘකා කීපයක් යටතේ විස්තර දක්වා ඇත. අවසාන වශයෙන් ධනාත්මක චින්තනය, කර්මය හා පුනරුප්පත්තිය, සාර්ථක ජීවිතයට භාවනාව, සංඝ සමාජය, ගිහි ජීවිතය හා සදාචාරය, ගිහි පැවිදි සබඳතා ආදී මාතෘකා 15 ක් යටතේ විස්තර ඉදිරිපත් කර තිබේ. බුදුදහම පිළිබඳව මනා අවබෝධයක් ඇති විද්‍යුත් වැඩසටහන් වලට පවා සහභාගි වන මෙහි කතුවරයා බොහෝසෙයින් බෞද්ධ ජනතාවගේ සිත් දිනාගත් අයෙකි. විශේෂයෙන් “පිළිවෙතින් පෙළගැසෙනු පිණිස බුදු දහම” යන මාතෘකාව පදනම් කර ගනිමින් මෙහි ඉදිරිපත් කර ඇති අදහස් බෞද්ධ ජනතාවගේ විශේෂ අවධානයට යොමුවිය යුතුව තිබේ. ප්‍රතිපත්තිගරුක සමාජයක් ඇති කිරීම සඳහා එම කරුණු බොහෝ සෙයින් උපකාරී විය හැක.


දුකසේ විඳීන කර්ම විපාක
(ප්‍රේත වස්තුව ඇසුරෙනි)

කර්තෘ - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
101 සහ 112 පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවත,
මරදාන, කොළඹ 10
මිල රු. 300

“බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප්‍රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප්‍රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප්‍රේත වස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය.

ප්‍රේත වස්තුවෙන් කියැවෙන්නේ ප්‍රේත ලෝකයෙහි තොරතුරු ය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට මේ මා හැගි ග්‍රන්ථයෙන් ඉගෙන ගත හැකිය.” යනුවෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ එම ග්‍රන්ථයෙහි පසුවදනෙහි සඳහන් කර ඇත.

බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදීනියක වන නයනා නිල්මිණි විසින් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ඇසුරෙන් සම්පාදනය කරන ලද “දුකසේ විඳින කර්ම විපාක” බුදුසරණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාව මගින් එම ග්‍රන්ථය නයනා නිල්මිණි විසින් සම්පාදනය කර ඇත.


තෙලකටාහ ගාථා

කර්තෘවරු - අයි.බී. විමලවංසසූර්ය , ටිකිරි බණ්ඩාර සිලෝගම, පී. රූපසිංහ පෙරේරා,
ප්‍රකාශනය – මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල – රු. 300.00

“ධම්ම ගාථා” නමින් සාහිත්‍ය වශයෙන් ද ‘තෙලකටාහ ගාථා’ නමින් පොදු ජනවහරයෙහිද හැඳින්වුන ගාථා සියයක් එදා කැලණි මහරහතන්වහන්සේ උණු තෙල් කටාරමේ සිට වදාළහ. ‘තෙලකටාහ’ නමින් හැඳින්වූයේ එම තෙල් කටාරමේ සිට වදාළ බැවිනි. එම හිංසනයට භාජනය වූ ස්වාමීන්වහන්සේ එම අවස්ථාවේදී රහත්භාවයට පත් වූ බැවින් උන්වහන්සේට පීඩාවක් වූයේ නැත. එහෙත් එය පෙර අකුසල කර්මයක් නිසා සිදු වූ දෙයක් බැවින් උන්වහන්සේ කැමැත්තෙන්ම පරිනිර්වාණයට පත් වූහ. එම ස්වාමීන්වහන්සේ දේශනා කළ ගාථා සියයක් හා එහි සිංහල අර්ථයන් පමණක් නොව ඒවායෙහි ව්‍යාකරණ යෙදුම් විධි ද මෙහි සඳහන් වේ. මේ නිසා මෙය ධර්ම ග්‍රන්ථයක් වශයෙන් මෙන්ම පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් ද හැඳින්විය හැක. කැලණිතිස්ස රජුගේ කතා ප්‍රවෘත්තියද මෙහි පෙරවදනෙහි සඳහන්ව තිබේ. සංඝයාවහන්සේ තෙල් කටාරමෙහි හිඳුවීම හේතුකොටගෙන මුහුද ගොඩගැලූ ආකාරයත්, ඒ අවස්ථාවේදි රජුගේ දියණිය, දේවි කුමාරිය මුහුදෙහි පා කළ ආකාරයත් සඳහන්ව තිබෙනු දක්නට ලැබේ. මෙම තෙලකටාහ ගාථා පිළිබඳව පැරණි සංස්කරණ ග්‍රන්ථ කීපයක්ම සඳහන් කර ඇති බැවින් එහි වූ විශේෂත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි බවද සඳහන් කළ හැක. එමෙන්ම එම ගාථාවන්හි ඇතුළත් දහම් කරුණු ගැනද පැහැදිලි විස්තරයක් මෙම පොත ආශ්‍රයෙන් ලැබිය හැකි වනු ඇත.


සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවී විහාරය

කර්තෘ - සිරිසමන් විජේතුංග
ප්‍රථම මුද්‍රණය - 2014 කර්තෘ ප්‍රකාශනයකි.
මිල – රු. 300/=

සිදුහත් කුමරු උපන් ලුම්බිණිමායාදේවී විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආශි‍්‍රත ඓතිහාසික පුරාවිද්‍යාත්මක ගවේෂණයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ සිරිසමන් විජේතුංග ග්‍රන්ථ කීපයක් සම්පාදනය කර ඇති ගත් කතුවරයෙකි.

ග්‍රන්ථය පිළිබඳ පෙරවදන සපයන මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා එහි මෙසේ සඳහන් කර ඇත.

බුද්ධචරිතය අනුව ලුම්බිණි සල්උයන පිහිටියේ බුදුරජාණන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන රජුගේ රාජධානිය වන කපිලවස්තු , නගරයත් මෑණියන් වූ මහාමායා දේවියගේ පිය රජුගේ දෙවිදහ නගරයත් අතර පිහිටි මාර්ගය අතර හා සම්බන්ධය පුරාණ චාරිත්‍රානුකූලව දසමසක් ඇවෑමෙන් දරු ප්‍රසූතිය සඳහා මායා දේවිය තම මව්පියන්ගේ නගරය වූ දෙව්දහ පුරයට දෝලාවක නැගී ගමන්ගත් අවස්ථාවේ අතරමඟ පිහිටි සල් උයනේ සල්ගස් සෙවණේදී උපත සිදුවිය.

එම මහා ප්‍රාතිහාර්ය සිදු වූ ලුම්බිණි වනෝද්‍යානය තුළ පිහිටි පුදබිම හඳුනා ගැනීමට හැකිවූ මූලික සාක්‍ෂිය වනුයේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී ධර්මාශෝක මහා අධිරාජ්‍යයා විසින් එහි පිහිටුවන ලද ශිලා ලේඛන සහිත ස්තම්භයයි යනුවෙනි.

ලුම්බිණියේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් සිංහල පාඨකයන්ට දැනගත නොහැකිවූ කරුණු රැසක් එක්තැන් කළ අගනා කෘතියෙකි. මේ ලේඛකයාගේ විශේෂ ආයාසය වී ඇත්තේ අවසානවරට මෑතකදී මහාචාර්ය රොබින් කෝහිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් ලුම්බිණියේ මායාදේවි විහාර භූමියේ කරන ලද පුරාවිද්‍යා කැණීම් පිළිබඳ විමර්ශනයක යෙදීමයි. එමෙන්ම නේපාලයේ හා පුරාණ දඹදිව පිහිටි බොදු පුදබිම් ගැන නන්වැදෑරුම් තොරතුරු සිංහල පාඨකයා වෙත ඉදිරිපත් කිරීමද අතිශයින් වැදගත් වන බවද මහාචාර්යවරයා සඳහන් කර ඇත.


බෞද්ධ සාහිත්‍යය

කර්තෘ - පූජ්‍ය බද්දේගම විමලවංස නායක ස්ථවිර
ප්‍රකාශනය – මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල – රු.350.00

විනය සූත්‍ර අභිධර්ම යන ත්‍රිපිටකය සම්බන්ධව හා ඊට සම්බන්ධ වන ටීකා අටුවා ආදී ග්‍රන්ථ පිළිබඳවත් වැදගත් කරුණු රැසක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. පෘතුල පරාසයක් කරා විහිදී යන බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත්, පාලි භාෂාව පිළිබඳවත් මෙහි ඇති විස්තරය ප්‍රාචීන, මධ්‍යම හා අවසාන පරීක්‍ෂණය සඳහා ඉගෙන ගන්නා සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාලවල පාලි විෂය ඉගෙන ගන්නා සිසුන්ට ද ප්‍රයෝජනවත් වන ලෙස සැකසී ඇති බව කතුහිමියන් සඳහන් කර තිබේ.

බුද්ධ කාලීන සමාජ තොරතුරු ද එකල ජන කතා පිළිබඳව ද විග්‍රහයක් මෙහි සඳහන් කර තිබෙනු දක්නට ඇත. පොත ආරම්භයේම එකල මාටින් වික්‍රමසිංහ මහතාගේ ‘බුදුසමය හා සමාජ දර්ශනය’ නමැති පොතෙන් මෙහි කතුහිමියන් ඉලක්කකර ලියා ඇති ලිපියට පිළිතුරක් ද මෙහි සඳහන් වේ. එයින් බුදු දහමත් සමාජ දර්ශනයත් පිළිබඳව අදහස් රැසක් මතු කර ඇති බව පෙනේ. බෞද්ධ සාහිත්‍යයෙන් ඉදිරිපත් කෙරෙන සෞඛ්‍ය විධි, පාලන ක්‍රම, සමාජ සැකැස්ම, බුදුන්වහන්සේගේ දේශනාව බ්‍රහ්මණ ධර්ම, ජෛන මත, පාලි, අට්ඨකතා, ප්‍රකරණ ග්‍රන්ථ, පාලි භාෂාව හා ප්‍රකෘතය, ජනකතා ආදී කරුණු රැසක් මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. ඉගෙන ගන්නා අයට පමණක් නොව බෞද්ධ සාහිත්‍ය පිළිබඳව සැලකිල්ලක් දක්වන අයට ද කියවීමට සුදුසු පොතකි. බෞද්ධ සාහිත්‍ය තුළින් ඓතිහාසික, සමාජීය, ආගමික ආදී වශයෙන් බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි බැවින් වර්තමාන බටහිර විද්වතුන් ද ඒ පිළිබඳව අධ්‍යයනය කර පොත් පත් ලියා තිබේ. මේ නිසා බෞද්ධ සාහිත්‍යය වැදගත් විෂයක් වන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]