UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුල් යුගයේ ධර්මදූත සේවය

මුල් යුගයේ ධර්මදූත සේවය

ලෝකයේ රටවලට මුල් බුදුසමය බෙදාදීමට අශෝක රජ පුරෝගාමී වූ තරමටම වාගේ උතුරු බුදුසමය හෙවත් මහායාන බුදු සමය ව්‍යාප්ත වීමට කණිෂ්ක අධිරාජ්‍යයා පුරෝගාමී වූ බව ඉතිහාසයෙන් පෙනේ. ධර්ම සංගීතියක් පවත්වා ධර්මය තහවුරු කොට ධර්මදූතයන් යවා අශෝක ධර්මදූත මෙහෙය සිදු වූ පරිද්දෙන් ම කණිෂ්කගේ ධර්මදූත මෙහෙවර ද සිදුවූ බව දැකිය හැකි ය

මෙම ලිපියේ පළමු කොටස මැදින් පුර පසළොස්වක දා පත්‍රයේ පළ විය

නව රට සසුන් පිහිටුවීම නමින් අපේ වංශකථාවල දැක්වෙන අශෝක ධර්මදූත මෙහෙවර කවර පදනමක, කවර පරමාර්ථයක් සඳහා සිදුවීද යන්න ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සාධක මත සනාථ වන අතරම එතුමාගේ සෙල්ලිපි වලින්ද තහවුරු වෙයි.

ආගම් පැතිරවිය යුත්තේ කවර පදනමක සිට ද යන බව එතුමාගේ 12 වන පර්වත ආඥා ලිපියෙහි මෙසේ සඳහන් කොට තිබේ. ‘තමන්ගේ ආගමට ගෞරව කරන අතර වෙනත් ආගමට ගර්හා කළ යුතු නොවේ. සෙසු ආගම් වලටත් ගෞරව කළ යුතුය. මෙසේ කිරීමෙන් සිය ආගම දියුණු වෙයි. සෙසු ආගම් වලටත් උපකාර වෙයි. මෙසේ නොකරන්නා තම ආගමට හානියක් කරන අතර වෙනත් ආගම් වලට අපකාරයක් කරයි. සිය ආගමට පුද සත්කාර කරමින් සෙසු ආගම්වලට ගර්හා කරන්නා මගේ ආගම දියුණු කරමි කියා එසේ කරතත් ඔහු තම ආගමට කරන්නේ මහත් හානියකි. එහෙයින් යහපත් දේ සමගිය යි. සියල්ලෝ මනා සේ ධර්මය අසත්වා. එසේම අන් ධර්මවලටත් සවන් දෙත්වා.’

මේ නම් ස්වකීය ශාස්තෘන් වහන්සේ අකුරටම අනුගමනය කරන සැබෑ අනුගාමිකයකුගේ ප්‍රකාශයකි. බුද්ධචරිතයෙන් පැහැදිලි වන පරිදි උන්වහන්සේ ආගම් හා ශාස්තෘවරුන් පිළිබඳව දැක්වූ සහනශීලි භාවයම ප්‍රකට වන ප්‍රකාශයකි මෙය. රාජ්‍ය බලය නොව, කරුණාව, මෛත්‍රිය, සුහදතාව, අහිංසාව, ලොකාර්ථචර්යාව වැනි උතුම් මිනිස් ගුණ සහාය කර ගැනීම නිසා අශෝක ධර්මදූතයන් ඉතා කෙටි කාලයකින්ම ඒ ඒ රටවල මේ ආගම තහවුරු කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් පොහොසත් වූ බව පෙනේ. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් රටවල් ගණනාවක් අද අපට දකින්නට ලැබෙන්නේ අශෝක ධර්මදූත මෙහෙවර නිසා ය. දැනට පිරිසුදු ථෙරවාද බුදුදහම සුරක්‍ෂිතකොට ගත් රටවල් හැටියට ශ්‍රී ලංකාව, බුරුමය හා සියම ලෝකයේ බෞද්ධයන් අතර ප්‍රකටය. එම ගෞරවය ලබාගත හැකි වූයේ මේ රටවල අශෝක ධර්මදූතයන් යැවීම නිසා ය. අපේ වංශකතාවල දැක්වෙන පරිදි අශෝක ධර්ම ප්‍රචාරය නවරට සසුන් පිහිටවීමේ කථාවට පමණක් සීමා නොවූවකි. මේ නවරටට අතිරේකව ඉන්දියාවේම තවත් බොහෝ පළාත්වලට තවත් දේශාන්තර ගණනාවකට ද දූතයන් යැවූ බවට සාධක ලැබේ. අශෝක සෙල්ලිපි වල දක්නට ලැබෙන නම් අතර අන්තියෝකා, කුරමය, අත්තේකින, අලිකපුදර, මාගාස් යන නම් දක්නට ලැබේ. ලිපි විස්තර හා මේ නම් අනුව කළ පරීක්‍ෂණ වලින් පෙනීගොස් ඇත්තේ එතුමා මිසරය, සිරියාව, මැසිඩෝනියාව, ගී‍්‍රසිය, සයිරේනියා යන රටවලට පවා ධර්මදූතයන් පිටත් කොට හැරි බවයි. කෙසේ වෙතත් ඉන්දියාවෙන් පිටත බුදුදහම පතුරුවාලීමේ පුරෝගාමී ව්‍යාපාරය අශෝක රජතුමාගෙන් සිදු වූ බව විවාද රහිත ය.

ලෝකයේ රටවලට මුල් බුදුසමය බෙදාදීමට අශෝක රජ පුරෝගාමී වූ තරමටම වාගේ උතුරු බුදුසමය හෙවත් මහායාන බුදු සමය ව්‍යාප්ත වීමට කණිෂ්ක අධිරාජ්‍යයා පුරෝගාමී වූ බව ඉතිහාසයෙන් පෙනේ. ධර්ම සංගීතියක් පවත්වා ධර්මය තහවුරු කොට ධර්මදූතයන් යවා අශෝක ධර්මදූත මෙහෙය සිදු වූ පරිද්දෙන් ම කණිෂ්කගේ ධර්මදූත මෙහෙවර ද සිදුවූ බව දැකිය හැකි ය. එවක ඉතා ප්‍රකට කීර්තිධර මහා බෞද්ධ පඬිවරුන් වන අශ්වගෝෂ, නාගර්ජුන වැනි ආචාර්යවරුන්ගේ සහභාගිත්වය ඇතිව කාශ්මීරය කුණ්ඩලවනාරාමයේ දී වසුමිත්‍ර තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ රජුගේ අනුග්‍රහයෙන් ධර්ම සංගීතයක් පවත්වා ත්‍රිපිටකයට විභාෂාතැන් වූ බව පැවසේ. කෙසේ වුවත් මහායානයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් හා ථෙරවාදය අභිභවා ගිය ජනපි‍්‍රය භාවයක් මෙකල දක්නට ඇත්තේ ය. ථෙරවාදී පොත්පත් හි මෙකී සංගීතය ගැන කිසි තොරතුරක් දක්නට නැතත් ‘හියුංසියැන්’ දීර්ඝ වශයෙන් විස්තර කර දක්වා තිබේ. මහායාන බුදුදහම පිළිබඳ මල්පල හටගත් අවස්ථාව සේ සැලකිය යුතු කණිෂ්ක අවධිය එහි ව්‍යාප්තිය පිළිබඳ ස්වර්ණමය යුගයක් විය. මේ කාලයේ දී ආසියාවේ බොහෝ රටවලට පැතිර ගියේ මහායාන බුදු දහමයි. චීනය, ජපානය, කොරියාව, මොංගෝලියාව, තිබ්බතය යන රටවල් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ ප්‍රචාරයේ දී වුව සම්ප්‍රදායෙහි කිසිදු වෙනසක් දක්නට නැත.

අශෝක ධර්ම ප්‍රචාරයේ දී ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරය සඳහා දූතයන් පැමිණියේ මහා මහින්ද රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය බෞද්ධ ඉතිහාසයේ පෙනෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ ඵලදායක සිද්ධියක් හැටියට හඳුන්වා දිය යුතුව තිබේ. මක්නිසාද? එය ලෝකයේ බෞද්ධ රටවල් අතර මුල් බුදු සමය ස්ථාවරත්වයට පත් වූ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වූ හෙයිනි. පරපුරෙන් පරපුර වාචිකාමාර්ගයෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ වචනයට ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු කාර්යය සිදුවූයේ ශ්‍රී ලංකාවේ දී ය. වට්ඨගාමිණි අභය රජුගේ කාලයේ දී ජනපද ප්‍රධානියෙකුගේ අනුග්‍රහය ඇතිව මාතලේ අලුලෙන් විහාරයේ දී සිදු වූ මේ ඓතිහාසික සිද්ධියේ වැදගත්කම ආවාච බව කිව යුතු ය. කාලයත් සමඟම හැදී වැඩී ගිය විවිධ බෞද්ධ නිකාය අතර බුද්ධ ධර්මය හා දර්ශනය අතර හටගත් වාද විවාද මතිමතාන්තර කෙතරම් ද කෙබඳු ද යන්න ශාසන ඉතිහාසයෙන් අපට පෙනේ. ඒවායේ ශීඝ්‍ර දියුණුව හා ව්‍යාප්තිය නිසා පාලි ත්‍රිපිටකය වෙනුවට භාෂාන්තර ත්‍රිපිටක පාලි අටුවා වෙනුවට විභාෂා ග්‍රන්ථ සූත්‍ර පිටකයේ දක්නට නොලැබෙන මහායාන සූත්‍ර ධර්ම ආදිය බෙහෙවින් රචිත වූ බව පෙනේ. ථෙරවාදී බොහෝ රටවල ස්ථාවර නොවූ අතර මහායාන බෞද්ධ රටවල සංඛ්‍යාව මෙන්ම පඬිවරුන්ගේ සංඛ්‍යාව විශාල විය. මේ තත්ත්වය උඩ ශ්‍රී ලංකාව තුළ පාලි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වී නොපැවැත්තේ නම් බාගදා අදවන විට මුල් බුදුසමයේ තත්ත්වය හදාරා තුලනාත්මක බෞද්ධ අධ්‍යයනයකට ලැබෙන ඉඩකඩ ඇහිරී යන්නට ඉඩ තිබුණේ ය.

ලංකාව තුළ ථෙරවාදී ධර්මය තහවුරු වීමට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය ප්‍රධාන නම් හේතුව විය. මහා විහාරයේ ස්ථාවරත්වය හා ඒ ඇසුරේ ව්‍යාප්ත වී ගිය ආගමික අධ්‍යාපනය ද බලවත් සහායක් විය. මහාවිහාර සම්ප්‍රදායට අයත් පඬිවරුන්ගේ අටුවා, ටීකා ව්‍යාඛ්‍යාකරණය මුළුමනින්ම ථෙරවාද ත්‍රිපිටකය ගුරු කොට ගනිමින් එකී ආචාර්ය මතවාද වලට අනුගුණව සිදුවිය. මේ සියලු කරුණු අතරට ථෙරවාද සම්ප්‍රදාය මඟින් හික්මවනු ලැබූ පොදුජනතාවගේ ආගමික චින්තන රටාව වෙනතක යොමුකිරීමට අපහසු වන තරමින් පාරම්පරික සංස්කෘතික ලක්‍ෂණ වලින් තහවුරුව පැවැත්තේ ය. ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රාජ්‍ය අවසන් වනතුරුත් මෙකී ථෙරවාද බුදුදහම ඒ රාජ්‍ය ආගමේ තත්ත්වයෙන් දීප්ති විය. ආගමික ප්‍රචාර, දූතකාර්ය, අධ්‍යාපනය සහ සංස්කෘතික සම්බන්ධතාවලින් අන්තර් ජාතික කීර්තියක් සදහටම ශ්‍රී ලංකාව අත්පත් කොට ගත්තේ ය.

16 වන සියවසින් පසු බෞද්ධ ධර්මදූත සේවය

එක්දහස් පන්සිය පහෙන් (1505) පසු එනම් යටත්විජිත වාදීන්ගේ පාලන ක්‍රම මෙරටට රිංගාගත් තැන් පටන් ම ආගමික වශයෙන් මෙරටට උරුමව පැවති, සුරක්‍ෂිත කොටගෙන තිබුණු ව්‍යාප්ත කළ අනන්‍යතාව සිදුවූයේ පළුද්දක්මය. එමඟින් අලුත් වාසි අත්පත් කරගනු තබා දිවයින තුළ බෞද්ධකම රැකගෙන ආත්ම ගෞරවයෙන් ජීවත්වීමට පවා ගැටලුවක් විය. එක්දහස් නවසිය පනහ දශකයේ දී බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාවෙන් පෙන්වා දී තිබෙන පරිදි ලංකාවේ සිංහල බෞද්ධයන් අමුතු අගතිගාමි අයුක්ති සහගත වාසි ලබනවා තබා කෙතරම් උරුම අයිතිවාසිකම් අහිමිකොට ගෙන සිටිනවාද යන වග අද නැවත නැවතත් හඬගා කිවයුතු තත්වයක් ඇත්තේ ය. අපට ඇති එකම සැනසීම නම් දහසකුත් එකක් බාධා හිරිහැර මැද්දේ, පීඩන තර්ජන මැද්දේ, මේ වනතුරු පිරිසුදු නිර්මල බුදුදහමත් අපේ රටත් ජාතියත් සම්භාවනීයත්වයට පත් කළේ බෞද්ධ සංස්කෘතියත් විනාශකොට දැමීමට ඉඩ නොදී මේ වනතුරුත් ආරක්‍ෂා කොටගෙන තිබීමය.

ලෝකාර්ථය කැමැති වූ පරාර්ථකාමීන් කළාක් මෙන් අද අප විසින් ද කළ යුත්තේ ‘අපි මේ දහම රැකගතිමුයි’ කිය කියා සිටීම නොව ලොවට වැඩ පිණිස එය ලොවපුරා පතුරුවා හැරීමට දායක වීමයි. එය ධර්මයේ සුරක්‍ෂිත භාවයටත් හේතුවයි. අශෝක රජතුමාගේ ධර්ම ප්‍රචාරක මෙහෙය ජනිත වූ දඹදිවිනුත් නැතිව ගිය බුදුදහම සුරක්‍ෂිතවීමට හේතුවූ හැටි අපි දනිමු. මෙතෙක් ධර්මය රැකගත් අපේ රටටත් සිදුවිය හැකි දේ පිළිබඳ සහතිකයක් දිය හැක්කේ කාටද? මේ වනවිටත් අපට අහිමි වී ඇති ආගමික අයිතීන් කොපමණද? සමහරවිට ඒවා ගැන කතා කිරීම චෝදනාවකට මුල වීමක් විය හැකි ය.

එය කොයිහැටි වූවත් අද වර්තමානයේ ලංකාව මුහුණපා ඇති ප්‍රධාන වගකීමක් තිබේ.

ඉතිරි කොටස මාර්තු 30 වන දා පත්‍රයේ පළවේ

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]