UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු

ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු

ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය,ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තිය’ යි යන කරුණු හතරයි

‘චත්තාරො මෙ ගහපති, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කත මෙ චත්තා රො භොගා මෙ උප්පජ්ජන්තු, භොගෙ ලද්ධා සහධම්මෙන යසො මං අබ්ගුග්ගච්ඡතු, සහ ඤාතිහි, සහ උපප්ක්‍ඛායෙහි, භොගේ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපප්ඣයෙහි චිරං ජිවාම් දීඝම ද්ධානුං පාලෙමි, භොගෙ ලද්ධා, සහධම්මෙන යසං ලද්ධා, සහඤාතිහි, සහ උපප්ක්‍ඛයෙහි චීරං ජීවිත්වා දීඝද්ධායුං පාලෙත්වා කායස්සභෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජාමි.’

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩසිටි දිනක උන්වහන්සේ දකින්න ගිය අනේපිඬු සිටුතුමාට මේ සූත්‍රය දේශනා කළේ, උන්වහන්සේ සිටුතුමාට වදාරනව, මේ ලෝකයෙහි සිතට පි‍්‍රය උපදවන, කැමැති වන සිත් අලවන, ලැබීමට දුෂ්කර කරුණු හතරක් තියෙනවා. ඒවා නම්, මට භෝග සම්පත් ධාර්මිකව උපදීවා, ධාර්මිකව හරි හම්බ කරගත් භෝග සම්පත් ද මාගේ නෑයන් සහ මා හඳුනන මා ආශ්‍රය කරන අය ඇතුළුව පිරිවර සම්පත්ද වැඩිවේවා. ඒ දැහැමින් ලැබූ භෝග සම්පත් සහ ඤාති මිත්‍රයන් සහිත පිරිවර සමඟ චිරාත් කාලයක් ජීවත් වෙමින් එසේම දැහැමින් ලැබූ භෝග සම්පත් ද ඇතිව, ඤාති මිත්‍රාදී පිරිවර සහිතව, දීර්ඝායුෂ ද ලබා බොහෝ කල් ජීවත් වී මරණින් පසු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදිම්වා යන පැතුම් හතර ඉටුකර ගැනීම ඉතාම දුර්ලභ කරුණුයි. එහෙත් ධාර්මික ගෘහපතියකු මේ ධර්ම හතර ලැබීමට බලාපොරොත්තුවන බව වදාළ බුදුරජාණන් වහන්සේ එය ඉතාම දුෂ්කර බව පෙන්නා දෙමින් මෙසේ ද වදාළ. ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තියයි යන කරුණු හතරයි.

අනතුරුව කතමා ච ගහපති සද්ධා සම්පදා යනුවෙන් විචාළ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා සම්පත්තිය විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතිය, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතයි. තථාගතයන් වහන්සේ කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සිවුපස ලැබීමට සුදුසු හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද නික්ලේශී හෙයින්ද අර්හත්වන සේක. උන්වහන්සේ අභිඤ්ඤෙය්‍යවූ හෙවත් දතයුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් තමාවිසින්ම අවබෝධ කළසේක. පරිඤ්ඤෙය වූ දුක්ඛ සත්‍යය හාත්පසින්ම අවබෝධ කළ සේක. තෘෂ්ණාව නමැති සමුදය (සත්‍යය) ප්‍රහාණ කළසේක. නිරෝධ සත්‍යය හෙවත් නිර්වාණ සත්‍යය අවබෝධ කළසේක. භාවිත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූසේක. එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධවන සේක. උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති, දිව්‍යචක්‍ෂු, ආශ්‍රවක්‍ෂ, විදර්ශනා, මනෝමය, සෘද්ධි, ඉද්ධවිධ, දිබ්බසෝත, චුතපපාත යන අෂ්ට විද්‍යාඥාන හා සීල, ඉන්ද්‍රිය, භොජනමාත්‍රඥතා, ජාගරියානුයොග, ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බාහුසච්ච, වීරිය, සති, ප්‍රඥා රූපාවචර ධ්‍යාන 4, යන චරණ ධර්ම වලින් යුක්ත වන සේක. උන්වහන්සේ නිවන් මඟට ගිය බැවින්ද නිර්වාණය නමැති සුන්දර ස්ථානයට ගිය බැවින්ද ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ කළ ක්ලේශයන් නැවත නූපදින බැවින් ද ශාස්වත උච්ඡේද වශයෙන් හා කාමසුඛල්ලික, අත්තකිලමථානු යන අන්තයන්ට නොගිය හෙයින් ද අර්ථවත් සත්‍ය වූ පි‍්‍රය මනාප වචන කතාකරන බැවින්ද අසත්‍ය අපි‍්‍රය අමනාප හිස් වචන කතා නොකරන බැවින් ද තථාගත (යහපත් ගමන් ගිය හා යහපත් වචන කතාකරන බැවින්ද) වන සේක. උන්වහන්සේ පඤ්චස්කන්ධය නමැති ලෝකය මනාව අවබෝධ කරගත්සේක. එනම් බඹයක් පමණ මේ (සිත සහිත) පඤ්චස්කන්ධය පිළිබඳවත් එහි හටගැනීමත් එහි නිරුද්ධිය පිළිබඳවත් එය නිරුද්ධ කිරීමට අනුගමනය කළයුතු ප්‍රතිපදාව පිළිබඳවත් උන්වහන්සේ අවබෝධ කරන ලද හෙයින් ලෝකවිදූ වූ සේක. උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම, නාග, හත්ථි, යක්‍ෂ, මනුෂ්‍ය ආදී සත්වයන් ශීලයෙහි පිහිටුවා දමනය කළ හෙයින් ද ධ්‍යාන, මාර්ගලාභීන් ඉහළ ඉහළ ධ්‍යාන මාර්ග ඵලාදියෙහි ද පිහිටුවමින් දමනය කළ බැවින් ද නොදැමුණු අය දමනය කරන්නන් අතර ශ්‍රේෂ්ඨ දමිතයාණන් වූ බැවින් පුරිස දම්ම සාරථී වූ සේක. උන්වහන්සේ පුද්ගලයාට මෙලොවින් වන අර්ථය, පරලොවින් අර්ථය හා නිවන් දැකීමෙන් වන අර්ථය යන ත්‍රිවිධ අර්ථය සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ වනසේක. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින්ම අවබෝධ කළ බැවින් (බෝධිමූලයේදීම සර්වඥතාඥානය ලැබීමත් සමඟ ලැබුණ නිසා) බුද්ධ නම් වූ සේක. උන්වහන්සේ රාග ද්වේශ මොහාදී ක්ලේශයන් බිඳ දැමූ හෙයින්ද සියලු ආශ්‍රවයන් නැති කළ හෙයින් ද, ගරු කළයුතු ශ්‍රේෂ්ඨ, උත්තම පුද්ගලයෙක් වීම නිසා ද භාග්‍යවත් වූ හෙයින් ද භගවා නම් වනසේක.මෙසේ බුදුරදුන්ගේ නව අරහාදී ගුණ දැනගෙන උන්වහන්සේ තුළ මේ ගුණ තිබෙන නිසාම උන්වහන්සේ අන්වර්ථ වශයෙන් ම මේ ගුණවලින් සමන්විතයයි නිසැකව පිළිගැනීමෙන් උන්වහන්සේ පිළිබඳව ඇති වූ විශ්වාසය ශ්‍රද්ධා සම්පත්තියයි. ගෘහපතිය, මේ ගෘහපතියකු තුළ පිහිටිය යුතු පළමු වන ප්‍රතිලාභය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන් සේක.

“කතමා ච ගහපති සීල සම්පදා?” යනුවෙන් ගෘහපතිය සීලසම්පත්තිය යනු කුමක්ද? කියා ප්‍රශ්න කොට බුදුරජාණන් වහන්සේ ම වදාරනවා ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවක වූ (උතුම් ගුණ ඇත්තා හෙවත් බෞද්ධයා යන අදහසයි මෙහි ගතයුත්තේ. නියම ආර්යයෝ නම් බුදු පසේ බුදු මහරහත් හා සෝවාන් ආදී මාර්ගඵලස්ථ උතුමෝයි.) බෞද්ධයා හෙවත් ආර්යශ්‍රාවකයා පරපණ නැසීම, නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, මුසාවා ද නොබිණීම, කේලාම් නොකීම, පරුෂ බස් නොබිණීම, හිස් බස් නො බිණීම සහ සුරා මේරයා දී මද්‍ය පානය හා පවට හේතුවන දුසිරිත්වලින් වැළකීම ශීල සම්පත්තියයි. එම කායික වාචසික අකුශල් වලින් බෞද්ධයා වැළකුනේ නම් හේ ශීල ගුණයෙන් යුක්ත වූවෙක් වේ.

“කතමා ච ගහපති චාග සම්පදා?” ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය හෙවත් පරිත්‍යාග ගුණය නම් කිමෙක්ද?. ගෘහපතිය, මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයා මසුරුකම සිතේ යටපත් කරගෙන වස්තුව පිළිබඳ ආශාවක් නැතිව, දීම සඳහාම සෝදාගත් දෑත් ඇතිව, අත්හැරීමෙහි ඇලුම් ඇතිව, යමක් ඉල්ලීමට සුදුසුව, ඉල්ලනදැයම දීමට නිසිව සිටියේ වේද එය ත්‍යාග සම්පදාවයි.

‘කතමා ච ගහපති පඤ්ඤා සම්පදා?’ ගෘහපතිය, ප්‍රඥා සම්ප දාව නම් කුමක්ද? ගෘහපතිය, අභිධ්‍යාව නමැති (අනුන්ගේ වස්තුව තමාට අත්කර ගැනීමට සිතීම) විෂම ලෝභයෙන් මැඩුණු සිත් ඇති පුද්ගලයා නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. නොකළයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසින් (පිරිවර සම්පත්තියෙන්) හා සැපයෙන් පිරිහෙයි. ගෘහපතිය ව්‍යාපාදයෙන් මැඩුණු සිත් ඇත්තා නොකටයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. කටයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි. ගෘහපතිය, ථීන මිද්ධ දෙකින් මැඩුණු පුද්ගලයා (චිත්ත චෛතසික බල අකර්මණ්‍ය බව) ද උද්ධච්ච කුක්කුච්චයෙන් (සිතේ නොසන්සුන් කමින් හා පසුතැවිල්ලෙන්) යුක්ත පුද්ගලයා ද, විචිකිච්ඡාවෙන් (බුද්ධාදි අට තැන සැකකරන) යුක්ත පුද්ගලයා ද යන මොවුහු නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. එසේ නොකළ යුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි.

ගෘහපතිය, ඒ ආර්යශ්‍රාවකයා අභිධ්‍යාව නමැති විෂම ලෝභය සිතකිළිටිකරන්නක් බව ද ව්‍යාපාදය නමැති ක්‍රෝධය සිත කිළිටිකරන්නක් බවද, ථීන මිද්ධය නමැති සිතෙත් චෛතසිකව ලත් ගිලන් බව සිත කිළිටි කරන්නක් බව ද උද්ධච්ච කුක්කුච්චය හෙවත් සිතේ නොසන්සුන්කම හා කුකුස සිත කිළිටි කරන්නක් බවද විචිකිච්ඡාව නමැති සැකය සිත කිළිටි කරන්නක් බව ද දැන ඒවා ප්‍රහීණ කරයි. ගෘහපතිය, මෙසේ මේ පඤ්ච නීවරණ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහාප්‍රඥාවෙයි. පෘථුල ප්‍රඥාවෙයි. එකිනෙකෙහි අර්ථය දනියි. එහි තිබෙන ඉතා සියුම් අර්ථය පවා දකියි. ප්‍රඥා සම්පන්න වෙයි. ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදාවයි. ගෘහපතිය, ආර්ය ශ්‍රාවක ගෘහපතියා ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ කරුණු හතර ලබා ගැනීමට බලාපොරොත්තුවේද ඒවා ලබාගැනීමට තවද දහම් කරුණු හතරක් පිළිපැදිය යුතු යයි වදාළ බුදුරජාණන් වහන්සේ ඒවා මෙසේ වදාළහ. ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් යුතුව දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවා දශකුශල ධර්ම මාර්ගයට පටහැනි නොවී රැස් කරන ලද භෝග කරුණු හතරක් සඳහා පරිභෝග කළයුතුයි. ඒ හතර කවරේද?

ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, දෑතේ ශක්තියෙන්, දහදිය වගුරුවමින් අධර්මයෙන් තොරව ධාර්මිකව උපයන භෝගවලින් තමා සැප විඳියි. ශක්තිමත් වෙයි. මනාව සැප විඳියි. මා පියන්, අඹු දරුවන් දාස කම්කරුවන් මිතුරන්, යහළුවන්, සැපවත් කෙරෙයි. බලවත් කෙරෙයි. මනාව සැපවත් කරයි. මෙය ඔහු ලත් භෝගවලින් ගත යුතු එක් ප්‍රයෝජනයකි. (දියයුතු තැනට) ගියේ වෙයි. එම භෝග යායුතු තැනට තම භෝග හේතු සහිතව පරිභෝග කළේ වෙයි.

ඉතිරි කොටස අප්‍රේල් 22 වන දා පත්‍රයේ පළ වේ

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]