UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රද්ධාව

ශ්‍රද්ධාව

ශ්‍රද්ධාව නිවන් දැකීම දක්වා වැදගත් වුවද, සීමාව ඉක්මවා ගිය ශ්‍රද්ධාව නිවන්දැකීමට බාධාවක් බව ආනන්ද තෙරුන්ට හා වක්කලී හිමියන්ට රහත් භාවයට පත්වීම ප්‍රමාද වීමෙන් පෙනේ. ශ්‍රද්ධාවෙන්ම පමණක් විමුක්තිය ලබාගත නොහැකිය. එහෙත් විමුක්තිය ලබා ගැනීමට යා යුතු ගමන් මගෙහි මුල්ම පියවර වන්නේ ශ්‍රද්ධාවය. පෘථග්ජන පුද්ගලයාට රහත්වීම දක්වා ශ්‍රද්ධාව ඉවහල් වෙයි. රහත් වූ පසු ශ්‍රද්ධාව වැදගත් කොට නොසලකයි.

බුදුදහම තුළ විශ්වාසය භක්තිය යන වචන ව්‍යවහාර නොවේ. පෙළ දහමෙහි සදහන් වන්නේ ශ්‍රද්ධාව (සද්ධා) යන වචනයයි. බුදුදහමේ ඉගැන්වෙන ශ්‍රද්ධාව විශේෂ අර්ථ දෙකක් යටතේ යොදනු ලබයි.

1. පී‍්‍රතිය ඇති කරන ප්‍රසාදය ශ්‍රද්ධාවයි
2. වීර්යය ඇති කරන ආත්ම විශ්වාසය ශ්‍රද්ධාවයි

නිර්වාණගාමී මාවතේ මූලික පිළිවෙත ලෙස ශ්‍රද්ධාව සැලකේ. රහත්වීම දක්වා පෘථග්ජන පුද්ගලයාට ශ්‍රද්ධාව වැදගත් වන නමුත් වඩා අගය කළ යුත්තේ ප්‍රඥාව බව වක්කලී හිමියන්ගේ ශ්‍රද්ධාවට වඩා සැරියුත් හිමියන්ගේ ප්‍රඥාව වඩා වැදගත් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කිරීමෙන්ද ප්‍රඥාවන්තයින් අතර අග තනතුර පිරිනැමීමෙන්ද පැහැදිලි වේ.

ශ්‍රද්ධාව නිවන් දැකීම දක්වා වැදගත් වුවද, සීමාව ඉක්මවා ගිය ශ්‍රද්ධාව නිවන්දැකීමට බාධාවක් බව ආනන්ද තෙරුන්ට හා වක්කලී හිමියන්ට රහත් භාවයට පත්වීම ප්‍රමාද වීමෙන් පෙනේ. ශ්‍රද්ධාවෙන්ම පමණක් විමුක්තිය ලබාගත නොහැකිය. එහෙත් විමුක්තිය ලබා ගැනීමට යා යුතු ගමන් මගෙහි මුල්ම පියවර වන්නේ ශ්‍රද්ධාවය. පෘථග්ජන පුද්ගලයාට රහත්වීම දක්වා ශ්‍රද්ධාව ඉවහල් වෙයි. රහත් වූ පසු ශ්‍රද්ධාව වැදගත් කොට නොසලකයි. ‘ශ්‍රද්ධාව‘ ප්‍රධාන කොටස් දෙකක් යටතේ විග්‍රහකර ඇත.

1.අමූලිකා ශ්‍රද්ධා (අවිචාර ශීලි ශ්‍රද්ධාව)
2.ආකාරවති ශ්‍රද්ධා (විචාර ශීලි ශ්‍රද්ධාව)

අමූලිකා ශ්‍රද්ධාව යනු අන්ධ විශ්වාසය සහ භක්තිය පදනම් කරගත් ශ්‍රද්ධාවයි. බුද්ධිහීන භක්තිවන්තයා තුළ වැඩිපුර දක්නට ලැබෙන්නේ මේ අමූලිකා ශ්‍රද්ධාවයි. ඇතැම් අය අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්තව පැවිදි වූහ.පසුව බුදුන්වහන්සේගෙන් බණ අසා ආකාරවති ශ්‍රද්ධාව ඇති කර ගත්හ. ශ්‍රද්ධාව වැදගත් වුවද අධික ශ්‍රද්ධාව නිවනට බාධාවකි. එම නිසා ශ්‍රද්ධාවෙන්ම පමණක් නිවන් ලැබිය නොහැකිය. සමහර විට අසත්‍ය දෙයක් සඳහා ශ්‍රද්ධාව පිහිටීමට පුළුවන. සමහර විට සත්‍ය දෙයකට ශ්‍රද්ධාව ඇති නොවීමට පුළුවන. එම නිසා ප්‍රවේසම් සහගතව ශ්‍රද්ධාව ඇතිකර ගත යුතුය.

ආකාරවති ශ්‍රද්ධාව යනු තෙරුවන් පිළිබඳව විමර්ශනාත්මකව සොයා බලා තීරණ ගැනීමයි. නිවැරැදිව බුද්ධිමත්ව තීන්දු තීරණ අරගෙන සොයා බලා කටයුතු කිරීමයි. විමංසන සුත්‍රයේදි මේ පිළිබඳව සොයා බලා තීරණ ගත යුතුබව පෙන්වා දෙයි.ආකාරවති ශ්‍රද්ධාව තවත් නම් කිහිපයකින් හඳුන්වා ඇත.

1.අවෙච්චප්පසාද
2.අචල ශ්‍රද්ධාව
3.ස්ථාවර ශ්‍රද්ධාව

අවෙච්චප්පසාද යනු කරුණු පරික්ෂා කර ලබන අවබෝධය මත ඇතිවන ශ්‍රද්ධාවයි. අචල ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාව යන්න ස්ථීර බව පෙන්නුම් කරයි. එය වෙනස් නොවන ශ්‍රද්ධාවකි. මෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූවෙක් කිසි විටෙකත් වෙනත් ශාස්තෘවරුන්ගේ සරණ යෑමට නොපෙළඹේ. ශ්‍රද්ධාව ප්‍රධාන අංශ දෙකක් හා සම්බන්ධ වන ආකාරයක්ද දැකිය හැකිය.

1.ශ්‍රද්ධාව හා සීලය
2.ශ්‍රද්ධාව හා ඥානය

“ශ්‍රද්ධාව “ හා “සීලය” යනු සත්‍යාවබෝධය කරා මෙහෙයවන මූලික පදනමයි. ශ්‍රද්ධාවෙහි ඥානය පිළිබඳ අංශය ඉතා වැදගත් වෙයි. ශ්‍රද්ධාව නැතිනම් කිසිදු ක්‍රමයකින් ඥානයක් ඇති නොවේ. ඥානය ලබා ගැනීමට නම් ශ්‍රද්ධාව තිබිය යුතුමය. ශ්‍රද්ධාවෙන්ම පමණක් විමුක්තිය ලද හැකිය යන මතය ගරු කළ පිරිසක් එදා බුද්ධ කාලීන භාරතයෙහි විසූහ.

බෞද්ධ මතය නම් ශ්‍රද්ධාව නිවන කරා මෙහෙයවන මාර්ගයේ මුල්ම පියවරයි. සෝවාන් මාර්ගයට හෝ ඵලයට පත්වීම එකවර කළ හැක්කක් නොවේ. එය ක්‍රමානුකූල වැඩ පිළවෙළක් අනුගමනය කිරීමෙන් ලබාගත යුතු තත්ත්වයකි. සෝවාන් වීමෙන් ආර්යය භූමියෙහි පියවර තැබීමෙ පළමු අවස්ථාව සද් පුරුෂ භූමිය යනුවෙන් හැඳින්වේ. පෘථග්ජන අවස්ථාව ඉක්මවමින් සද්පුරුෂ භූමියට පවත්වන ක්‍රම දෙකක් තිබේ. මේ ක්‍රම දෙක අනුගමනය කරන පුද්ගලයින් දෙදෙනා හඳුන්වන්නේ සද්ධානුසාරි සහ ධම්මානුසාරි නාමයෙනි.

සද්ධානුසාරි පුද්ගලයාගේ ශ්‍රදධාව ප්‍රාථමික තත්ත්වයක පවතියි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් හෝ සහිත වුවෙකි. සද්ධානුසාරි පුද්ගලයා තුළ බුදුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා මාත්‍රයක් පමණක් පැවතියද ඔහුගේ විශේෂත්වය වන්නේ සද්ධා, විරිය, සති සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියන්ගේ වර්ධනය ආරම්භව පැවතීමය.

ධම්මානුසාරි පුද්ගලයා තුළ ප්‍රඥාව මාත්‍ර වශයෙන් වර්ධනය වී ඇත. ධම්මානුසාරි පුද්ගලයා තුළ බුදුන්වහන්සේගේ ධර්මය පිළිබඳ අල්ප මාත්‍ර වූ අවබෝධයකින් යුක්තය. බුදුන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් උපරිමයට ගමන් නොකළ මෙම දෙදෙනා ධර්මය හෝ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණ නැත. නමුත් ප්‍රාථමික ශ්‍රද්ධාවෙන් වුවද නිවන් මග පාදා ගැනීමට පුළුවන්කමක් තිබේ.

මේ අනුව ශ්‍රද්ධාව පිළිබඳ බුදු දහමේ සඳහන් ඉගැන්වීම කෙසේද යන්න පිළිබඳව සරල අවබෝධයක් මේ තුළින් ඇතිකර ගැනීමට පුළුවන් කමක් තිබේ.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]