UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමි දරුවකු වෙනුවෙන් මවකගේ මෙත් සිතුවිලි

දැහැමි දරුවකු වෙනුවෙන් මවකගේ මෙත් සිතුවිලි

ඔබ බලාපොරෙත්තු වන්නේ දැහැමි සිතුවිලිවලින් යුක්ත දරුවකු නම්, ගුණවත් මවක හා පියකු වශයෙන් තමන්ගේ සිතුවිලි යහපත් කරගත යුතුයි. කායික, වාචසික, මානසික සංවරය පින්වත් දරුවකු බිහිවීමට මනා පිටිවහලක් වෙයි. පවුල තුළ යහපත් ආකල්ප දියුණුකර ගැනීමට ස්වාමිපුරුෂයාගෙන්ද භාර්යාවට ලැබිය යුත්තේ උදව්වකි. ස්වාමිපුරුෂයාගේ ආදරණීය රැකවරණය සහ අනුකම්පාව බෙහෙවින් හිමි විය යුතු කාලයකි මේ.

විවාහ ජීවිතයට පත් වූ ස්වාමිපුරුෂයකුගේ සහ භාර්යාවකගේ පහන් සිතුවිල්ල වනුයේ ගුණවත් පියකු හා මවක බවට පත්වීමයි. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් පියකු හා මවක වීමට අවැසි ගුණාංග සැවොම කෙරෙහි පිහිටා තිබේද? ‘කිංසු වත්ථු මනුස්සානං’ යනුවෙන් විමසූ පැනයකට බුදුරජාණන් වහන්සේ ලබාදුන් පිළිතුර වූයේ ‘පුත්තා වත්ථු මනුස්සානං’ යන්නය. ‘මිනිසුනට ඇති වස්තුව කිම? – දරුවන් තම වස්තුව වේය’ යනු එහි අර්ථයයි.

‘මාතෙතීති – මාතා’ හෝ ‘මමායතී මාතා’ යනුවෙන් විවරණය කරන පරිදි මාතා හෙවත් අම්මා යනු මාගේ කියමින් දරුවන් ආරක්‍ෂා කරන නිසා ලැබුණු නාමයකි. ‘රක්ඛතීති - පිතා’ යනුවෙන් විවරණය කරන පරිදි පිතා හෙවත් තාත්තා වන්නේ, මගේ මගේ කියමින් දරුවන්ට මැනැවින් රැකවරණය ලබාදෙන නිසාය.

ගුණවත් මවුපියන් වශයෙන්, යහපත් දරුවකු තැනීමට නම් ඒ සඳහා දරුවා මවුකුස සිටියදීම සිදුකළ යුතු වත් පිළිවෙත් ඇත. මව හා පියාගේ යහපත් චර්යාව, සංවරභාවය ඊට නිතැතින්ම බලපායි. සිත මුල්කරගත් ඉන්ද්‍රිය සංවරභාවය යහපත් දරුවකු බිහිකිරීමට බෙහෙවින් හේතු වෙයි.

බුද්ධකාලයෙහි සිටි කාණ මාතා නම් ගැබිනි මවක බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ මුණ ගැසී දෙවරක් සිල් සමාදන් වෙයි.ඒ දුටු අනෙකුත් ස්වාමින්වහන්සේ ඇයගෙන් විමසන්නේ ‘ඇයි ඔබ දෙවරක් සිල් සමාදන් වන්නේ?’ කියාය. ඇයගේ පිළිතුර වන්නේ ‘එක් වරක් මා සිල් සමාදන් වනුයේ මා සීලයේ පිහිටන්නයි. දෙවැනුව නැවත සිල් සමාදන් වූයේ කුසහොත් දරුවා සීලයෙහි පිහිටන්නයි’ යන්නය. ඒ අනුව, අපට පැහැදිලි වනුයේ බුද්ධකාලයේදීත් මවුකුසෙහි පටන් දරුවන් සකස් කිරීම තිබූ බවයි. අච්චරීය අබ්භූත සූත්‍රයෙහිත්, මහාමායා දේවිය සිල්වත්ව විසූ ආකාරය සඳහන් වෙයි.

මේ කරුණු වටහා ගනිමින් ඔබ බලාපොරෙත්තු වන්නේ දැහැමි සිතුවිලිවලින් යුක්ත දරුවකු නම්, ගුණවත් මවක වශයෙන් ඔබ තමන්ගේ සිතුවිලි යහපත් කරගත යුතුයි. කායික, වාචසික, මානසික සංවරය පින්වත් දරුවකු බිහිවීමට මනා පිටිවහලක් වෙයි. මවගේ ඉන්ද්‍රිය අසංවරය තුළ උපදින දරුවන්ගේද අසංවර ගතිපැවැතුම් ඇති බව අද සොයාගෙන ඇත. ඇමෙරිකානු ජාතික එඩ්ගා කේසිගේ ග්‍රන්ථයක පරිවර්තනයක් වන ‘සංසාර මන්දිර’ නම් කෘතියේ මේ බව පැහැදිලි කරන සිදුවීමක් දැක්වෙයි.

එක්තරා අමෙරිකානු යුවළකට දාව දරුවකු උපදියි. ඒ දරුවා කෙමෙන් වැඩෙද්දී ඔහුට කී‍්‍රඩා පිණිස සිය පියා නොයෙකුත් සෙල්ලම් බඩු ගෙනැවිත් දෙයි. එහෙත් ඒ දරුවා ඒ සියල්ල පොඩි කරමින් විසිකර දමයි. බහ තෝරන වයසේදීත් ඒ හැසිරීම ඒ අයුරෙන්ම තිබූ නිසා මෙම මවුපියන් කල්පනා කරන්නේ තම දරුවාට කායික රෝගයක් ඇත කියාය. මේ අසාමාන්‍ය හැසිරීම ඒ නිසා හට ගනී යැයි මවත් පියාත් කල්පනා කරති. ඒ අනුව එවකට අමෙරිකාවේ සිටි හොඳම වෛද්‍යවරුන් වෙත දරුවා රැගෙන යති. එහෙත් දරුවා පරීක්‍ෂා කරන වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට කායික රෝගයක් නොමැති බවයි.

පසුව එඩ්ගා කේසි ළඟට දරුවා රැගෙන යති. මවුපිය දෙදෙනා සමඟ කතා කිරීමේදී ඔහුට කරුණු වැටහිණ. එනම් මෙය කායික රෝගයක් නොව දරුවා මවුකුස සිටියදී ඇතිවූ මානසික විකෘතියක් කියාය. එඩ්ගා කේසි, මවගෙන් විමසා සිටියේ, දරුවා මවුකුස සිටියදී ඔබගේ හැසිරීම කෙබඳු වීද කියාය. තමන් එකල පුරුදු වූ නරක පුරුද්දක් ගැන ඇය එහිදී එඩ්ගා කේසිට කියා සිටියාය. ඇයගේ නිවෙස අසල බැටලුවන් ඝාතනය කරන ස්ථානයක් විය. එක් දිනක් මේ ගැබිනි මාතාව, බැටලුවන් මරන අයුරු දුටුවාය. ඒ දර්ශනය ඇයට පි‍්‍රය වූ නිසා නිතර එය බලන්නට යෑමට ඇය පෙළැඹී ඇත. සතුන්ට පහරදීම, ඝාතනය කිරීම වැනි දර්ශනයන් කෙරෙහි වූ පි‍්‍රයතාව, දරුවාගේ මේ අසාමාන්‍ය හැසිරීමට බලපා ඇතැයි කේසි විසින් මේ මවුපිය යුවළට පහදා දෙනු ලැබිණි. ගැබිනි මවගේ මානසික තත්ත්වය කුස සිටින දරුවාට බලපාන අයුරු එයිනුත් අපට පැහැදිලි වෙයි.

දරුවකු කුස තුළ සිටින විට මව අධික ශීතල හෝ අධික උණුසුම් ආහාර පානාදිය නොගන්නීය. අවම වශයෙන්, ත්‍රාසජනක දර්ශනවලින් යුතු රූපවාහිනි වැඩසටහන් නැරැඹීමෙන්ද ඇය වැළැකෙන්නීය. සිත ගැස්සෙන සුළු ශීර්ෂපාඨ සහිත පුවත්පත් කියැවීමද මව නොකරන අතර මේ සියලු කටයුත්තෙහිදී මව විසින් දරුවා වෙනුවෙන් ඉටු කරනු ලබන්නේ මෛති‍්‍ර සහගත උපකාරයකි. රාග, ද්වේශ, මෝහ වැඩෙන දර්ශන නැරැඹීම දරුවාට අහිතකර ලෙස බලපායි. පවුල තුළ යහපත් ආකල්ප දියුණුකර ගැනීමට ස්වාමිපුරුෂයාගෙන්ද භාර්යාවට ලැබිය යුත්තේ උදව්වකි. ස්වාමිපුරුෂයාගේ ආදරණීය රැකවරණය සහ අනුකම්පාව බෙහෙවින් හිමිවිය යුතු කාලයකි එය.

පුබ්බාචරිය ලෙස හඳුන්වමින් එනම් දරුවන්ගේ පූර්වාචාරින් ලෙස හඳුන්වා දෙමින් මවුපියන් විෂයෙහි සුවිශේෂි වැදගත්කමක් බුදුදහමෙහි පිරිනමා ඇත. බුදුපියාණන් වහන්සේ විසින් මවුපියන් පුබ්බාචාරින් ලෙස හඳුන්වාදෙනු ලැබුවේ කලල රූපයේ පටන් දරුවන්ගේ සිතුවිලි ඔවුන් යහපත්ව සකස් කරන නිසාවෙනි. මව කතා කරන විධිය, හැසිරෙන ආකාරය, මව පි‍්‍රයකරන දේ දරුවා මවුකුස සිටියදීම ඉගෙන ගනියි. එනිසා යහපත් මවුපියන් එම කාලය තුළ වෙනදාටත් වඩා ආගමික පසුබිමෙහි ජීවත්වෙති.

බුද්ධ වන්දනාව,පිරිත් දේශනා කිරීම,පන්සිල් ආරක්‍ෂා කිරීම, පොහෝ දින සිල් සමාදන් වීම,බෝධි පූජා පින්කම් පැවැත්වීම, දානාදි පින්කම් සිදු කිරීම ගැබිනි මවකට දැහැමි සිතුවිලි වර්ධනය කරගත හැකි ආකාරයන්ය. කුස සිටින දරුවා නිදුක්වේවා, නිරෝගි වේවා, සුවපත් වේවා යැයි මෙත් සිතින් සිතීම, එනම් මෛත්‍රී‍්‍ර භාවනාව වැඩීම යහපත් දරුවකු ඉපදීමට මනාසේ බලපායි.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]