UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණීය මෑණියන් වූ දිවංගත දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය සිහිවීම පිණිස මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර පිවිසුම, වාහල්කඩ සහ රන්වැට විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිණි. මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ විහාරාධිපති ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි විය.
ඡායාරූප - චන්දන පෙරේරා


පඬුවස්නුවර අකුරණ සිරි ගංගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ටැම්පිට උපෝෂථාගාරය, පසුගියදා සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක, නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ අතින් විවෘත විය. ඉපැරණි ඉතිහාසයක් ඇති මෙම අකුරණ සිරි ගංගාරාම විහාරස්ථානය මහා පරාක්‍රමබාහු රජ සමයේ ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන් වන බව විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක කුඹල්වල පියතිස්සාභිධාන නා හිමියෝ පැවසූහ. ඉපැරණි අකුරණ ඇල්ලේ විහාරය කොළමුණු ඔයේ ඉවුරු දෙකම යාවන අයුරින් නිර්මාණය කර ඇති බවට සාධක ඇත. දකුණු ඉවුරේ බෝධීන් වහන්සේ, පොහොය සීමාමාලකය හා ලැගුම් හල් ද වම් ඉවුරේ පිහිටි ගල් තලාව මත දාගැබ් හා පිළිම ගෙය ද තනා තිබිණ. මහනුවර රාජධානිය දුර්වල වීමත් සමඟ මේවා විනාශයට පත්විය. වත්මන් විහාරාධිපති නා හිමියන් විසින් නිර්මාණය කරවූ ටැම්පිට උපෝෂථාගාරය අති විශිෂ්ට නිර්මාණයක් ලෙස සටහන් වේ. අකුරණ සිරි ගංගාරාම විහාරස්ථානයේ බෝ සෙවණෙහි බටහිර දෙසට වන්නට මීට වසර 300 කට පෙර ටැම්පිට උපෝෂථාගාරයක් නිර්මාණ කර තිබූ බවට සාධක ඇත. වත්මනයෙහි මෙහි අභිනවයෙන් ඉදි කරන ලද ටැම්පිට උපෝෂථාගාරය කුඹුක්ලීයෙන්ම නිර්මාණය කර ඇත. නෙළුම් මල් ආදී විවිධ මල්වර්ග ද, ඉරහඳ, හංසයා, සිංහයා, ඇතා, මුවා, සාවා වැනි ස්වාභාවික සතුන්ද, භේරුණ්ඩ පක්‍ෂියා සර්පේන්දා වැනි මනඞකල්පිත සතුන් ද නවනාරිකුඤ්ජරය, මල්ලවපොර, ආදියද මෙහි කැටයම් කර ඇත. දැව කණුවල ඉහළ පහළ කොටස් විවිධ මල් වැල්, ලියවැල් වලින් සහ සතුන් නිරූපිත කැටයම් වලින් අලංකාර කොට ඇත.
පඬුවස්නුවර මධ්‍යම සමූහ – යූ.ඒ. ප්‍රේමදාස

මාලඹේ සිරි සුබෝධාරාමය

දරුවන් සසුන්ගත කිරීමේ උදාර ශාසනික සේවාවක් මාලඹේ පොතුඅරාව සිරි සුබෝධාරාමයේ ක්‍රියාත්මක වේ. එහි පිහිටුවා ඇති සාමණේර භික්ෂු අධ්‍යාපන පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන එම දරුවන් ක්‍රමානුකූල අධ්‍යාපනයක් තුළින් පරිපූර්ණ භික්ෂුත්වයට පත්කර ඔවුන් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා උපයෝගි කර ගැනීම පරමාර්ථය වී ඇති අතර ඒ තුළින් භික්ෂු ප්‍රජාවේ හිඩැසක්ද පියවා ගැනීමට හැකිවනු ඇතැයි එහි නිර්මාතෘ සිරි ධම්මසේන හිමියන් කියා සිටියි. විසිපහකට අධික සාමණේරයන් වහන්සේ එහි දැනට නේවාසිකව සිටී. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන මව්පිය කැපකරු ක්‍රමයේ හවුල්කරුවන් වීම සඳහා ඔබටද අවස්ථාව ඇති බව දන්වයි.

 
 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]