UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 33 මේඝිය මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 33

මේඝිය මහරහතන් වහන්සේ

සිත කියන්නේ අරමුණක් අරමුණක් පාසා සැලෙන දෙයක්. මේ සිත චපලයි. රැකගැනීම දුෂ්කරයි. වරදින් වළක්වා ගැනීමත් දුෂ්කරයි. නමුත් ප්‍රඥාවන්තයන් වඩුවෙක් ඊතලවල ඇදහැර සෘජු කරනවා වගේ මේ සිත ධර්මය තුළ සෘජුකර ගන්නවා. වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් දගලනවා වගේ සිතින් සැලි සැලි තිබෙන්නේ. ඒ නිසා මේ මාර උගුලෙන් නිදහස් විය යුතුම යි

අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වූයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ අවුරුදු 25 ක් ම තථාගතයන් වහන්සේට ගෞරවයෙන් උපස්ථාන කළ සේක. නමුත් වරින් වර ටික කාලයකට භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කිරීමේ භාග්‍යය ලැබුණු ඇතැම් භික්ෂූන් වහන්සේලා ද විය. අද අප භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කිරීමේ වාසනාව ද ලබා ගෞතම බුදු සසුනේ උතුම් අරහත්වයට පත්වීමේ වාසනාව ද ලැබූ මේඝිය නම් උතුම් මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන සිත පහදවා ගනිමු.

මින් කල්ප අනූඑකකට පෙර දෙව් මිනිස් ලෝකයට මහා අනුකම්පාවෙන් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. චතුරාර්ය සත්‍යය ලෝකයාට ඉස්මතු කොට පෙන්වා දී ශ්‍රාවක ශ්‍රාවිකාන්ද බිහිකොට නිම වූ බුද්ධකෘත්‍යය ඇති විපස්සී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අත්හැර වදාළා. එ සමයෙහි සිටු පුත්‍රයෙකු ලෙස ඉපදී සිටි මේඝිය තෙරුන් වාසය කළ සුවිසල් සිටු භවන බුදුරජුන්ගේ ආයු සංස්කාර අත්හැරීමෙන් කම්පා වී සෙළ වී ගියා. මුළු පෘථිවි තලයම කම්පා වී සැලෙන්නට පටන් ගත්තා. මහජනයා මේ භූ කම්පනය කුමක් නිසා සිදු වී දැයි බිය ඇතිවුණා. මහජනයාගේ බිය නැතිකරවනු පිණිස වෛශ්‍රවණ දිව්‍ය රාජයා සියලු සතුනට ඇසෙනා පරිදි මෙසේ පැවසුවා. ‘’කිසිවෙකුන් බියට පත් නොවවු. සංවරයෙන් වසවු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදිනා කල්හි මෙන්ම ආයු සංස්කාරයෝ අත්හරිනා කල්හී ද පෘථිවිය කම්පිත වේ. ඒ බුදුරජ තෙමේ ආශ්චර්ය වන සේක.

මේ ඇසූ බොහෝ දෙව් මිනිසුන් දුකටත් සංවේගයටත් පත් විය. නමුත් සිටුපුත්‍රයා බුදුරජානන් වහන්සේගේ ආනුභාවය ගැන හටගත් පී‍්‍රති සිතින් කල් ගෙවීය. ඒ පිනෙන් මරණින් මතු කල්පයක්ම සුගතිගාමී විය. මින් කල්ප දාහතරකට පෙර ඔහු ‘සමිත’ නමින් ප්‍රතාපවත් වූ සක්විති රජෙකු වී ධාර්මිකව ලොව පාලනය කළ පිනෙන් මරණින් මතු සුගතියේම ඉපදුණි. යළිත් අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයේ දෙව් ලොවින් චුත වී හෙතෙමේ කපිල වස්තුවේ ශාක්‍ය රජ පවුලක උපත ලැබීය. මේඝිය කුමරු නමින් ප්‍රකට වූ ඔහු බුදු සසුනේ පැහැදී භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි විය.

එක් කාලයක බුදුරජාණන් වහන්සේ වාලිකා නුවරට නුුදුරු වූ වාලිකා පර්වතයෙහි වැඩ සිටියා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ මේඝිය ස්වාමින් වහන්සේ යි. එදා මේඝිය ස්වාමින් වහන්සේ ‘ජන්තු’ කියන ගමට පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී ‘කිමිකාලා’ කියන ගං ඉවුර දිඟේ තමයි වැඩියේ. ඒ ගංඉවුර හරි ලස්සනයි. ලස්සන වැලිතලාව තිබුණා. ගංඉවුර දිගටම ලස්සන අඹ වනයක් තිබුණා. එතැන පසුකොට යද්දී උන්වහන්සේ නැවතුනා. ටිකක් වටපිට බැලුවා. සිතට හරිම පී‍්‍රතියි. සිත ප්‍රබෝධවත් වුණා. උන්වහන්සේ කල්පනා කළා ‘ෂා.... හරි ලස්සන තැනක්. මේ අඹ වනය නම් හරිම අපූරුයි. සිසිල් සෙවනත් හරි අගෙයි. බණ භාවනා කරන කෙනෙකුට කෙලෙස් නැති කිරීම පිණිස වීරිය ගන්න කෙනෙකුට සුදුසු තැනක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මම අවසර ගෙන මෙතැනට එන්නට ඕන. මෙතැන තමයි මගේ සිත කැමැති තැන.

උන්වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ බුදුරාජාණන් වහන්සේව බැහැ දකින්නට වැඩියා. ආදරයෙන් වන්දනා කර ඒ අඹවනයේ තිබූ ලස්සන ගැන භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. ඊට පස්සේ එතැන භාවනා කිරීමට යාමට අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මේඝිය ස්වාමින් වහන්සේගේ ඉල්ලීමට උනන්දුවක් දැක්වූයේ නැහැ. උන්වහන්සේ වදාළේ පින්වත් මේඝිය මෙතැන කවුරුත් නැති නිසා තව භික්ෂුවක් එනතෙක් ඉවසා සිටින්නට කියල යි. නමුත් මේඝිය ස්වාමින් වහන්සේට හදිස්සි යි. හිතේ තිබෙන්නේ අඹ වනයට ගිහින් භාවනා කිරීම ගැන විතරයි. තුන් වතාවක්ම මේඝිය ස්වාමින්වහන්සේ කළ ඉල්ලීම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. ‘පින්වත් මේඝිය ඔබට කෙලෙස් නැසීමට වීරිය කරන්න ඕනෙමයි කියලනේ යන්ට හදන්නේ. ඉතිං එහෙම නම් යන්න’.

මේඝිය ස්වාමින්වහන්සේ මහා සතුටට පත්වුණා පී‍්‍රතියට පත් වුණා. උද්දාමයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අඹ වනය බලා පිටත්වුණා. වටපිට බැලුවා. සුදු වැලිතලාව ඈතට විහිදෙනවා. නිල්වන් දියදහර ලස්සනට ගලා බසිනවා. අතුපතර විහිදුන අඹගස් වලින් සිහිල් සෙවන ලැබෙනවා. ඉතාම සතුටකින් යුතුව ඒ අඹ වනය ඇතුළටම ගියා. සුවිසල් අඹ රුකක් සෙවනේ වාඩිවුණා. භාවනා කරන්නට සිතාගෙන දෑස් පියාගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. හරිම පුදුමයි! මේ හිත හැම තැනම විසිරෙනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුන එක එක දේවල් සිතට එනවා. එක එක ආසාවල් සිතට එනවා. අමනාපය ඇතිවෙන තරහා ඇතිවෙන දේවල් පවා මතක් වෙන්ට පටන් ගත්තා. හොඳට චිත්තානුපස්සනාවෙන් සිටි මේඝිය ස්වාමින් වහන්සේ සිතේ ඇතිවුණ මේ ස්වභාවය දැන ගත්තා.

’මේ...මේ මොකද? හරිම පුදුමයි. මොකද මේ සිතට වුණේ. කවදාවත් මගේ සිත මෙච්චර කැළැඹී නැහැ. මේ ශාන්ත තැනට මම ආවේ කොච්චර ආසාවෙන් ද? මම මේ භාවනා කරන්නට වාඩිවුණේ මොනතරම් බලාපොරොත්තු සහිතව ද? ඒත් මේ මොකක්ද මේ සිතට වෙලා තියෙන්නේ? මොකද මේ සිතන විකාර, මොනවද මේ වැඩකට නැති සිතිවිලි?

අවසානයේ මේඝිය ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟටම ආපසු වැඩම කළා. උන්වහන්සේ සිදු වූ සියල්ල භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා. එවෙලෙහි බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළා.

’පින්වත් මේඝිය නිවන් අවබෝධ කරන්නට මහන්සි ගද්දී ගුණධර්ම මෝරන්නට ඕන. ඒ සඳහා කරුණු පහක් උපකාර වෙනවා. (1) කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර (2) සිල්වත් වීම (3) දෙසිත් කථා වලින් වැලකිලා නිවන් මඟට අනුබල ලැබෙන දස කථාවෙන් යුක්ත වීම (4) අකුසල් දුරු කිරීමටත් කුසල් වැඩීමත් බලවත් වීර්යක් උත්සාහයක් සහ (5) ප්‍රඥාවයි.

මේ කරුණු පහ මත පිහිටා තවත් කරුණු හතරක් දියුණු කර ගන්නට ඕන. ඒ කියන්නේ සිතේ ඇතිවෙන රාගාදී අකුසල් දුරුකිරීමට අසුභ භාවනාව දියුණු කරන්නට ඕක. සිතේ ඇතිවෙන තරහා දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, සිත විසිරෙනකොට ඒ විතර්ක දුරු කිරීමට ආනාපානසති භාවනාව ඉතාමත්ම උපකාරි වෙනවා. ඒ වගේම තමන් තුළ තිබෙන මමත්වයෙන් යුතු මාන්නය නැතිවීමට අනිත්‍ය භාවනාව බොහෝම උපකාරි වෙනවා. පින්වත් මේඝිය, අනිත්‍ය භාවනාව හොඳට ප්‍රගුණ වුණොත් ඒ කෙනාට අනාත්ම ස්වභාවය හොඳට වැටහෙනවා. අනාත්ම ස්වභාවය හොඳින් අවබෝධ වෙනකොට මමත්වයෙන් යුතු මාන්නය සම්පූර්ණයෙන්ම නැතුව යනවා. මේ ජීවිතේදීම නිවන අවබෝධ වෙනවා.

මේ සිත කියන්නේ අරමුණක් අරමුණක් පාසා සැලෙන දෙයක්. මේ සිත චපලයි. රැකගැනීම දුෂ්කරයි. වරදින් වළක්වා ගැනීමත් දුෂ්කරයි. නමුත් ප්‍රඥාවන්තයන් වඩුවෙක් ඊතලවල ඇදහැර සෘජු කරනවා වගේ මේ සිත ධර්මය තුළ සෘජුකර ගන්නවා. වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් දගලනවා වගේ සිතින් සැලි සැලි තිබෙන්නේ. ඒ නිසා මේ මාර උගුලෙන් නිදහස් විය යුතුම යි.

ඉතින් මේඝිය ස්වාමින් වහන්සේ මේ අවවාදය හොඳට හිතට ගත්තා. වීර්යෙන් උත්සාහයෙන් දහමට දිවි පුදා වාසය කරද්දී උන් වහන්සේත් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අරහත්වයට පත් වූ මේඝිය මහරහතන් වහන්සේ ගෘස්තෘන් වහන්සේගේ උපකාරය සිහිපත් කරමින් මේ උතුම් වූ ගාථාව වදාළා.

අනුසාසී මහාවීරෝ
සබ්බධම්මාන පාරගූ
තස්සාහං ධම්මා සුත්වාන
විහාසිං සන්තිකෝ සමතෝ
තිස්සෝ විජ්ජා අනුප්පත්තෝ
කතං බුද්ධස්ස සාසනං

ලෝකයේ ඇති හැම දෙයක්ම අවබෝධ කළ මහා වීර්යකින් යුතු බුදු සමිඳාණෝ මට අවවාද කළ සේක. ඒ උතුම් දහම මා හොඳින් හිතට ගත්තා. ඊට පස්සේ හොඳින් සිහිය පිහිටුවා ගත්තා. උන්වහන්සේ සමීපයේමයි මම හිටියේ. ත්‍රිවිද්‍යාව ලබා ගන්ට මමත් පුළුවන් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්ට මටත් පුළුවන් වුණා’.

දමනය කිරීමට දුෂ්කර මේ චපල වූ සිත වීර්යෙන් දමනය කළේ ඒ උතුම් නිකෙලෙස් මහරහතන් වහන්සේලා විසිනු යි. ඒ උතුම් සඟරුවන කෙතරම් අසිරිමත් ද? අපත් ඒ රහතුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ගැන සිත පහදවා ගනිමු.

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 32 සෝණකුටිකණ්ණ මහ රහතන්වහන්සේ

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]