UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති අපවත්වී වදාළ කළුතර ධම්මානන්ද නා හිමිපාණෝ

බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති අපවත්වී වදාළ කළුතර ධම්මානන්ද නා හිමිපාණෝ

ක්‍රි.පූ. 2 – 3 සියවසට නෑකම් කියනා උත්තිය මහ රජ දවස ආරම්භ කරන ලද ශ්‍රී සර්වඥධාතු හා දෑගසව් ධාතුන් වහන්සේලා වැඩසිටින එකම පුණ්‍ය භූමිය බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වේ. මහා රහතන් වහන්සේලා සිය දහස් ගණනින් වැඩ සිටිය ශත වර්ෂ 18ක් පමණ භාවනායෝගීන්ගේ සිත් ඇලවූ මෙම පෞරාණික පුණ්‍යභූමිය පරසතුරු ආක්‍රමණ නිසා විනාශ විය.

ඉංගී‍්‍රසීන්ගෙන් රට නිදහස් කරගෙන නිදහස් ලංකාවේ පළමු බහුකාර්ය යෝජනා ක්‍රමය වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ මිටියාවත සංවර්ධනය වන සමයෙහි එනම් 1964 දී කළුතර ධම්මානන්ද නාහිමිපාණෝ බටයායේ අරියවංශ නාහිමි සමඟ මෙම පුදබිම සොයා පැමිණියහ. අලි කොටි වග වලසුන්ගෙන් ගහන දිය පොදක් නොමැති බිමක, දැව පාලුවන්ගේ හා නිධන් රකුසන්ගේ ක්ෂේම භූමියක් වූ පුණ්‍යභූමියෙහි දණක් පමණ වූ වවුල් පහර ඇද ගල් කුටියක් පිළිසකර කරගෙන සැතැපුම් 5ක්, 6ක් පිඬුසිඟා වැඩ ඉතා අසීරුවෙන් වන අරණ ගොඩන¼ගන්නට වූහ.

1927.12.27 දින බස්නාහිර පළාතේ කළුතරදී මෙලොව එළිය දුටු කළුතර ධම්මානන්ද හිමිපාණෝ 1964 මැයි මස මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමිපාණන් වහන්සේගේ හා කදිරාගම සුමනසාර නා හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් පැවිදි වූ අතර එම වසරේම මැයි මස දිනෙක ගාල්ලේ ගිං ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සුපරි ශුද්ධෝප සම්පදාව ලැබූහ.

පුරා වසර 60ක පැවිදි ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ආරක්‍ෂාව හා සංවර්ධනය වෙනුවෙන් ය. 1965 දී අංක 26 රුහුණුගම ප්‍රධාන අවට නගර හා ජනපදිකයන් සම්බන්ධ කරගෙන බුද්ධංගල ආරණ්‍ය සාධක සමිතිය ආරම්භ කළ කළුතර ධම්මානන්ද නාහිමියෝ පළමු වස් පින්කම සිදුකොට එම වසර මැදදීම බුද්ධංගල සිට අම්පාරට හා රුහුණු ගමට පාර සැකසීමට පුරෝගාමී විය.

එවකට අග්‍රාමාත්‍යව සිටිය ඩඩ්ලි සේනානායක මැතිතුමාට අත්සන් 5000ක් සහිත ලේඛනයක් ලබාදී එතුමාගේ ද අනුග්‍රහය ලබාගෙන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීම ආරම්භ කරන ලදී. ප්‍රධාන පොකුණ සෑදීම, බුද්ධංගල වටා බෞද්ධ ජනාවාස ඇරඹීම, ආරණ්‍යයට ඉඩම වෙන් කරවා ගැනීම, එම්.එස්. 05 ඇළ සකසාගෙන බුද්ධංගල ගමට, ගොවිතැනට ජලය ලබා ගැනීම, පාරවල් හා අවට ගම්මාන දියුණු කිරීමට පුරෝගාමීවීම ඉන් කිහිපයකි.

1983 සිට බුද්ධංගල ආරණ්‍යය හා අවට ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය. ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම් නිසාය. වාර්ෂිකව සිදු කළ පොසොන් පින්කම නතර කරන්නට විය. 1983.10.17 දා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කළුතර ධම්මානන්ද නාහිමිට මහ මඟදී වෙඩි කිහිපයක් තැබූහ. එහෙත් උන්වහන්සේගේ ජීවිතය බේරුණි. බුද්ධංගල ජනපදය සාදා සිංහල මිනිසුන් පදිංචි කරවීම හා අභය භූමිය සැකසීම ගැන ත්‍රස්තවාදීන් නා හිමි සමඟ උරණව සිටියහ. 1983 දී භාවනානුයෝගී හිමිනමක් අතුරුදහන් කරනු ලැබූහ. බුද්ධංගලට පැමිණෙන සැදැහැවතුනට ද ප්‍රහාර එල්ල කළහ.

ත්‍රස්තවාදීන්ගේ බාධක මැද වුවත් 2002 දී නැවත එවකට විපක්‍ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොයෙක් පින්කම් ආරම්භ කළහ. 2008 දී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයන් පැමිණ පැවිදි වූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීමෙන් පසුව නැවත බුද්ධංගලට පුනරාලෝකයක් ලැබිණ. සියලු සංවර්ධන කටයුතු ආරම්භ විය. සැදැහැවතුන්ගෙන් ආරණ්‍ය සේනාසනය පිරී ඉතිරී යන්නට විය. 2009 දී දෙමහල් ධර්මශාලාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත විය. ගල් විහාරීය අනුරුව මහින්ද යාපා ඇමැතිතුමා විවෘත කළහ.

2012 දී රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ස්ථාවර ධාතු මන්දිරයක් නාවික හමුදාව මඟින් සකසා පූජා කරන ලදී. 2013.08.25 දින ජනාධිපතිතුමා පැමිණ සෙනසුන ගමට යන පාර කාපට් දමා සකසා විවෘත කළහ.

මේ ආදී වශයෙන් සුවිශාල ජාතික ආගමික, ශාසනික සහ සාමාජික මහ මෙහෙවරක නියැළෙමින් සිටි කළුතර ධම්මානන්ද නා හිමිපාණෝ කෙටි කලක් අසනීපයෙන් පසුව සිට 2014.04.06 දින කොළඹ ජාතික රෝහලේ දී අපවත් වී වදාළ සේක. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම අප්‍රේල් මස 10 වන දා අම්පාර පොදු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]