UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කඩවැද්දුව ශ්‍රී ජිනවංස නා හිමි

කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ 1907 අප්‍රේල් මස 01 දින මාතර යටියන කවවැද්දුව ග්‍රාමයේ දී උපත ලදහ. වී. දොන් අප්පුහාමි මහතා, වික්‍රමරත්න දිසානායක හාමිනේ මහත්මිය උන්වහන්සේගේ මව්පියන් වූහ. කුඩා කල අධ්‍යාපනය ලබා වර්ෂ 10 දී හොරණ පූර්වාරාමය වෙත යන ලදී. 1917 අගෝස්තු 21 දින අතිපූජ්‍ය කැකනදුර අරියවිලාස නායක මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සුගුණතිස්ස මාහිමිපාණන්ගේ උපාධ්‍යායකත්වයෙන් කඩවැද්දුව ජිනවංශ හිමි නමින් පැවිද්ද ලබා ගත්හ. 1937 ජූලි මස 03 වැනි දින උපසම්පදාව වූහ.

මතුගම, තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන මාහිමිපාණන් වහන්සේ ආරම්භ කර පිරිවෙන් ආයතනයක් විය. ග්‍රාමීය විහාරස්ථාන රාශියක අධිපතිත්වය දරමින් සිට කළුතර දිස්ත්‍රික්කයට අමිල සේවයක් ආගමික වශයෙන් ජාතික වශයෙන් සිදු කරන ලදී.

කඩවැද්දුව ශ්‍රී ජිනවංශ නා හිමියන් 1951 ජූනි මස 18 පොසොන් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නමින් ආරණ්‍යය සේනාසන වැඩ පිළිවෙළ ආරම්භ කරන ලදී. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයම ආරණ්‍ය සේනාසන පිහිටුවා ඇත. ලෝකයේ රටවල් කීපයකම භාවනා මධ්‍යස්ථාන ආරම්භ කර ඇත. දැනට ආරණ්‍ය සේනාසන 200 ක් පමණ ශ්‍රී කල්‍යාණි යෝගශ්‍රම සංස්ථාව යටතේ පිහිටුවා ඇත. කඩවැද්දුව ශ්‍රී ජිනවංස නා හිමියන් ගත් උත්සාහය සාර්ථක විය.

2003 ජූලි මස 13 වැනි දින මාහිමිපාණන් වහන්සේ අපවත්වූහ. ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරවයෙන් අම්බලන්ගොඩ දී සිදු කරන ලදී. අපවත් වී වදාළ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේට උතුම් බුදු බව ලැබේවායි පතමි.


වීරපාන හේමාරාම නා හිමි

විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් “කීර්ති ශ්‍රී ධම්මදින්න ශ්‍රී රේවත” යන ගෞරව නාමය සහිත ගාලු ගඟබඩපත්තුව, වැල්ලබඩපත්තුව ඇතුළු ගාලු කඩවත් සතර උප ප්‍රධාන සංඝනායක පදවිය ගාල්ල, කුඹල්වැල්ල විජයාරාමය ,හපුගල සුධර්මාරාමය, කැලණිය, වැලිකුඹුර , සංඝාරාමය යන විහාරත්‍රයාධිපති ගාල්ල ශ්‍රී‍්‍ර රේවත විද්‍යායතන පරිවේණාධිපති, ගාල්ල, දිස්ත්‍රික් පිරිවෙන් (පාලි විෂයභාර) ගුරු උපදේශක ශාස්ත්‍රපති වීරපාන හේමාරාම හිමිපාණන් වහන්සේට පිරිනමා ඇත.

ගාල්ල හිනිදුම් පත්තුවේ වීරපාන ග්‍රාමයේ පොඩිනෝනා වන්නිආරච්චි මාතාවගේ සහ මාර්ෂල් වන්නිආරච්චි මහතාගේ අටවැනි දරුවා වශයෙන් 1961.02.27 දා මෙලොව ජන්මලාභය ලද පුණ්‍යවන්ත කුමර තෙම 1971.11.01 දින හික්කඩුවේ රතනසාර නායක මාහිමිපාණන්ගේ ශිෂ්‍යයකු ලෙස වීරපාන හේමාරාම නමින් පැවිදි විය. පැවිද්ද ලත් කුඩා හාමුදුරුවන් ගාලු කෝරලයේ උප ප්‍රධාන සංඝනායක කුඹල්වැල්ලේ සිරි ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සෙවන ලබමින් හපුගල සුධර්මාරාමයේ මූලික බණදහම් උගත්තේය.

උන්වහන්සේ මූලික බණදහම් හැදෑරීමෙන් පසු අළුත්ගම කන්දේ විහාර ශ්‍රී ක්ෂේත්‍රාරාම පිරිවෙනට ඇතුළත් විය. ගුරු දේවයාණන්ගේ හදිසි අපවත්වීමත් සමග ගාල්ල, කුඹල්වැල්ල, ශ්‍රී රේවත පිරිවෙන ට පැමිණ අධ්‍යාපනය ලබන්නට හේමාරාම හිමියන්ට සිදුවිය. එවක ශ්‍රී‍්‍ර රේවත පරිවේණාධිපති ධුරය දැරූ අපවත්වී වදාළ අහංගම මංගලාභිධාන ගාලු කෝරලයේ උප ප්‍රධාන සංඝනායක මාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයෙකු ලෙස රැකවරණය ලැබූ හේමාරාම හිමියන්, 1980 ජුනි 03 වැනිදා මල්වතු මා විහාරයේදී උපසම්පදා වූහ.

1984 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා 1989 දී තමා උගත් රේවත පිරිවෙනේම ආචාර්යවරයකු ලෙසින් එක්වූ හේමාරාම හිමියන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කළහ.

හපුගල සුධර්මාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් වත්මනෙහි සිදු කරනු ලබන මෙහෙවර ප්‍රශංසනීයයි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරය පමණක් නොව සභාපති ධුරය ද දරමින් ප්‍රදේශයේ දහම්පාසල් හි ප්‍රගමනයට කරන ලද සේවාව අතිවිශිෂ්ටය.

වීරපාන හේමාරාම හිමියන් වෙතින් සිදු වූ හා දැනටත් සිදුවන අධ්‍යාපනික, ශාසනික හා සමාජ මෙහෙවර අගය කරමින්, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවය විසින් පිරිනමන ලද නායක පදවිය සම්බන්ධ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම 2014 පෙබරවාරි මස 26 දින මල්වතු මහා විහාරයේදී සිදු කෙරුණු අතර අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවය පෙබරවාරි මස 27 දින පැවැත්විණි.


රුක්මල්පිටියේ ධම්මපි‍්‍රය හිමි

ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් ත්‍රිපිටකාචාර්ය අභිධානය පිළිබඳ විජිනිපත මීරිගම පොහොන්නරුව ඓතිහාසික ඇදගල ආරණ්‍ය සේනාසනයේ රාජකීය පණ්ඩිත කර්මස්ථානාචාර්ය රුක්මල්පිටියේ ධම්මපි‍්‍රය ස්වාමීන් වහන්සේ වෙත පිරිනමා ඇත. 2013 වසරේ මෙම උපාධිය සමත් වූ එකම ස්වාමීන්වහන්සේ වීමද විශේෂයකි. ත්‍රිපිටකාචාර්ය අභිධාන පදවිය පිළිබඳ මහෝත්සවය 2014 මාර්තු මස 09 දින ප.ව. 03 ට විද්‍යෝදය මහ පිරිවෙනේ දී විද්‍යෝදය පරිවේණාධිපති බස්නාහිර සහ ගාලු දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හම්බන්තොට රුක්මල්පිටිය ග්‍රාමයේ සිරිසේන මුදලිගේ සහ ජයවික්‍රම ආරච්චිගේ කරුණාවතී යන දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1983 නොවැම්බර් 18 වන දින උපන් කුමරා රුක්මල්පිටිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් කටුවන ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනයත් ලැබූහ.

2002 දී ඓතිහාසික රම්මල ආරණ්‍ය සේනාසනාධිපති උඩුගම්පොළ චන්ද්‍රසිරි නාහිමි ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මාතර දිසා අනුශාසක දෙනියාය පල්ලේගම ධර්මපාල ආරණ්‍ය සේනාසනාධිපති සද්ධර්මාචාර්ය සපුතන්ත්‍රිකන්දේ සුමංගල නා හිමි හා වනවාස මහානායක දියපොට මහානා හිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් වතුරුවිල වනවාස සංඝමූලස්ථානයේ දී පැවිදි විය.

ආචාර්ය උඩුගම්පොළ චන්ද්‍රසිරි මා හිමිපාණන් වහන්සේ හා රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තෙලවල විමලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් ධම්මපි‍්‍රය හිමියන් මූලික ප්‍රවෘජ්‍යා ශික්‍ෂණය ලැබීය.

ධර්ම විනය හා භාෂා ශබ්ද ශාස්ත්‍ර නිපුණතා ලබා ගත්තේ ගාල්ල, ඇල්පිටිය වතුරුවිල සංඝ මූලස්ථානයෙනි. ශ්‍යාමෝපාලි වනවාස නිකායේ අනුනායක ධුරන්දර සංඝමූලස්ථානාධිපති මහකන්දේ රතනපාලාභිධාන නා හිමියන් ප්‍රධාන පින්වත් මහ සඟරුවනේ මඟ පෙන්වීම මත ඉතා කෙටි කලක් තුළ දැනුමින් ශික්‍ෂණයෙන් මෙන්ම හික්මීමෙන් ද අභිවෘද්ධියට පත් විය.

2004 ජූනි මස 08 දින වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන උපෝසථාගාර යේ දී උපසම්පදා විය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳව වූ ඩිප්ලෝමාව හා බුද්ධ ධර්මය ඩිප්ලෝමා වලින්ද උසස් අයුරින් සමත් වූ උන්වහන්සේ තවත් තරග විභාග ගණනාවකින් සහතිකපත් දිනාගෙන තිබේ.

ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වන විනයාචාර්ය සද්ධර්මාචාර්ය අභිධර්මාචාර්ය උපාධි වලින් හා පාලි භාෂාව පිළිබඳව උපාධියෙන් ද ගෞරව හා ප්‍රථම පන්තියෙන් සමත් වූ උන්වහන්සේ 2014 වසරේ ත්‍රිපිටකාචාර්ය අභිධානය පිළිබඳ වූ පදවියට පත් වී අදාළ විජිනිපතින් පිදුම් ලැබීය.


මිණිගමුවේ රතනපාල හිමි

මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභා සම්මතයෙන් මල්වතු මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට පත් කරනු ලැබූ මල්වතු මහා විහාරාවාසී, සංඝරාජ පිරිවෙන් ආචාර්ය ගොකරැල්ල රම්මණ්ඩාපොකුණ විහාරාධිපති ආචාර්ය දර්ශනපති මිණිගමුවේ රතනපාල හිමිපාණන් පිළිගැනීමේ උත්සවයක් මාර්තු 16 වෙනි දා සවස 3.00 ට රම්මණ්ඩා පොකුණ විහාරස්ථානයේ දී දායක සභාවේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

අභිනවකාරක සභික මිනිවන්ගමුවේ රතනපාල හිමියන් විසින් මල්වතු මහා නාහිමි ප්‍රධාන සානුනායක කාරක මහ සංඝසභාව වෙත ඓතිහාසික මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයේ දී ප්‍රසාද පූජාවක් පැවැත්වීමෙන් පසු සිය විහාරස්ථානයට වැඩමකිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්වීමට විහාර කාර්ය සාධන සමිතිය විධිවිධාන යොදා තිබිණි.


යටිගල මංගල හිමි

යටිගල මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1950 සසුන් ගත වූහ. 1951 ගාල්ල ශ්‍රී රේවත විශ්ව විද්‍යාලීය පිරිවෙනට ඇතුළත්ව බණ දහම් හා භාෂා ශාස්ත්‍ර හැදෑරූහ

1955 දී මහනුවර මල්වතු විහාරීය උපොසථාගාරයේදී උපසම්පදාව ලැබීය. 1963 වන විට ප්‍රාචීන විභාග අවසාන සිංහල ගුරු විභාගය කලා යෝග්‍යතා සමත්ව ගුරුවරයෙකු වශයෙන් සේවය කළහ. 1964 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය 1966 සමත් විය. (පළමුව ශිල්ප හැදෑරූ පිරිවෙනෙහි පාලි සංස්කෘත භාෂා ගුරුවරයකු වශයෙන් කටයුතු කළහ.

1966 සිට 1981 දක්වා විශිෂ්ට ගුරුවරයකු වශයෙන් සේවය කළහ. 1981 සිට 1985 දක්වා මාතර වෙහෙරහේන සිරි රේවත පිරිවෙන් පිරිවෙනාධිපති වශයෙන් සේවය කර ඇති අතර මාතර මන්තින්ද පිරිවෙනේ 1985 සිට 1990 දක්වා පිරිවෙණානාධිපති වශයෙන් සේවය කළහ. මෙතැන් සිට අද දක්වා තවමත් එහි කෘත්‍යාධිකාරි ධුරය දරමින් සේවය කරයි. 1997 සිට සිය ආරාමයේ විහාරාධිපති තනතුරට පත්වූ උන්වහන්සේ පංචථූපාරාම විහාරස්ථානයේ දියුණූවට දැනටමත් විශාල සේවයක් කර ඇත.

ශ්‍රී සුමන දහම් පාසල සහ ශ්‍රී‍්‍ර සුමන පෙර පාසල ආරම්භ කිරීම හා ශ්‍රී‍්‍ර සාරානන්ද ප්‍රජා මන්දිරය ඉදි කරවා ඇත.

මේ අයුරින් සම්බුද්ධ ශාසනයට අධ්‍යාපනික, සමාජයීය,ආගමික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කළ දැනට සිදු කෙරන උදාර සේවයට කෘතවේදීත්වය පළකරනු වස් ස්‍යාමෝපාලි වංශික සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව විසින් 2013 අපේ‍්‍රල් මස 26 වන දින උපාධ්‍යාය තනතුරට පත්කෙරිණි. එයින් නොනැවතී යටිගල මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත රෝහණවිජ්ජක සද්ධර්ම වාගිස්වරාචාර්ය ශ්‍රී සාරානනන්ද යන ගෞරව නාම සම්මුතියෙන් හා දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක තනතුරින් පිදුම් ලැබුයේ 2013 දෙසැම්බර් මාසයේදීය.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]