UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වන බක්මහ උළෙල

බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වන බක්මහ උළෙල

දෙමව්පියන්ගෙන් දූ දරුවන්ට, දූ දරුවන්ගෙන් දෙමව්පියන්ට දීම ලැබීම, ප්‍රධාන කරගත් යුතුකම් උපරිම වශයෙන් ක්‍රියාත්මක කරන්නට අවකාශය, බුද්ධිය, විවේකය ලැබෙන්නේ අලුත් අවුරුදු සමයේ බව ප්‍රත්‍යක්‍ෂවන්නේ ය. එමෙන්ම ගිහි පැවිදි යුතුකම් ඉෂ්ට කිරීම, අවංක මිතුරුහමුව, සුහද ආගන්තුක සත්කාරය යන සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන විට දෙලොව ශාන්තිය උදා වන්නේ ය

සිරිසර වසන්ත සමය උදාවන විට අසිරිමත් පරිසරයට අනුගතවන ජනතාව පොදු ප්‍රවණතාවයකින් ආගමික වශයෙන් සමගි සම්පන්නව ඉමහත් ආශ්වාදයක් ලබමින් සුන්දර ජීවලෝකයකට පියවර තබන්නේ ය. දුරාතීතයේ පටන් ආර්ය ජනතාව නැකැත් උත්සව පැවැත් වූ අයුරු වේද සාහිත්‍යයෙන් මෙන්ම ජාතක කතාවලින් ද ප්‍රකට වේ. කාලය මිනිසාට ඉතාමත් ප්‍රයෝජන බැවිනුත් තමා විසින් නියත වශයෙන් අදිටන් කළ දේ අමතක වන බැවිනුත් කාලය කළමනාකරණය කෙරෙහි ප්‍රධානව අවධානය යොමු කරන්නට සිදුවිය. යළි එම විඤ්ඤානයම තවදුරටත් ගැඹුරු විශ්වයේ කාලය වෙන්කරන ආකාරය සම්බන්ධයෙන් සිතාමතා තත්පරයේ පටන් දින, සති, පක්‍ෂ, මාස, වර්ෂ, ශත වර්ෂ, දසක ආදී නයින් කාලයෙන් ප්‍රයෝජන ගන්නට විය.

සෞරග්‍රහමණ්ඩලයේ ප්‍රධානියා වන ඉරුමඬලේ පැවැත්ම අනුව, සඳ තාරකා පෑයීම, මුදුන්වීම, බැසයාම යන ක්‍රියාවලිය පිළිබඳව මෙනෙහි කරන්නට වූ තාරකා විද්‍යාඥයන් කාලය ශුභාශුභ වශයෙන් වෙන්කොට ගෙන ප්‍රධාන කාර්යයන් සඳහා ශුභකාල වකවානු මුහුර්ති යොදාගැනීමට නක්ෂත්‍රවිද්‍යාව ලොව ප්‍රකාශ කරන ලදී. එහිම විකාශනයක් වශයෙන් බෞද්ධ හා හින්දු ආගම් දෙකේම පූර්ණිමා දිනය, අමාවක් හා අටවක් දිනය ආදී වශයෙන් වෙන්කරගෙන එම දවස්වල පිළිපැදිය යුතු වත්පිළිවෙත් ද සම්මත කරගන්නට විය.

අලුත් අවුරුදු සමයේ චන්ද්‍රවර්ෂය සඳහා බක්මාසය ආරම්භයත් සමඟ නව සඳ බැලීමේ පටන් සියලු සිරිත් විරිත් අවසන්කොට තම තමන්ගේ සේවාස්ථාන වෙත ගොස් අලුත් මුහුණුවරකින් එම කාර්යයන් ආරම්භ කරන තුරු සිදුවන සෑම කාර්යයක්ම ශුභ මොහොතින් පවිත්‍රචේතනාවෙන් සද්භාවයෙන්ම සිදුකළ යුතු වන්නේ ය.

අලුත් අවුරුදු සමයේ අප භාවිතා කරන ජලය, ගින්දර ආහාර පාන වර්ග, ඇඳුම් පැළඳුම් මෙන්ම කතාබහ කරන වදන්වැල, ගමන්කිරීමත් ආදී සියල්ලම ස්වයංක්‍රීයව අලුත් ස්වභාවයක්, උත්සවාකාරයක් ආරෝපණය කරගන්නේ ය. ජලස්නානය, පුණ්‍යකාලය, ලිප් බැඳ ගිනිමෙලවීම, ආහාර ගැනීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම, කෙළි සෙල්ලම් කිරීම, රැකීරක්‍ෂාවන්ට පිටත්වයාම යන සියලු ක්‍රියාවන් කරගෙන යාමට ආගම දහම, නක්‍ෂත්‍රවිද්‍යාව, කෘෂිකර්මය, වාස්තුවිද්‍යාව, ක්‍රීඩා ආදී විෂයන් මෙන්ම භාෂා සාහිත්‍යය, නර්තනය, සංගීතය ආදී කලා විෂයන්ද උපයෝගී වන්නේ ය.

ලාංකික ජනතාවගේ පෞද්ගලික ජීවන රටාව පොදු ප්‍රවණතාවයකින් සමාජගතවීමට උපයෝගීවන අලුත් අවුරුදු උත්සවය ගුණාත්මකභාවයෙන් උපරිම තලයට පැමිණෙන්නේ උතුම් බුදුදහම නිසාමය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලාංකික ජනතාවට බුදුදහම හඳුන්වාදුන් දින පටන් මෙතෙක් එම දහමින් පෙන්වා දෙන සිරිත් විරිත් නිසා ස්වතන්ත්‍ර උදාර හැඟීම්වලින් පෝෂණය වූ වග ඉතිහාසයෙන් පෙන්වා දෙන්නේ ය.

අලුත් අවුරුදු ජලස්නානයේ පටන් පුණ්‍ය කාලය අවසන්වනතුරු වෙහෙර විහාර, ආරාම, බෝධි, චෛත්‍ය ආශ්‍රය නිශ්‍රය කරන බෞද්ධයන් “පූජාච පූජනීයානං” පිදිය යුත්තන් පිදීමේ උතුම් චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්නේ ඉමහත් භක්ත්‍යාදරයෙනි. මහා සංඝරත්නයට දැහැත් දී වැඳ පුදා ක්‍ෂමාකරවා ගැනීම අලුත් වර්ෂයේ ජයග්‍රහණයට ප්‍රථම පියවර තැබීමක් වැන්න. තෙරුවන පුදා දෙවියන් සිහිපත් කොට මහා සංඝරත්නයෙන් ලබන ආශිර්වාදය ඉදිරි කාල පරිච්ඡේදය නීරෝගීභාවයෙන්, සෞභාග්‍යයෙන් සහනශීලීව ගත කරන්නට සමඟියෙන් සමාදානයෙන්, සතුටින් අපේක්‍ෂාවෙන් මුදුන් පමුණුවා ගැනීමට මූලාධාර වන්නේ ය.

අලුත් අවුරුදු කාල පරාශය තුළ ක්‍රියාත්මක වන සෑම ක්‍රියාවක්ම ආගම දහමට නැඹුරුවන්නේ ය. බුද්ධාදී තෙරුවන් අරමුණු කරගෙන අරඹන ක්‍රියාවන්හි අවසානයේ ධනාත්මක ප්‍රතිඵල ලබන්නට වාසනා භාගී වන්නේ ය. මහාමංගල සූත්‍රය, මිත්තානිශංස සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය යන දේශනාවල සඳහන් සිරිත් විරිත්, සාමූහිකව, විවේකීව ක්‍රියාත්මක කෙරෙන්නේ මෙම කාලය තුළ පමණි.

අලුත් අවුරුදු උත්සවය නිසා අපට ඇති ප්‍රයෝජන

1. බුදු දහමේ දක්වන උතුම් සිරිත් විරිත් ආරක්‍ෂා කිරීම.
2. සාමූහික හැඟීම් පෝෂණය වීම.
3. කලට වේලාවට වැඩ කිරීම.
4. අන්තර් ජාතික සමඟිය ඇතිවීම.
5. කෘෂිකර්මාන්තය දියුණුකිරීම.
6. නක්‍ෂත්‍රවිද්‍යාව දියුණු වීම.
7. භාෂා සාහිත්‍යය පෝෂණය වීම.

බුදුදහමේ තරම් උතුම් සිරිත් විරිත් ඇති ආගම දහමක් මෙතෙක් පහළ වී නොමැත. ඒවා සාධනීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම ධනාත්මකව අවසන් කිරීමටත් ගෙදරක සමඟිය හා විවෘත මානසිකත්වය අත්‍යවශ්‍යම වන්නේ ය. එයින් ගමටත්, පළාතටත් මුළු රටටත් වන ශාන්තිය අමාදහරක් වැන්න. දෙවියන් බුදුන් සිහිකර මහා සංඝරත්නය, දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් ඉදිරියේ දැහැත් පිළිගන්වා පසඟපිහිටුවා වැඳ නමස්කාර කිරීමෙන් ආචාර සමාචාර පැවැත්වීමෙන් ලබාගන්නා ආසිරි ආනුභාවයෙන් මතු වසර පමණක් නොව සියක් වසරකට දිගාසිරි වාසනා ලබන්නේ ය.

දෙමව්පියන්ගෙන් දූ දරුවන්ට, දූ දරුවන්ගෙන් දෙමව්පියන්ට දීම ලැබීම, ප්‍රධාන කරගත් යුතුකම් උපරිම වශයෙන් ක්‍රියාත්මක කරන්නට අවකාශය, බුද්ධිය, විවේකය ලැබෙන්නේ අලුත් අවුරුදු සමයේ බව ප්‍රත්‍යක්‍ෂවන්නේ ය. එමෙන්ම ගිහි පැවිදි යුතුකම් ඉෂ්ට කිරීම, අවංක මිතුරුහමුව, සුහද ආගන්තුක සත්කාරය යන සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන විට දෙලොව ශාන්තිය උදා වන්නේ ය.

මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සාදා ගැනීමෙහි ලා හේතුවන සාමූහික හැඟීම් නිතැතින්ම ක්‍රියාත්මක කරන්නට විවෘත මනස ඉදිරියට පැමිණීම නිසා මේ උත්සව සමයේ පරිහරණය කරන සෑම උපකරණයකම සාමූහික බවක් ප්‍රකට වන්නේ ය. සූර්ය මණ්ඩලය ප්‍රධාන අනන්ත ආකාශය වෙත යොමුවන මනස වෙනදාට වඩා ගැඹුරෙන් සිතන්නට, කතාකරන්නට, ක්‍රියාකරන්නට සිදුවන බැවින් ජනතාවගේ පටිසන්ථාර ගුණය පෙරමුණ ගන්නේ ය.

අවුරුදු පත් බෙදාදෙන අය හට එදින
කවුරුත් දෙති සාල් පොල් ලුණු මිරිස් ගෙන
කැවුමුත් අතිරසද මුන්ගෙඩි කන්ට දෙන
කවුරුත් පාහෙ මේ පිළිවෙළ කරති දන
(අවුරුදු මාලය)

තමාට අයත් සෑම දේම ඤාතීන් සමඟ හිත මිතුරන් සමඟ බෙදා හදාගෙන කා බී ඉතා සතුටින් කෙළිසෙල්ලම් කරන, අවංකව ගනුදෙනු කරන උසස් සිරිත් විරිත් නියමිත මොහොතටම සාමූහිකව ඉෂ්ට සිද්ධ කරන අලුත් අවුරුදු උත්සවය සොබාදහම විසින් ලාංකික ජනතාවට දී ඇති උතුම් දායාදයකි. එම උත්සව කාලපරිච්ඡේදය තුළ පිළිපදින ජාතික ආගමික සිරිත් විරිත් වලින් ලබන කුසලමය චින්තාබලයෙන් දෙලොව අභිවෘද්ධිය ලබන්නේ ය.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]