UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

මහරගම නන්ද නා හිමි

උගත්,දහම් දරණ මෛත්‍රී සහගත වැටහෙන නුවණින් හෙබි පුද්ගලයා ඇසුරට සුදුස්සෙක වෙයි.ලක් බුදු සසුන් කෙත හෙබ වූ , හොබවන බොහෝ සංඝ නේතෘවරයෝ මේ මහානීය ගුණයෙන්, දහමින් පිරිපුන් පුරුෂ ශ්‍රේෂ්ඨයෝ වූහ. අප මේ වෑයම් කරන්නේ එබඳු ගුණ මිණි රුවනින් සසුන් කෙත හොබවන තම ජීවිතයේ සැට වෙනි ජන්ම දිනය සිහිපත් කරන විචිත්‍රභාණි මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද පළකිරීමටයි.

වර්තමාන යුගයේ පරිත්‍රාණ දේශනයක් අංග සම්පූර්ණ වීමට අවශ්‍යම දේශකයන් වහන්සේ නමක් වශයෙන් මහරගම නන්ද නාහිමියෝ ජනපි‍්‍රය වූහ. ඒ අවශ්‍යතාවය දේශීය මෙන්ම ජාත්‍යන්තරවත් සිදුවන අතර ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය තුළත් පැතිර ගොස් ඇති බව ප්‍රකට කරුණකි.

පැරණි මහ තෙරවරුන් තුළ පැවති පිරිපුන් භික්‍ෂු ආකල්ප, තෙරුවන් කෙරෙහි ඇති අපරිමිත ගෞරවාදරය, තම ආචාර්ය ප්‍රවේණිය වෙනුවෙන් දක්වන මහඟු ඇල්ම,පොදු මහජනතාවගේ දෙලොව සුබසිද්ධිය සඳහා ඇපකැපවීම වැනි සුප්‍රතිපන්න ගුණයෙන් උපශාන්ත මහානීය යතිවරයන් වැඩසිටිනා කල ශාසනය නිසැක වශයෙන්ම උතුම් පින්කෙතක් වනවාමය.

නිරන්තරයෙන් සන්තුෂ්ටිය පරම ධනය කර ගත්, මෛත්‍රි විහරණයෙහි නියුතු මෙම මහා යතීන්ද්‍රයන් වහන්සේ, ලෝ සසුන් වැඩ වැඩීම පිණිස සිය කාලයත්, ශ්‍රමයත්, ශක්තියත් කැප කරමින් සලසන ලද සේවය සඳහා කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරය, නිවන්තිඩිය මහේන්ද්‍රාරාම විහාරස්ථානය, නාවින්නේ ඉසිපතනාරාමය , පානදුර ගල්තුඩේ සිරි සිද්ධත්තාරාමය යන විහාරස්ථාන සාක්ෂි දරයි.

1954 පෙබරවාරි 09 වන දින මහරගම දී ජන්ම ලාභය ලද නාහිමියෝ 1968 නොවැම්බර් මස විසි දෙවෙනි දින පැවිදි බිමට ඇතුළත් වූහ. උන්වහන්සේගේ ගුරු දේවයන් වහන්සේලා වූයේ නාවින්න ඉසිපතනාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, කර්මවාගාචාර්ය හෝකන්දර ධම්මානන්ද නාහිමියන් සහ හෝකන්දර ශ්‍රී විමල නාහිමියන් සහ කොල්ලුපිටිය වාලුකාරාමාධිපතිව වැඩ විසූ නිවන්තිඩියේ ආනන්ද නාහිමියන් යන නාහිමිවරුන්ය. උපාධ්‍යයන් වහන්සේ වශයෙන් වැඩ සිට ඇත්තේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර රාජකීය පණ්ඩිත රද්දැල්ලේ පඤ්ඤාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය.

තම ගුරුදෙවෝත්තමයාණන් වහන්සේලාගේ පා සෙවණේ බණ දහම් පොත් කියවීමෙන් පසුව මහරගම නන්ද කුඩා හෙරණපාණෝ පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් වී ත්‍රිපිටක ධර්මය හා ශබ්ද ශාස්ත්‍රය පිළිබද වැඩිදුර ඉගෙනුම කළහ. විසිවයස් සපිරි මහරගම නන්ද කුඩා සාමණේරයන් වහන්සේ 1974 ජුනි නව වන දින කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූහ.කුඩා කල පටන්ම ඉතා මිහිරි කටහඬකින් ලයාන්විතව ගාථා, ශ්ලෝක සජ්ඣායනා කරමින් පිරිත් දේශනාවට මහරගම නන්ද කුඩා හාමුදුරුවන් දැක්වූයේ මහත් ඇල්මකි. වයස අවු 16 පමණ වන විට නාහිමියෝ පිරිත් දේශනාවට නොබියවම ඉදිරිපත් වූහ. සල්පිටි කෝරලයේ එවකට ඉතා චිරප්‍රසිද්ධ විද්‍යාස්ථානයක් වූ මාම්පේ ශ්‍රී‍්‍ර සෝභිත පිරිවෙනෙහි පරිවේණාධිපතිව වැඩ සිටි කුරාලේවෙල සංඝරක්ඛිත මාහිමිපාණෝ පිරිත සඳහා නාහිමියන්ට මුලික ගුරුහරුකම ලබා දුන්හ. තරුණ අවධියේ සිටම සුප්‍රකට සරභඤ්ජ පරිත්‍රාණ ධර්ම දේශකයාණන් කෙනෙකු වශයෙන් ඉමහත් ගෞරවාදරයට පත් මහරගම නන්ද නාහිමිපාණෝ පිරිත් අනුශාසනා විෂයෙහිද විශේෂ නිපුණත්වයක් පළ කළ යතිවරයෙක් වූහ. එම කාලයේ පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වීමේ නිපුණ වූ සුප්‍රසිද්ධ පරිත්ත භානක සරභඤ්ජ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වූ වත්තල ශ්‍රී සීලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පලාතොට ශ්‍රී ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග එක්ව පිරිත් පිරීමෙහිලා උන්වහන්සේ සුවිශේෂි නිපුණත්වයක් පළකර ඇත. අප රටේ ජනපි‍්‍රය දේශනා ක්‍රමයක්ව පැවති යුගාසන ධර්ම දේශනයෙහි නාහිමියන් දක්වන විශේෂ දක්ෂතාව බැතිමතුන් සැදැහැයෙන් යුතුව සිහිපත් කරනු ලබයි.

1974 වර්ෂයේ පැවති ත්‍රිපිටක සජ්ක්‍ධායනාව සඳහා සහභාගි වූ මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුරාලේවෙල සංඝරක්ඛිත මාහිමියන් සමග යුග දේශනාව පවත්වමින් ත්‍රිපිටක ධර්ම සංඝායනාව සඳහා තම දායකත්වය ලබා දීමට තරම් භාග්‍යයවන්තයෙකු විය.

තමන් වහන්සේගේ ආධිපත්‍යයෙන් පවත්නා විහාර ආරාම සකලාංගයන්ගෙන් සමලංකෘතභාවයට පත් කිරීම සඳහා මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගන්නේ මහත් උත්සාහයකි. නිවන්තිඩියේ ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානය, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරස්ථානය යන විහාරස්ථාන පමණක් සලකා බලන කල මහරගම නන්ද නාහිමියන් අප්‍රතිහත ධෛර්යයකින් සහ නොපසුබස්නා වීර්යයෙන් ක්‍රියා කළ මහා යුග පුරුෂයෙකු වශයෙන් සඳහන් කළ හැකිය.ලක්දිව වෙහෙර විහාරස්ථාන අතර කොල්ලුපිටියේ වාලුකාරාමයට ද ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. අදත් ඒ පැරණි ශ්‍රී විභූ®තිය ඇති කරවනු වස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක අග්ග මහා පණ්ඩිත බෙල්ලන ඥානවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වඩා හිඳුවාගෙන මැනවින් උවටැන් කරමින් සිදු කරන්නේ මහත් කෘතවේදි බවකි.

විදේශ රටවල වාසය කරනු ලබන බෞද්ධ මහජනතාව විසින් කරනු ලබන ආරාධනා පිළිගෙන ආසියා, යුරෝපා රටවලට වැඩම කරමින් අබෞද්ධ ජනතාවගේද සිත් සැනසෙන අයුරින් පිරිත් ධර්ම දේශනාව පවත්වමින් මහ¼ගු සේවාවක් මෙයට අමතරව සිදු කරනු ලබයි.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් වැඩසිටින මහරගම නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත 1988 වසරෙහිදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණී කාරක සභික ධුරය පිරිනමන්නට විය. 1989 දී එම සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරයක්ද නාහිමියන් වෙත පිරිනමන්නට විය. තවද කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් සරභඤ්ඤ විශාරද ගෞරව නාමය සහිතව “ ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ විහාර වංශාලංකාර “ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියද පිරිනමන්නට විය.

මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරව සම්මාන කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූහ. උන්වහන්සේගෙන් ඉටුවන ලෝක ශාසනික මහා සේවාව අගය කරමින් උන්වහන්සේගේ දිවි ගමනේ 60 වෙනි ජන්ම දිනය යෙදෙන මේ ආනන්දජනක අවස්ථාවේදී මල්වතු මහා විහාර සංඝ සභාව ම¼ගින්ද විශේෂ ගෞරව නාම සම්මුතියක් උන්වහන්සේට පුදනු ලබයි. මෙය සුවිශේෂි අවස්ථාවකි. සරභඤ්ඤ විශාරද සහ මහරගම නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ් පැවැත්ම සඳහා සවිබල සම්පන්න, ගුණ නැණයෙන් යුක්ත ශිෂ්‍ය පිරිසක් සැකසීම සහ එම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ ගැනීම නාහිමියන් සිදු කරන ලද විශිෂ්ටතම සේවය වශයෙන් සඳහන් කළ යුතුය.

උතුම් මානව ගුණධර්ම අනුගමනය කරමින්, අපේ පැරණි බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට වෙර දරන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, විචිත්‍රභානී, සරභඤ්ඤ විශාරද කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව සසුන් වැඩ වඩන්නට ශක්තිය ලැබේවා.!


ඉන්දොලේ පඤ්ඤාරතන නා හිමි

පෞද්ගලික ලාභාපේක්‍ෂාවෙන් තොරව පරාර්ථ සාධනය උදෙසා ස්වකීය ජීවිත කාලය කැප කරන්නෝ ලොව දුර්ලභ වෙති. එවැනි දුර්ලභ ගණයේ යතිවරයාණන් වහන්සේ නමකි, මල්වාන ලෙනගම්පල රජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, මීගමු පළාත සහිත සීනාදි සිව්කෝරළයේ ද්විතීය අධිකරණ සංඝනායක ඉන්දොලේ පඤ්ඤාරතන නාහිමි.

1952 පෙබරවාරි 10 දින කේ.පොඩි මැණිකේ ඇල්.ඒ. විලියම් සිංඤෝ යන මව්පිය දෙපළට දාව දොම්පේ ඉන්දොලමුල්ල ග්‍රාමයේදී උපත ලබා මූලික අධ්‍යාපනය ඉන්දොලමුල්ල කනිෂ්ඨ විදුහලෙන් ලැබීය.පාළුගම පඤ්ඤාලෝක, ඉන්දොලේ පඤ්ඤාසාර වානළුවාවේ පඤ්ඤාසිරි යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1962 නොවැම්බර් 09 දින ඉන්දොලේ පඤ්ඤාරතන යන පැවිදි නාමයෙන් ඉන්දොලමුල්ල පුරාණ විහාරයේදි පැවිදි බිමට ඇතුලත් විය.බැන්ඩියමුල්ල විද්‍යාශේඛර, මණ්ඩාවල නන්දාරාම, දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප යන පරිවේණාස්ථාන වලින් සිංහල පාලි සංස්කෘත ත්‍රිපිටකාදි ධර්ම හදාරා 1972 ජුනි මස 18 දින මහනුවර මල්වතු මහා විහාරීයීය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා භූමියට ඇතුළත් වූ පඤ්ඤාරතන හිමියෝ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේද පුහුණුව ලැබූහ. අනතුරුව දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ ආචාර්යවරයාණන් වහන්සේ නමක් ලෙස අවු 23 ක් කටයුතු කළ උන්වහන්සේ විශ්‍රාම යන විට සහකාර පරිවෙණාධිපති තනතුර දැරූහ.දොම්පේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බළ මණ්ඩලයේ ලේකම් තනතුර ඇතුළු විවිධ සංවිධානවල තනතුරු දරමින් ජාතික ආගමික කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියාකළ පඤ්ඤාරතන හිමියෝ ප්‍රදීපගම ශ්‍රී සෝමාලංකාරාම විහාරයේ නිර්මාතෘවරයාද වූහ.

ශාස්ත්‍රපති මකුළුදූවේ නන්දරතන, පණ්ඩිත අල්ගම සෝමරතන, ශාස්ත්‍රවේදී පොල්ලමුරේ සීවලි යන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඇතුළු උගත් සිසු පරපුරක් ශාසනයට දායාද කරමින් සිය විහාරස්ථානවල සියලු වගකීම් ශිෂ්‍යයන් වහන්සේලාට භාර කරමින් විශාල සතුටක් භුක්ති විදින පඤ්ඤාරතන නාහිමියෝ 2014 පෙබරවාරි 10 දින 62 වැනි වියට පා තැබූහ.උන්වහන්සේට ආශිර්වාද පිණිස මල්වාන ලෙනගම්පල රජමහා විහාරයේදී පින්කම් මාලාවක් පැවැත්විණි.අතිගරු නායක හිමියනටචිර ජීවනය ප්‍රාර්ථනය කරමි


මිණිගමුවේ රතනපාල හිමි

මහනුවර, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක මහා සංඝ සභා සම්මතයෙන්, මල්වතු මහා විහාරවාසී,ගොකරැල්ල රම්මණ්ඩා පොකුණ විහාරාධිපති, මල්වතු මහා විහාරයීය, සංඝරාජ, පිරිවෙන් ආචාර්ය, දර්ශනපති, මිණිගමුවේ,රතනපාල හිමියන් කාරක සංඝ සභික ධුරයකට පත් කර ඇත.

1963 දී මහනුවර දිස්ත්‍රික්කයේ, ගලගෙදර , මිණිගමුව ග්‍රාමයේදි ජන්ම ලාභය ලැබූ මිණිගමුවේ,රතනපාල හිමියන් මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික අපවත් වී වදාළ හිරියාල හත්පත්තුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, ගොකරැල්ල රම්මණ්ඩා පොකුණ විහාරාධිපති කුළුගම්මන ශ්‍රී සිද්ධාර්ථ සීලරතන නාහිමිගේ ශිෂ්‍යරත්නයක් ලෙස 1979 දී පැවිදි බිමට ඇතුළත් වූ රතනපාල හිමියෝ’ ගොකරැල්ල පොල්ගොල්ල ශාස්ත්‍රරවින්ද පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රය හදාරා 1984 දී අපවත්වී වදාළ සිරිමල්වත්තේ, විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත, ආනන්ද මල්වතු පාර්ශ්වයේ මාහිමිපාණන් පදවිය හෙබවූ උපසම්පදා මංගල්‍ය මාසයේ රාජකීය පණ්ඩිත රත්හින්දේ අනෝමදස්සි එවකට මල්වතු මහා විහාරයේ ලේඛකාධිකාරිවූ වත්මන් අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන්ගේ කර්මාචාර්යත්වයෙන් අධිශිල් ලැබූහ.

1990 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ රතනපාල හිමියෝ 1986 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1992 දී සිංහල විශේෂවේදී උපාධිය පංති සමර්ථයක් සහිතව ලබා 2001 දී දර්ශනපති උපාධියද 2006 දී අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගත්හ. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය සම්බන්ධව දර්ශනසූරි උපාධිය හදාරන රතනපාල හිමියෝ, ගොකරැල්ල රම්මණ්ඩා පොකුණ විහාරස්ථ ශ්‍රී ගෝතමී දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන්ද ඉබ්බාගමුව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ අංක දෙක කලාපයේ ලේඛකාධිකාරි වශයෙන් ද කලාපයේ දහම් පාසල් ධර්ම අධ්‍යාපන තත්වය උසස් මට්ටමකට පත්කර දිවයිනේ දහම් අධ්‍යාපනයේ දක්ෂ දූ දරු පිරිසක් බිහි කිරීමට මූලිකව කටයුතු කරන දහම් පාසල් පරිපාලනයේ උසස් ප්‍රතිඵල වයඹ පළාතෙන් ප්‍රකාශ කළ ධර්මධර බහුශ්‍රැත පඩිරුවනකි.

මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාළගාවේ ශ්‍රී‍්‍ර දළදා සමිඳු තේවා කටයුතු වල දැනට වැඩ සිටිමින් ශ්‍රී දළදා සමිඳු තේවා සම්ප්‍රදායන් ගරුකරමින්, ශ්‍රී දළදා මාළිගාවේ ආගමික කටයුතු වලද නිරතවෙමින්, මල් වතු මහා විහාරයීය සංඝරාජ පිරිවෙනේ ධර්මාචාර්ය වශයෙන් ධර්ම ශාස්ත්‍රිය කටයුතුවලද නිරතව සිටින මිණිගමුවෙ රතනපාල හිමියෝ මල්වතු මහා විහාරයීය ආගමික, සංස්කෘතික හා සමාජ සත්කාර කටයුතුවලටද සම්බන්ධව විශේෂයෙන් උපසම්පදා විනය කර්ම අවස්ථාවන්හි ආගන්තුක සේවාවන්හි නිරතව සිටිති. පුවත් පත් ශාස්ත්‍රීය සගරාවන්හි ලේඛකයෙකු වශයෙන් ද ධර්මකථිකයෙකු වශයෙන්ද ප්‍රසිද්ධ රතනපාල හිමි සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයෙහි නිරූපිත බුද්ධ සංකල්පය ග්‍රන්ථයේ කතුවරයාද වේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]