UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සොවින් නොතැවීමට නම්...

සොවින් නොතැවීමට නම්...

දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කොට වදාළ සේක. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව හුලෙකි. මෙහි ගම්භීරත්වය කෙබඳු වන්නේ දැයි ඔබට වැටහේද?

සිතෙහි ස්වභාවය අරමුණු ගිල ගැනීමයි. තෘෂ්ණාවට දාස වීමයි. එය ද්වරායන්ගේ ක්‍රම වේදයට පැහැදිලි කළොත් සය ආකාරයි. රූප, තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ආදී නම් වේ.

පුහුදුන් සිතේ ක්‍රියාකාරිත්වය නිරන්තරයෙන්ම පවතින්නේ නැති දෙයක් ඇතැයි ආශ්වාදයෙන් යුතුව විශ්වාස කිරීමයි. එහි දෘෂ්ටියට වැටීමයි. මේ තුළින් සිතේ හටගනු ලබන්නේ සක්කාය දෘෂ්ටි නිර්මාණ වීමයි. මෙයට පංචඋපාදානස්කන්ධය ලෙස හැදින්වීම නිවැරදි වන්නේ ය. මෙම බැඳිම්වල බියකරුභාවය පුහුදුන් සත්ත්වයාට අවබෝධ නොවන්නේ ය. ඒතාක් සතර අපාදි දුගතියට යැවෙන වාර ගණන ගණනින් විස්තර කළ නොහැකිය. එම නිසයි තණ්හාවට දාසවෙමින් කර්ම රැස් කරන සිත යෝනිසෝමනසිකාරයෙන් යුතුව සංරක්‍ෂණය කරගැනීම උත්සාහවන්තවීම ඉතා වැදගත් කොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. තණ්හාවට නිරතුරු බැඳෙන සිත තුළ හටගන්නේම ශෝකය සහ භය වේ. එහි සැපයක් කෙසේ නම් වන්නේ ද?

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං”

අධික ආශාව (ලෝභකම) හේතු කොටගෙන සෝකයම ඇතිවේ. එයින් සිතේ බිය හට ගනී. නැසෙන බිඳෙන යමක් කෙරෙහි හෝ යම් පුද්ගලයෙක් කෙරෙහි ආශාව දුර කළ තැනැත්තාට සෝක වීමෙක් නැත. බියක් නැත්තේමය.

රතියා ජායතී සෝකෝ
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතො භයං”

ඇල්ම නිසා (කම් සැපයෙහි ගිජුවීම) ශෝකවීම හටගනී. එම වස්තු අන් සතු වෙයිද? තමා වසඟයෙන් පවත්වාගැනීමට නොහැකි වෙයිද? ස්ථිර නොවෙයිද? එයින් බිය හට ගනී. යමෙක් ඇලීමෙන් තම සිත මුදවා ගනීද, ඔහුට ශෝකවීයි බියක් නොවන්නේ මය.

ඇල්මෙහි ඇතිවෙන සෝ තැවුල් සහ බිය පහත සඳහන් කරුණු කාරණා තුළින් තේරුම් ගනිමු. දිනක් විසාලා මහනුවර ලිච්ඡවි රජදරුවන් උත්සවයක් සඳහා විසිතුරු ආභරණින් සැරසී උයන් කෙළි සඳහා පිටත්ව යති. ඒ වේලෙහි බුදුන්වහන්සේද තම භික්ෂු සංඝයා සමඟ ඇතුළු නුවරට වඩින සේක. සැරසී යන ලිච්ඡවි රජදරුවන් දැක, මහණෙනි, තව්තිසා වැසි දෙවියන් දැන නැත්නම් මේ ලිච්ඡවි දරුවන් දැක බලා ගන්නැ’යි වදාළහ. උයන් කෙළියට යන ඔවුහු මනහර ලෙස හැඳ පැලඳ යන රුවින් පියකරු සිත් වඩන (කාමයෙන් යුතු) වෙසඟනක් කැටිව ගියහ. සියල්ලෝම ඒ වෙසඟන කෙරෙහි ලොල් වූවාය. කාම රතියෙන් මුසපත් විය. එකිනෙකා තමා වසඟයෙහි ඇය අත්පත් කරගැනීමට ඇන කොටා ගන්නට වූහ. බලවත් වූ කෝපය වර්ධනය විය. දරුණු විය. කලහය තුළින් සිරුරු තුවාල විය. ලේ ගලන්නට විය. අත් පා සිඳගැනීම්වලට ලක්විය. සැරසීගත් වස්ත්‍ර ලේ වලින් තෙත් විය. සිත් සතන් කෙලෙස් වලින් තෙත් විය. වේදනාවෙන් පීඩා විඳින රජදරුවන්ට පිළියම් පිණිස ජනයා ඔවුන් නුවරට ඔසවාගෙන යන්නට විය. සිත උමතු කරවා ජීවිත විනාශයට පමුණුවන්නේය.

මේ මොහොතේ ඇතුළු නුවර සිට නැවැත භික්‍ෂූන්වහන්සේලා සමඟ ලොව්තුරා බුදුන් වහන්සේ මඟ වඩින සේක. රූපවත් වෙසඟන කෙරෙහි ලොල් වූ රජදරුවන් තමා වසඟයට පත්කර ගැනීමට එකිනෙකා ඇනකොටගෙන සෝක වේදනා සහිත ලේ සැලෙන තුවාල ඇතිව බියට පත්වූ ආකාරය සැළකළහ. ඇලීමෙහි ආදීනවයන් දැක කෙලෙස් මරු වසඟයෙන් මිදුණු රහත් උතුමන්ට සෝකවීමක් බියක් නැතැයි වදාළ සේක.

උපතත් සමඟ වයසින් වැඩෙන ළදරුවාගේ පටන් මරණය තෙක් සත් කැල තණ්හාව දාස වී සීමාවන් ඉක්මවා සිත දුර්වර්ණ කරගෙන (පංච නීවරණයන්ගෙන්) දූෂිත භාවයට පමුණුවාගෙන කටයුතු කිරීමෙන් අතිමහත් දුක්වේදනාවක් විඳ සැපයෙන් පහ වූ දුක්ඛිත සතර අපායට වැටී දීර්ඝ කාලීනව සෝතැවුල් විඳින්නේය. එතරම් වත්ථුකාම,ක්ලේස කාමයන්ට ගොදුරු මත්භාවයට පත්වීම දොලොව තැවීමට හේතුª වන්නේය. කාමයන් කෙරෙහි දිවයන සිතෙහි සෝක බිය වැඩිවීමක් මිස අඩුවීමක් නොවන්නේය. කොපමණ භෞතික වශයෙන් දියුණුවක් වුවත්, ඒ හැම වෙනස්වන බව, විපරිණාමයට පත්වෙන බව නුවණින් විමසා ආධ්‍යාත්මික සහනය ඔබ තුළින් නිර්මාණය කරගැනීමට අපොහොසත් වුවහොත්, සංස්කාරයන්ගේ යථාස්වභාවය අවබෝධ නොකර ගැනීමෙන්, ඔබටත් සෝක තැවුල් බොහෝ කොට ඇතිවන්නේය. එයින් සිත ගිලන් වන්නේය. එමනිසා අධික තෘෂ්ණාවටම පත්වීම මානසික රෝග වැඩීමට හේතු සාධක වන්නේ ය. ආර්යභාවයෙන් දුරස්ථ වූ සත්කැල රෝගීන්ම වන්නේ ය. එසේ වන්නේ තෘෂ්ණාවට දාස වීම රෝගයක් මවන නිසාවෙනි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වවහන්සේලා අමතා මෙසේ දේශනා කොට වදාළ සේක. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව හුලෙකි. මෙහි ගම්භීරත්වය කෙබඳු වන්නේ දැයි ඔබට වැටහේද? මහණෙනි, තථාගතයන් වහන්සේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති විහරණය කෙරෙයි (වාසය කරයි). ඉදින්, මහණ ඔබ සැමද තෘෂ්ණා රහිතව, හුල් රහිතව වාසය කිරීමට කැමැති වන්නේ නම් මෙම සිත කෙසේ හික්මවා ගත යුතු වේද? මහණෙනි, ඇස ආත්මය යි නොගත යුතු වන්නේය.

ඇසෙහි ආත්මය ඇතැයි නොගත යුතු ය.
ඇසෙන් බැහැර ආත්මය ඇතැයි නොගත යුතු ය.
ඇස මාගේ් යැයි නොගත යුතු වන්නේ ය.

සෙනෙහස , ආදරය, ආලය, සෝකවීමට, බියට හේතු වන්නේ කෙසේද? ඔබේ සිත හා සංසන්දය කර බලා දවසේ කටයුතු පහසු විහරණයෙන් (තණ්හාවට දාසනොවීමෙන්) කරගැනීමටත් සැනසීමටත් පහත සඳහන් කරුණු කාරණා උපයෝගීවනු ඇත. සැවැත්නුවර ඉසුරුමත් කුලයක අනිත්ථිගන්ධ නම් කුමරෙක් වාසය කරන්නේ ය. සිප් සතරෙහි මනා දැනුම් ඇත්තෙකි. සැමට කීකරුව ගුණනුවණින් සංවරව කටයුතු කරයි. අකුසල් (පවට) කිරීමෙන් වැළකී දැහැමි ජීවත් වෙයි. ස්ත්‍රීහු දැකීමට පවා මැලිකමක් දක්වයි. කාන්තාවන්ගේ ඇසුරට බොහෝ සෙයින් අකමැති ව ජීවත් වෙයි. දිනක් තම මාපියන් තම දරුවාට මෙසේ යෝජනාවක් ගෙන එයි.

මවුපියෝ : දරුව! කුමරියක් සරණපාවා ගන්න.

කුමරු : මට වුවමනා නැත. මම කරදරවලට භාජනය වීමට අකැමැත්තෙමි.

මවුපියෝ : පුත එසේ නොකියන්න. අප කියන්නේ යහපතක්ම සඳහාමය.

කුමරු - මට අවශ්‍ය නැත. කරදර පීඩා විඳින්න මා කැමැති නැත.

මවුපියෝ - දරුව! සරණ බැඳුමක් නොවුවොත් අප කුලය ඉදිරියට නොපවති. ධනයද අන්සතු වෙයි. අප රැකගෙන ධනයද ආරක්ෂා කරගෙන බිරිඳ සමඟ ජීවත්වන්න.

කුමරු : නිහඬ විය.

මවුපියෝ : ඔබට රන්රුවන් වැනි කුමරියක් සරණ කොට දෙන්නෙමු’යි තම වසඟයට හරවා ගනු ලැබුයේ වෙයි.

දඹදිව සිසාරා පිරික්සා බලා මදුරට සාගල නුවර රන්රුවන් වැනි කුමරියක් සොයා ගන්නා ලදි. ඒ කුමරියගේ රූ සපුව අසා ස්ත්‍රීහු දක්නට පවා අකැමැති වූ කුමරු මහත් වූ ඇල්මක් කුමරිය කෙරෙහි ඇතිකර ගත්තේය. සරණ මංගල උත්සවය සඳහා සැරසි එන අතරමඟ කුමරිය මරු වසඟයට පත් වූවා ය. ඒ පුවත ඇසූ මොහොතේ කාමරාගයෙන් යුතු කුමරු සොවින් තැවුනේය. දහනයට පත්විය. බියට පත්විය. සෙනෙහස, ආදරය, තෘෂ්ණාව ආදී ක්ලේශයන් රෝගයක් බව දැන් ඔබට මනා ලෙස අවබෝධ කරගැනීමට මෙයින් හැකියාව සැලසෙනු ඇත. සසර විදර්ශනා ඥානය (පස් කඳෙහි) වාගෙන ආ පින්වත් කුමරෙක් බව ලොව්තුරා බුදුන්වහන්සේ දැනගත් බැවින් නිවසට වැඩ දහම් දේශනා කළ සේක. කාමයෙහි ආදීනවය දක්වා එයින් මිදුනු තැනැත්තාට ශෝකවීමෙන් බියක් නැතැයි පහත සඳහන් ගාථාවෙන් අනුශාසනා කරන විට කුමරු සෝවාන් ඵලයට පත්විය.

කාමතො ජායති සොකො
කාමතො ජායතී භයං
කාමතො විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං

කාමයන් ඇරැඹ සොවිම තැවීම උපදී. කාමයෙන් මිදුනු තැනැත්තාට සොවිමත් බියක්නැත.” මෙලෙස ඉන්ද්‍රිය අරමුණු නිමිති වශයෙන් නොගෙන සාරය මෙනෙහිකොට සංසාර රෝගයෙන් මිදීමට උත්සාහවන්න. එවිට තෘෂ්ණාව නමැති රෝගය, හුල ගණ්ඩය කෙලෙස් ප්‍රහීණවීමෙන් ශාන්තිය අත්පත් කර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]