UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුනඹර බබළවන මහා පහන් ටැඹ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

සසුනඹර බබළවන මහා පහන් ටැඹ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන්ගේ 77 වන ජන්ම දින සමරුව නිමිත්තෙනි.

ආගමික, සාමාජික, අධ්‍යාපන මෙහෙවර නොපසුබටව ඉටු කරන නා හිමියන්ගේ උපදෙසින් විද්‍යාලංකාර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිවාස, රෝද පුටු, කිහිලි කරු, සනීපාරක්‍ෂක උපකරණ, කෘත්‍රිම පාද ලබාදීම මෙන්ම දුෂ්කර ප්‍රදේශවල අසරණ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදු කැරේ.මෙලෙස මුදලින් ලක්‍ෂ ගණන් පරිත්‍යාග කරමින් නිහඬව සමාජ මෙහෙවරක නියැළෙන ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ නාමය කියැවෙද්දී අපට මතකය අවදිවන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන යන කීර්ති නාමයත් සමඟය.බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් බඳු වූ විද්‍යාලංකාර පිරිවෙන භික්‍ෂූන් වහන්සේලා රැසකගේ නුවණැස පාදන සදහම් තක්‍ෂිලාවකි.

පිරිත් සහ ධර්ම දේශනා පුහුණුව ලබා දෙන මෙහි ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පාලි හා බුද්ධ ධර්මය ද මනාව ඉගැන්වෙයි.

කාව්‍ය ගායනය, වාද විවාද සංවාද කතා පුහුණුව ආදී පාඨමාලාවන් සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ඉංගී‍්‍රසි මාධ්‍යයන්ගෙන් ඉගෙන ගැනීමට භික්‍ෂූන් වහන්සේලාට මෙහිදී කදිම අවස්ථාවක් සලසා දී තිබෙයි.

විද්‍යාලංකාර පුස්තකාලය ලොව විවිධ භාෂාවන්ගෙන් රචනා වී ඇති දුර්ලභ ගණයේ වටිනා පොත් රැසකින් පරිපූර්ණය. චීන, බුරුම, සංස්කෘත ආදිය භාෂාවන්ගෙන් රචනා වූ ත්‍රිපිටකය ද අවුරුදු 3 යි මාස 5 යි දින 15 ක් පුරා විදුලකර පින්බිමෙහි පැවැති ධර්ම සංඝායනාවේ දී සංස්කරණය වූ ත්‍රිපිටකය ද එහි පරිශීලනයට අවස්ථාව උදාකර තිබේ. මෙවන් මෙහෙවරක් ඉටුවන විදුලකර පිරිවෙනෙහි උන්නතියට මෑත යුගයේ ඇප කැප වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමියන් සහ කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් වැනි සංඝ පීතෘවරයන්ගේ සේවය ඉතා විශිෂ්ට ය.

මෙම උතුම් කර්තව්‍ය තවත් ඉදිරියට ගෙන යමින් විද්‍යාලංකාර පිරිවෙනෙහි හත්වන පරිවෙණාධිපති වීමට භාග්‍ය ලැබුවේ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ ය.

මෙම පෙබරවාරි මස 20 වනදාට 77 වන ජන්ම දිනය සපුරණ නා හිමියන් වහන්සේ 1937 පෙබරවාරි මස 20 වන දා පින්වත් කුමරකු ලෙසින් මෙලොව එළිය දුටුවේ ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘වැලමිටියාව‘ නම් වූ සොඳුරු ග්‍රාමයෙහි ජන්ම ලාභය ලැබූ කුසලධම්ම නා හිමියන්ගේ ගිහිකල නාමය පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර වූයේ ය.

සොයුරු සොයුරියන් හත් දෙනෙකු මධ්‍යයේ හැදී වැඩුණු මෙම කුල කුමරු පවුලේ සිව්වන දරුවා ය. පලිහවඩන ආරච්ච්ලාගේ ජෝන් සිඤ්ඤො පියාණන් වූ අතර රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා මෑණියන් වූවා ය.

කුඩා කල සිටම ආගමට දහමට ලැදි වූ ‘ටිකිරි බණ්ඩා’ සුපින්බර පුතණුවන් මව්පියන් විසින් සසුනට පූජා කළේ 1950 වසරේදීය.

කිරිවත්තුඩුව ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් යටතේ පැවිදි වූ කුසලධම්ම හිමියෝ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමියන්ගේ සෙවණෙහි හැදී වැඩුණහ. විද්‍යාලංකාර සම්ප්‍රදායන් එහි ගමන් මඟත් මැනවින් පසක් කළ උන්වහන්සේ විද්‍යාලංකාර සරසවියෙන් ගෞරව උපාධිය සමත් වූහ.

1963 වසරේ දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මූලික කරගනිමින් ධර්ම ශාස්ත්‍ර කටයුතු ඇරැඹූ කුසල ධම්ම හිමියෝ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ, උප පරිවෙණාධිපති, පරිවෙණාධිපති ධූර දැරූහ. නිසි වියට පත් වුණු උන්වහන්සේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ සේක. 1983 වසරේ දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවෙණාධිපති ධූරයට පත් වූ නා හිමියන් වහන්සේ 1989 වසරේ දී විද්‍යාලංකාර පරිවෙණාධිපති පදවිය ලදහ.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද පිදුම් ලැබූහ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, ගම්පහ දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලය, සාමණේර භික්‍ෂූ ආයතනයේ අධීක්‍ෂණ කමිටුව, බුද්ධශාසන අමාත්‍යාංශයේ උත්තරීතර මණ්ඩලය, බුද්ධ ශාසන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභාව ආදියෙහි සභාපති තනතුර දැරූහ.

මාතෘ භූමියෙන් එපිට විදේශීය රටවල ද තම නාමය බැබළ වූ නා හිමියෝ බුද්ධ රංසි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සහ පරම විඥානාර්ථ සමාගමේ අනුශාසකත්වය ද ලදහ.

එමෙන්ම අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේත් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලවලත් සාමාජිකත්වය ලැබූ උන්වහන්සේ විවිධ සංවිධාන හා ආයතනවලින් ගෞරව උපාධි සම්මුති නාම රැසකින් පිදුම් ලදහ.

අග්ගමහා සද්ධම්මජොතික ධජ (බුරුමය) මල්වතු මහා විහාරයේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය දර්ශන විශාරද ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පණ්ඩිත උපාධිය, මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ ශ්‍රී සුමංගල විද්‍යාවතංශ, වයඹ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වයඹ පුත්‍ර අභිනන්දන, සර්වෝදය භාරකාර අරමුදලෙහි සර්වෝදය සම්මාන, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය චක්‍රවර්ති ආදිය සම්මුති නාම රැසක් ලැබූහ. අමාත්‍යාංශ රැසක උපදේශන කමිටුවල සාමාජිකත්වය දරමින් බෞද්ධ කටයුතු හා උපදේශන පැවැත්වීම නා හිමියන්ගේ තවත් උදාර සේවයකි.

මෙසේ ආගමික, සාමාජික, අධ්‍යාපන මෙහෙවර නොපසුබටව ඉටු කරන නා හිමියන්ගේ උපදෙසින් විද්‍යාලංකාර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිවාස, රෝද පුටු, කිහිලි කරු, සනීපාරක්‍ෂක උපකරණ, කෘත්‍රිම පාද ලබාදීම මෙන්ම දුෂ්කර ප්‍රදේශවල අසරණ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදු කැරේ.මෙලෙස මුදලින් ලක්‍ෂ ගණන් පරිත්‍යාග කරමින් නිහඬව සමාජ මෙහෙවරක නියැළෙන ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

විචිත්‍ර ධර්ම කථික භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ප්‍රචලිත නා හිමියන් වහන්සේ කෙතරම් කාර්ය බහුල වුවද පිරිවෙනට සපැමිණෙන සැවොම සිනාමුසු මුහුණින් පිළිගෙන ඔවුන්ට ආශිර්වාද ආගන්තුක සත්කාරයන්හි නියැළෙන්නේ කාරුණික හදවතෙනි.

උන්වහන්සේට දිගාසිරි පතා විදුලකර ආදි සිසු භික්ෂූන් වහන්සේලා විසින් පවත්වනු ලබන පිරිත් සජ්ඣායනය නා හිමියන්ගේ කුටියේදී මෙම මස 19 වනදා පැවැති අතර කිරිබත්ගොඩ රෝහලේ රෝගීන්ට වාර්ෂිකව පිරිනමන ‘ගිලන් සංග්‍රහය’ මෙවරත් (20) සිදු කෙරේ. තවද නාහිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් උඩුපිල සහ වෑබොඩ වැඩිහිටි නිවාසයන්ට පිරිනමන දාන මාන ඇතුළු තවත් සුවිශේෂී පින්කම් රැසක් පැවැත්වේ.

දැයේ පිනට පහළ වූ නා හිමියන් වහන්සේට තව තවත් දේශයට ජාතියට ආගමට තම සේවය සැපිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය මෙන්ම දීර්ඝායු විඳීමේ වාසනාව උදාවේවා!

ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]