UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෑලියගොඩ ගංගාරාමයේදී තායිලන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සඟරුවනට පූජා කෙරෙන වගයි

පෑලියගොඩ ගංගාරාමයේදී තායිලන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සඟරුවනට පූජා කෙරෙන වගයි

රටට ,දැයට හා අතිගරු ජනාධිපතිතුමාට සෙත්පතා පවත්වන ආශිර්වාදාත්මක පුණ්‍ය මහෝත්සවය මෙම 22 වනදා සවස 3 ට පෑලියගොඩ ගංගාරාමයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන්ගේ සහ කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන්ගේ හා එගොඩමුල්ලේ අමරමෝලි මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ. තායිලන්තයේ සිට වැඩම වන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා 200 ක් මෙරට දුෂ්කර ප්‍රදේශවල සහ උතුරු නැගෙනහිර විහාරස්ථානවලට පූජා කෙරේ.

තායි ශ්‍රී ලංකා සබඳතාවය දිරිගැන්වීමක්

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින ආගමික සබඳතාවය පිළිබද ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් පුරා විහිදී පවතින්නකි. මහනුවර යුගයේ පරිහානියට පත් ලක් බුදුසසුන යළි නගා සිටුවීම සඳහා තායි දේශයෙන් ලැබුණ සහාය නොකැඩී නොනැසී අදද පවතී. තායිලන්තයේ සැදැහැබර දායක දායිකා පිරිසක් විසින් පරිත්‍යාග කරන ලද අගනා බුද්ධ ප්‍රතිමා දෙසිය නමක් පමණ ලක්දිව ග්‍රාමීය ප්‍රදේශවල විහාරාරාම අතරේ බෙදාදෙන මේ අනුස්මරණීය මොහොතෙහි එකී පරිත්‍යාගය සිදුකළ පිනැතියන්ටත් පොදුවේ තායි රට වාසින්ටත් මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමි.


අසිරිමත් පූජාවක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වය මගින් තායිදේශයේ සිට වැඩමවන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙසිය නමක් පමණ ලක් බුදු සසුනට පුද කෙරෙන මේ මොහොතේ බෞද්ධ ජනතාවගේම ගෞරවයට පාත්‍රවන්නකි. විවිධ දුෂ්කරතා මැද පවත්වාගෙන යනු ලබන අපේ පිටිසරබද වෙහෙර විහාරවලට මෙවැනි පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු සංවිධානය කිරීම පිළිබඳව ඉහත සඳහන් නිකායේ මහා ලේඛකාධිකාරි වල්පොල විමලඤාණ හිමියන්ටත්, එම නිකායේ සියලු මහා සංඝරත්නයටත් අපේ ආශිර්වාදය පුද කෙරෙන අතර මේ අගනා බුද්ධ ප්‍රතිමා පූජාකරන ලද තායිලන්තයේ සැදැහැවතුන්ටත් පොදුවේ තායිවැසියන්ටත් මෙත්සිත් පෙරදැරිව මෙසේ පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමි.


රටට ආශිර්වාදයක්

ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ සංවිධායකත්වයෙන් තායිලන්තයෙන් වැඩමවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙසිය නමක් පමණ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන අතරේ බෙදාදෙන මේ මොහොත හැම දෙනාගේම සිත් තුළ බුදුබැතිය වඩවන අවස්ථාවකි. බුදුදහම එරටට හඳුන්වාදුන් යුගයේ සිට මේ දක්වා ප්‍රතිමා නිර්මාණය පිළිබඳව තායි වැසියන් දක්වන්නේ දැඩි උනන්දුවකි. ඉන්දියාවේ පාල සේන යුග දක්වා ඉදිවූ පිළිමවල ආභාෂය හා ඉන්දුනීසියානු බුද්ධ ප්‍රතිමාවල ආභාෂයද තායි පිළිම තුළින් දැකිය හැකිය. එසේම බුරුමයේ අනුරුද්ධ රාජ්‍ය යුගයේ ප්‍රතිමාවල සේයාවක්ද ඒ අතර දක්නට ලැබෙයි. මෙහි වටිනා බුද්ධ ප්‍රතිමා සමූහයක් එක්වර අප රටට දායාදකොට දීම පිළිබඳව අප රට වාසීන්ගේ ගෞරවාදරය තායි ජනතාවටම හිමිවිය යුතුය.


අනුස්මරණීය පින්කමක්

තායිදේශයේ සිට වැඩමවන ලද බුද්ධප්‍රතිමා වහන්සේ දෙසිය නමක් පමණ ලංකාවේ ඈත පිටිසර ගම්මානවල විහාරස්ථානවලට පූජා කෙරෙන මේ මොහොත ශ්‍රී ලංකාද්වීපයට ඉමහත් ගෞරවයකි. බුදුපිළිමය තරම් කෙනෙකුගේ සිත පහන් කෙරෙන වෙනත් පූජනීය සංකේතයක් ඇතැයි නොසිතේ. මේ උතුම් පරිත්‍යාගය අපට ලබාදුන් තායි දායක කාරකාදීන්ටත් පොදුවේ මුලු මහත් තායි ජනතාවටත් මෙය සංවිධානය කළ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායටත් ආශිර්වාද කරනු කැමැත්තෙමි.


උතුම් පරිත්‍යාගයක්

ශත වර්ෂයකට වඩා වැඩි කාල පරාසයක් තුළ අප නිකාය මගින් රටට, ජනතාවට සමාජයට සිදුකළ සේවය අතිමහත්ය. එකී සේවාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් අප ලේඛකාධිකාරි ආචාර්ය වල්පොල විමලඤාණ හිමියන්ගේ අප්‍රතිහත ධෛය¸යෙන් හා අප නිකායේ පූර්ණ සංවිධායකත්වයෙන් මෙසේ තායි දේශයේ සිට බුද්ධ ප්‍රතිමා දෙසිය නමක් පමණ මහසඟරුවනට පූජාකරන මේ අවස්ථාව අප සැම දෙනාගේම සිත් තුළ බුදුබැතිය වඩාලන මොහොතකි. තායිලන්තයෙන් ලැබුණ මේ අගනා පරිත්‍යාගය අප දෙරටේ ආගමික සම්බන්ධතාවය වඩ වාලන්නකි. එසේම මේ බුද්ධප්‍රතිමා වහන්සේ ලංකාවට පරිත්‍යාග කළ තායි මහා සංඝරත්නටත් ගිහි බෞද්ධ පින්වතුන්ටත් තුණුරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුවවේවා! දිගාසිරි සම්පත් ලැබේවා!


ලක් බුදු සසුනට ආලෝකයක්

අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ සසුන් මෙහෙවර වඩාත් දිරිගන්වමින් තායිලන්තයෙන් වැඩමවන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙසිය නමක් පමණ සතර දිගින් වැඩමවන මහා සංඝරත්නයට පූජා කරන්නට මෙසේ අවස්ථාවක් ලබා ගැනීමට ලැබීම ඉමහත් භාග්‍යයක් සේ සළකමු. මේ උතුම් කාර්යය සඵලවත් කර ගැනීම සඳහා අපට අත දුන් බැංකොක් නගරයේ වට්යරොම් විහාරයේ අධිපති සෝපික් බුන්යතෝන් නාහිමියන්ටත් පෙරූන් මැතිතුමාටත්, රක්තියා මැතිනියටත් පොදුවේ තායි ජනතාවටත් පින් දෙමු. එසේම මේ සද්කාර්යයට විවිධ අයුරින් දායක වූ සෝමා වීරකෝන්, නන්දදාස රාජපක්‍ෂ මැතිතුමන්ලා ප්‍රමුඛ සියලු දායක කාරකාදීන්ටද පුණ්‍යානුමෝදනා කරන අතර මේ උතුම් පරිත්‍යාගය අප දෙරටේ ආගමික සමගිය තව තවත් තහවුරු වීමට හේතුසාධක වේවායයි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.


සිත් නිවාලන පින්කමක්

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් රටට ජාතියට හා රණවිරු සැමටත් සෙත්පතා තායිදේශයෙන් වැඩමවන ලද බුද්ධ ප්‍රතිමා දෙසිය නමක් ලක්දිව දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට පූජා කිරීමට අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ මහාලේඛකාධිකාරි ආචාර්ය වල්පොල විමලඤාණ හිමියෝ සංවිධානය කොට ඇත.

තායිලන්ත බැතිමතුන් විසින් පිරිනමා ඇති මේ බුද්ධ ප්‍රතිමා පූජාව ශතවර්ෂ ගණනාවක් පුරා ඒකාබද්ධ වී පවතින තායි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම වඩාත් තහවුරු කරන්නකි.

මේ දෙරට අතර ගොඩනැගෙන මේ සම්බන්ධතාවය පොදුවේ බෞද්ධ රටවල් අතරද තහවුරු කරගැනීම කාලීන අවශ්‍යතාවයකි.මේ උතුම් පරිත්‍යාගය සඳහා දායක වූ තායි පිනැතියන්ටත්, පොදුවේ තායි ජනතාවටත් අපේ හෘදයංගම ආශිර්වාදය පුදකරනු කැමැත්තෙමි.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]