UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත් බවෙහි ඵල ලැබීම

මිනිසත් බවෙහි ඵල ලැබීම

ලොව සත්‍යවශයෙන්ම විඳින්නෙකු නැත. විඳීමක් තිබේ. එය හටගෙන බිඳෙන සුළුය. එහෙත් අවිද්‍යා සහගත සත්වයන් හටගෙන නැසෙන විඳිමි (සැප, දුක්, උපේක්‍ෂා හෙවත් නොදුක් නොසුව වේදනාව) පුද්ගලයකු මවාගෙන විඳින්නට යයි. අතීතයේ ද දැනුදුද අනාගතයේ ද එසේ ස්ථිර කෙනෙකු ඇති බව විශ්වාස කරයි. එහි සීමාවන් ඉක්මවා බොහෝ කලක් සතර අපායට වැටී දුක් විඳියි.

ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වෙන තථාගතයන් වහන්සේ විඳීමේ ඇති භයංකාරභාවය (දෝෂය) කරුණා අභ්‍යාසයෙන් යුතුව දේශනා කළ සේක. එම ගම්භීර දේශනාවන් ඉතා මැනැවින් අසා බොහෝ දෙනෙක් සසරෙන් එතෙර වූහ. එහෙත් සසර පිනකින් දුර්ලභ මනුෂ්‍ය සම්පත්තියට පැමිණියත් තණ්හාවට දාස වීමෙන් සිත කිලිටිකරගෙන සතර අපායට වැටෙන සත්ත්වයන්ගේ ප්‍රමාණය මෙපමණකැයි ගණනය කළ නොහැක. දිනක්, බුදුන්වහන්සේ පස් බිඳක් නියසිළෙහි තබා නිත්‍ය වූ, ස්ථිර වූ, නොපෙරැළෙන ගති ඇති ශාස්වක වස්තුන් හා සමව පවත්නා වූ මම මගේ ආත්මය කොට ගත යුතු සාර වූ මෙපමණ වූ රූපයක්, වේදනාවක් නැතැයි වදාළ සේක. චේතනාව විසින් සකස් කර ගනු ලැබූ කළු කර්ම නිසා විඳින්නට ඇති දුක එක ආත්මභාවයකින් කෙළවර නොවන්නේ ය. ඉපිද මියෙන බොහෝ වාර ගණන්වල නිමක් නැති දුක් විඳින්නට සිදුවෙනු ඇත.

උගත් නූගත් භේදයකින් තොරව ඇස ආදි ඉඳුරන් අවුලාගෙන අතෘප්තිමත්ව ජීවිත ගත කරන පිරිස් බොහෝ වෙති. දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය විනාශ කරගෙන ජීවිත පවා හානි කරගන්නෝ ද වෙති. ඉඳුරන් පිනවීමට නොකරන පාපයක් නැත. ඇතැම් හිස් පුරුෂයන් තමා මව්පියන්ගෙන් ලද වස්තු දේපළ පවා අරමුණු වින්දනය කිරීමට මිතුරා මහ මඟට වැටි අසරණව කල්ගත කරන්නේය. ණය තුරුස් වන්නේ ය. අඹු දරුවන්ට පවා අසීමිත දුක් පීඩා පමුණුවන්නේ ය. ඒ පිළිබඳ තොරතුරු රට තොටින් බොහෝ කොට ආරංචි වන්නේ ය.

ඉඳුරන් සීමාවන් ඉක්මවා පිනවීමේ අදීනත්වය සහ ඉඳුරන් සංවර කරගැනීමෙන් ලැබෙන මානසික සුවය කෙතරම් වටින්නේ ද යන්න සලකා බලමු. දිනක් භාග්‍යවතුන් වහන්සේ ආදිත්ත පරියාය නමැති දහම් දෙසුම භික්‍ෂූන් වහන්සේට දේශනා කළ සේක. ‘මහණෙනි, ඇවිලගත් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ යකඩයකින් චක්‍ඛු ඉන්ද්‍රිය පිරිමදින ලද්දේ නම් මැනැවි. එයින් සිත තෙත් කරගැනීම (කෙලෙස් ඇති කර ගැනීම) නොවටී. නිමිත්තෙහි ආස්වාදයෙන් බිඳීම හෝ අනුව්‍යඤජනාස්වාදයෙන් බැඳීම තුළින් කර්ම විඤ්ඤාණය සිටින්නේ ය. එවන් මොහොතක කලුරිය කරන්නේ නම් නිරය තිරිසන් යන ගති දෙකෙන් එක්කරා ගතියකට පැමිණෙන්නේ ය. එහි දෝෂ දැක මෙසේ පවසන්නෙමි.

ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් කන පිරිමදින්නේ නම් මැනැවි. කනට අරමුණු වන ශබ්දයන්හී අනුව්‍යඤ්ජන වශයෙන් නිමිති ගැනීම සුදුසු නොවේ. නිමිත්තෙහි ආස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤජනාස්වාදයෙන් බැඳීම තුළින් දැඩි කොට ගත් කර්ම විඤ්ඤාණය සිටින්නේ ය. එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකෙන් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය. මෙහි දෝෂ දැක පවසන්නේය. බොහෝ දෙනා විවිධ ශබ්ද ඔස්සේ නිරන්තරයෙන් දෙසවන් පිනවීමට දැඩි කැමැත්තක් දක්වති. එහි සිහි මුළාවෙන් කටයුතු කරති. උමද භාවයට පත්වෙති. අභිනන්දනයට පත්වෙති. ඒවා නැතිවීමෙන් මහත් ශෝකයට පරිදාහයට පත්වෙති. එවන් අවස්ථාවක ඔබේ මරණය පැමිණියොත් පත්වෙන ඉරණම කෙබඳු වන්නේ ද? එබැවින් දෙසවන් සංවර කර ගැනීම කෙතරම් වටින්නේ ද යන්න සිතා බලන්න. සංවර කළ යුතුම වන්නේ ය.

මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් නාසය ගලවා දමන්නේ නම් මැනැවි. නාසයට අරමුණු වන ගන්ධයන්හි අනුව්‍යඤ්ජන වශයෙන් නිමිති ගැනීම නො මැනැවි. නිමිත්තෙහි ආස්වාදයෙන් බැඳීම හෝ අනුව්‍යඤ්ජන වශයෙන් ගැනීම තුළින් කර්ම විඤ්ඤාණය පිහිටන්නේ ය. ඒ මොහොතේ කලුරිය කරන්නේ නම් තිරිසන් නිරය යන දෙගතියෙන් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය. මෙය සිදුවන්නේ ය. එහි දෝෂ දැක පවසති. ගන්ධයන් හි ඇලීමේ බියකරු භාවය මේ කාරණා තුළින් ඉගෙන ගත යුතුව ඇත. සුවඳ දුගඳ දැනීම, ඇලීම, ගැටීම දුරුකරගත යුතු ය. කාමයන් හී ගිජුව සත්වයන් ටික කලකට ශරීරය ඔපවත් කොට විවිධ වර්ගයේ විලවුන් අතුරා සතුටුවන්නේ ය. මොහොතකට දහදිය මල මුත්‍රා ඕජස් දැක දෝමනස්ස වන්නේ ය. මෙම දෙපරිද්දෙන්ම සිත අපිරිසුදු භාවයට පත්වෙන බව ඔබ සිතා බලන්න.

තවද, මහණෙනි, ඇවිලගත්, දිලිසෙන, තියුණු සැනකින් දිව කපාගත්තේ කම් මැනැවි. දිවට අරමුණු වන රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නොමැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුණ, වූ හෝ අනුව්‍යඤජනාස්වාදයෙන් බැඳුණා වූ කර්ම විඤ්ඤාණය පිහිටි මොහොතක කලුරිය කරන්නේ නම් එසමයෙහි නිරය හෝ තිරිසන් යෝනිය යන දෙගතියෙන් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය. වත්මන් සමාජයේ බොහෝ දෙනා රසයට ගිජු වී මත්වීමෙන් බොහෝකොට භාවිත කිරීමෙන්, විෂම පරිහරණයෙන් ජීවිත විනාශ කරගනිති. මරණින් මතු දෙගතියෙන් එක්තරා ගතියකට වැටෙන්නේ ය. එහි වැටුණු සත්වයන් ගොඩ එන කාල වකවානුවක් කිවනොහැකිය. මත් වී ප්‍රමාද වන්නෝ මෙහි දෝෂ දැක සංවරභාවයට පත්වීමට උත්සාහ කරත්වා.

මහණෙනි, ඇවිලෙන දිලිසෙන ගිනිදැල් සහිත තියුණු සැනෙකින් කය සිඳගත්තේ නම් මැනැවි. කයින් දත යුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො මැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ කර්ම විඤ්ඤාණය පිහිටි මොහොතක කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය. කාම පහසයෙහි ගිජු නන්ද නම් බාලතෙම අන්ධ වනයෙහි වැඩ වසන ලද උපුල්වන් රහත් මෙහෙණින් වහන්සේ පිඬු පිණිස ගමට වැඩිය විට කුටියට රිංගා සැඟවී සිටියේ ය. දානය වළදා මද වේලාවකට ඇඳට වැද මෙහෙණිය සැතපුණා ය. රාගයෙන් මත් වූ නන්දයන් මද අවසරයකුදු නොතබා අදහස ඉටු කරගෙන පොළොවට පා තැබූ කෙණෙහිම පොළොව පැලී අපායට හෙළුණේ ය. කයට අරමුණු වෙන පහසෙහි ගිජුවීමෙන් මිහිරක් කොට සිතුවත්, අනුවණයන්ට සිදුවෙන විපාක දෙස බලා සංවර භාවයට පත්වීමට උනන්දු වන්න.

මහණෙනි, නින්දට බැස ගැනීම මැනැවි. පාපකාරි විතර්කයන් එවිට විතර්ක නොකරන්නේ ය. නිරන්තරයෝ මනැසට එක අරමුණු වින්දනය ගැනීමට ලෝක සත්වයන් පුරුදු වී ඇත. එයද මනැස අවුලා ගැනීම වන්නේ ය. එයින් සිත කිලිටි වන්නේ ය. විතර්කකොට බොහෝ පව්කම් රැස් කරන්නේ ය. නිදාගත් විට ඒවා විතර්ක නොකරන්නේ ය. (ළාමක සිතිවිලි) එහෙත් මහණෙනි, නින්දට බැස ගැනීම වඳ බව යයි මම කියමි. එය පිරිහීමට කරුණක් නිසාවෙනි. ජීවිතයන්ගේ මුළාවට ද හේතුවන්නේ ය. ජීවිතයේ ඵලය නොලබයි. මෙම දෝෂ දෑක මෙසේ කියමි. ඔබත් වැඩිවේලාවක් නින්දට ගිජු වී ඇත්නම් එහී ප්‍රමාද දෝෂ දැක අප්‍රමාදවීමට උත්සාහ ගන්න.

මෙලෙස ප්‍රකාශ කොට අවසානයේ ශ්‍රැතවක් ශ්‍රාවකයා ඉන්ද්‍රිය අරමුණු නුවණින් බලන ආකාරය දේශනා කොට වදාළ සේක. මහණෙනි, දිළිසෙන ඇවිලගත්....

යකඩයකින් ඇස පහස්නා ලැබීම තිබේවා.
යහුලකින් කන පහස්නා ලැබීම තිබේවා.
නියනෙකින් නාසය පහස්නා ලැබීම තිබේවා
සැකකින් දිව පහස්නා ලැබිම තිබේවා.
සැකෙකින් කය පහස්නා ලැබීම තිබේවා.
නින්දට බැස ගැනීම තිබේවා.

ඒකාන්තයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් යමක් ඇත් ද එය කැඩෙන බිඳෙන සුළුය. විපරිණාමයට පත්වන්නේ ය. මහණෙනි ඇස අනියත දහමට යන සුළු ය. රූපයද වෙනස් වන සුළුය. ඇසෙහි පහළවන සිතද වෙනස්වන සුළු ය. ඇසෙහි පහස (චක්‍ඛු සම්පස්සය) වෙනස්වන සුළුය. චක්‍ඛු, සම්පස්සයෙන් උපන් ත්‍රිවිධ වේදනාද නැසෙන සුළුය. බිඳෙන සුළුය. මෙසේ කන, නාසය, දිව, මනැස, අනියතය, දහම අනියතය, මනෝ විඤ්ඤාණය වෙනස් වන්නේ ය. මනෝ සම්පස්සය වෙනස් වන්නේත් මනො සම්පස්සයෙන් උපන් ත්‍රිවිධ වේදනා (සුව, දුක්, නොදුක් නොසුව වේදනා) පෙරැළෙන්නේ ය.

මෙයින් අදහස් වන්නේ උපන් දා සිට සිදුවන විපරිණාමයයි. ජරා, ව්‍යාධි මරණයයි. ක්‍ෂනමාත්‍රයක්වත් ළදරු, තුරුණු, මධ්‍යම මහලු වශයෙන් ද්වාරයන්ගේ පැවැත්ම ස්ථිර නොවීමයි. පහස්නා කල වුවද එහි කලකිරීම ප්‍රකට කොට මෙනෙහි කළ යුතු ය. අතීත කර්මයන් (පාපීදෙයක්) විපාක දීමෙන්, බෙලහීන තත්ත්වයට ඇස ආදි ඉන්ද්‍රියන් පත්විය හැක. දිගු කලක් එක්තැන් වී දුක් විඳීමට සිදුවෙනු ඇත. වයස භේදයකින් තොරව අතීත පාප කර්ම විපාක දෙන්නේ ය. හටගත්තා වූ රූපය විවිධ ලෙඩදුක් වසංගත වස විෂ කැවී මරණයට ද පත්වීමට හැක. එහිද කලකිරිය යුතු ය. අනාගතයේ ද බොහෝ දුක් ගැහැටවලට මුහුණදිය යුතු ය. ආයුෂයාගේ පිරිහීම සිදුවෙන බැවින් ඉන්ද්‍රියන්ගේ විකල්භාවය ඇතිවී බොහෝ ආබාධ හටගන්නේ ය. අවුරුදු ගණන් දුක් විඳීමට සිදුවේ.

මෙසේ දන්නා ශ්‍රැතවත් ශ්‍රාවකයා
ඇසෙහි කල කිරෙයි. කල කිරීම යුතුම වන්නේ ය.
රූපයෙකින් කල කිරෙයි.
චක්ඛු විඤ්ඤාණයෙහි කල කිරෙයි.
චක්ඛු සම්පස්සයෙන් හටගත් ත්‍රිවිධ වේදනාවන්ගේ ද කල කිරේ.

කන, දිව, නාසය, කය, මනෝ සම්පස්සයෝ හටගත් ත්‍රිවිඩ බධාවන්ගෙන් ම කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි.භවයෙන් මිදෙයි. අරි අටඟිමඟ (බඹසර) වඩන ලදී. ඉදිරියට කටයුතු ඇතැයි දැන ගනී.

මෙම දේශනාව අවසානයෙහි භික්‍ෂූන් දහසකගේ සිත උපාදානයෙන් මිදුණි. සකල දුකෙන් නිදහස් වූ සේක. සසර දුකින් නිදහස් වීමට ඔබත් ඉන්ද්‍රිය අරමුණුවල ආස්වාදය, ආදීනවය, නිස්සරණය, තතු දෝ දැක නිවනට පත්වීමට වීර්යය කරන්න.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]