UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසළොස්වක 2014 අප්‍රේල් 14 වන දා

තෙරුවන් සරණින් සුබාසිරි

සෑම නිවසක් පාසාම රටපුරා අවුරුදු සිරියෙන් බබළන අවස්ථාවේ බක් මහේ පුරපසළොස්වක පෝදා සෑම බෞද්ධයෙක්ම බෞද්ධ ආගමික වතාවත්වල නිරත වන සුවිශේෂී දිනයකි.

අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. දොළොස් මහෙන් දොළොස් මහකට පා තබන දා වන විට කෙත් වතු සරු සාර වී ගෙදර දොර අටු කොටු පුරවා තරමක කායික මානසික විවේකයෙන්ද ගත කරන සමයක් විය. ආර්ථික ශක්තියෙන් ද සවිමත්ව පාරම්පරික සිරිත් විරිත් ද නොඅඩුව සපුරන්නට විය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හැම සිත් සතුටෙන් සෞභාග්‍යයෙන් ප්‍රබෝධමත් වන සමයකි.

නිවසක ලොකු කුඩා සියලු දෙනා මෙන්ම ගමක, ප්‍රදේශයක පමණක් නොව රටවැසියන් සියලුදෙනාම පාහේ එක් දිනක එක් මොහොතක සියලු කටයුතු සුබ මොහොතෙන් ආරම්භ කිරීම සුවිශේෂී කරුණක් වෙයි.

කවර ප්‍රදේශයක ජීවත්වුවද සුජීවත්ව සිටින දූ දරුවන් සිය මව්පිය දෙපල වෙත ගොස් බුලත් අතක් පිළිගන්වා හිස බිම තබා වන්දනා කරයි. ඇඳුම්, පැලඳුම්, ආහාර පානාදිය පිළිගන්වයි. එසේ සිදු කරන විට ස්වකීය දෙමාපියන් විසින් හදවතින්ම තම දරුවන් වෙත ආශිර්වාද කරයි.

මව්පිය වැඩිහිටි ආශිර්වාදය දරුවන්ගේ දියුණුවට නිරන්තරයෙන් බල පැවැත්වෙයි. එබැවින් සිය දෙමාපියන් හැම විට සතුටෙන් ජීවත්වීමට සැලැස්වීම දරුවන් සතු ප්‍රධාන වගකීමක් ලෙස සැලකිය යුතු ය.

යුතුකම් නිසි පරිදි ඉටු නොකරන දරුවන්ට මව්පිය දෙපලගේ ආශිර්වාදය හදවතින්ම ළඟ කර ගත හැකි නොවේ.

වසරකට වරක් උදාවන සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අපට උරුමව ඇති අපගේ උදාර සංස්කෘතිකාංග ආරක්‍ෂා කරමින් එය පෝෂණය කළ හැකිවීමද අපගේම සතුටට හේතුවක් වනු ඇත.

දෙමාපියන් වෙත යුතුකම් ඉටුකිරීම වසරකට වරක් පමණක් සිදු කිරීම අනුමත කළ හැකි නොවේ. බෞද්ධ ජන සමාජය යුතුකම් හා වගකීම් ඉටු කිරීමට කවදත් සැදී පැහැදී සිටිති. වසරේ අනෙකුත් දිනවලදී මෙන්ම වෙසෙසින්ම අලුත් අවුරුදු දා මාපිය දෙපළ වෙත ගොස් ඔවුන් සමඟ එදින සුහදව විසීමත් දරුවන්ගේ යුතුකමක් ලෙස කල්පනා කළ යුතු ය. වැඩිහිටියන් නෑදෑයන් වෙතද ගොස් සතුටු සාමීචියේ ද යෙදෙමින් ඔවුන්ගේ ද සිත් සනහමින්, ඤාතීත්වය අගයමින් යුතුකම් ඉටුකිරීම වගකීමය.

අලුත් අවුරුදු දා උදාවන පුණ්‍ය කාලයේ දී ගමේ පන්සලට ගොස් වන්දනා කටයුතු කරමින් ස්වාමීන් වහන්සේ ද බැහැදකිමින් උන්වහන්සේගේ ආශීර්වාදය ද නිරතුරුවම හිමිකර ගත යුතු වේ. පවුලේ ලොකු කුඩා සියලු දෙනා ඒකරාශී වී එසේ තෙරුවන් නැමදීමෙන් පහන් සිතෙන් අලුත් අවුරුද්දේ ස්වකීය කටයුතු ඇරැඹීමේ වාසනාව උදාකර ගනී.

බෞද්ධ සංස්කෘතියේ පෝෂණය පතන සියලු දෙනා අපේ උදාර සංස්කෘතිකාංග ආරක්‍ෂා කරන්නේ නම් අපේ මුතුන් මිත්තන් අප වෙත දායාද කළ ඒ උදාර උරුමය අප විසින් මතු පරපුර වෙත දායාද කිරීමට දායක වීමකි.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් දෙවන ලංකා ගමනය ද සිහි කැරෙන බක්පුර පසළොස්වක පෝදා හැකිතාක් යුතුකම් හා වගකීම් ඉටු කරමින් ජීවන ගමන සාර්ථක කරගැනීමට අදිටනක් ද තබා ගත යුතුය.

උසස් මනසකින් හෙබි මනුෂ්‍යයා ජීවිත අරුත වටහා ගැනීම නිසාම ජීවිත කාලය පුරාම සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට අමතක නොකරති. යහපත් සමාජයක චිර පැවැත්ම උදෙසා යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුම වේ. අන්‍යෝන්‍ය වශයෙන් සාමුහිකව සිය යුතුකම ඉටුකරන විට ඔවුනොවුන් අතර පවතින සමගිය සුහදත්වය වර්ධනය වෙයි. ගෙවී ගිය පරණ අවුරුද්දේ අතපසුවීමකින් හෝ යම් අඩුපාඩුවක් සිදු වූයේ නම් එය නිවැරැදි කර ගැනීමටත් අලුත් අවුරුද්දේ එබඳු අඩුපාඩු මඟ හරවා ගෙන යහපත් අධිෂ්ඨානයන් ඇතිකරගෙන ජීවිතය වාසනාවන්ත කර ගැනීමට මඟ සලසා ගත යුතු ය. තෙරුවන් සරණින් වාසනාවන්ත අලුත් අවුරුද්දකට සුබාසිරි පතමු.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]