UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ සිරුර හරියට වාහනයක් වගෙයි

 

අප වාහනයක් කොටස් වශයෙන් කෑල්ලෙන් කෑල්ලට ගලවා වෙන් වෙන් වශයෙන් තැබුවොත් කිසිවෙක් එතන වාහනයක් ඇතැයි කියා නොකියනු ඇත. එහි ඇත්තේ යකඩ ගොඩක් පමණක් කියනු ඇත. එලෙසම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පස එකතු වූ කල සත්වයෙක් කියා කියන අතර ඒවා වෙන් කළ පසු සත්වයෙක් නොමැති බව පැහැදිලි වේ

ශරීරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ අයුරින් දේශනා කළ සේක. ඒවා සූත්‍රානුසාරයෙන් හා ගාථා විලාසයෙන් ත්‍රිපිටකය තුළ ඇතුළත්ව ඇත. ශරීරය හරියට වාහනයක් වාගෙයි කීවොත් එය ඉතා නිවැරැදිය. ඒ දෙක අතරෙහි සජීවි අජීවි බව තිබුණත් බොහෝ දුරට සමාන කිරීමට හේතු සාධක ඇත. මෙම ශරීරය දෙතිස් කුණුප කොටස් වලින් පිරිපුන් එකකි. දෙතිස් කුණුප කොට්ඨාශයන් නම්,

“කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නාහාරූ, අට්ඨි, අට්ඨි මිඤ්ජා, චක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්ඵාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්භං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, ඛේලෝ, සිඩ්ඝානිකා, ලසිකා, මුක්තං, මත්ථලුඩිගං” යනාදියයි.

දෙතිස් කුණුප කොටස් වලින් යුත් මෙම ශරීරය නිතරම අපවිත්‍ර වන අතර එය නිතර පවිත්‍ර කිරීමට සිදු වේ. වාහනයක් වුවද පාවිච්චි කිරීමේ දී එය නිතර නිතර සුද්ද පවිත්‍ර කළ යුතු ය. අප ඉඥපමඪජඥ කරනවා කියා සිදු කරන්නේ එයයි. අජීවි වස්තුවක් වුවද වාහන තුළද ශරීරය හා සමාන කොටස් පවතී. එසේ නඩත්තුව නොකිරීමෙන් දිගට පවත්වාගෙන යාමට අපහසුය. එසේනම් වාහනයකටත් වඩා මෙම ශරීරය අපවිත්‍ර වනු ඇත. වාහනයක් මසකට වතාවක් දෙවතාවක් එසේ පිරිසුදු කිරීමට සිදු වේ.

මෙම ශරීරයේ දොරටු නවයකින් නිතරම අපවිත්‍ර දෑ පිටවනු ඇත. උදේට පිපෙන මල සවසට පරවෙනවා සේ උදේට හොඳට ශරීර කූඩුව පිරිසුදු කොට පාරට, නගරෙට, රැකියාවට යන මිනිසා සවසට නැවත අපිරිසුදු වූ දහඩිය පිටින් නිවසට එනු ඇත. අප ශරීරය දෙස බැලීමේ දී රාගාදී සිතිවිලි ආවද එහි යථා තතු විමසා බලන කල්හි පිළිකුල් භාවනාව සිදු කිරීමට තරම් උත්සුක වනු ඇත. හරියට අසූචි පුරවන ලද කළයක් හා සමාන අයුරින් මේ ශරීරය පිළිබඳ දේශනා කොට ඇත.

එසේ නම් වාහනයක් ආකාරයෙන්ම නිතර කැඩෙන බිඳෙන හා අපවිත්‍ර වන මෙම ශරීරය පිළිබඳ ප්‍රඥාවෙන්ම බැලිය යුතු ය. ලෝවැඩ සඟරාවෙහි සඳහන් කවියක් පිළිබඳ අවධානය යොමු කළොත් මේ පිළිබඳ තවත් අවබෝධයක් ලැබෙනු ඇත.

කයට වේද රස මුසු බත් කන්නේ
ගඳට වේද ඇග සුවඳ කරන්නේ
ලෙඩට බේත් මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැ’යි සිතන්නේ

කය පෝෂණය කිරීම උදෙසා කබලිංකාර ආහාර ගනු ඇත. එතුළින් මාංශ පේශි වර්ධනය වී ඇට සැකිල්ල වැසී පිරිපුන් බවක් පෙනෙනු ඇත. අද අප ගන්නා ආහාර අසූචි වලින් පිටවනු ඇත. නැවත හෙට ආහාර අවශ්‍ය වනු ඇත. මෙලෙස උදේ හවා මෙම ශරීරය නඩත්තු කිරීමට ආහාර දිය යුතු ය. ආහාර නොමැති වුවහොත් ශරීරය වැහැරී ගොස් ක්ලාන්ත ස්වභාවයට පත් වනු ඇත. අප ගන්නා ආහාර තුළින්ම සෙම්, සොටු, කබ, කඳුළු, දාඩිය, මල මුත්‍ර සැදී ඒවා අපවිත්‍ර දේවල් වශයෙන් පිටවනු ඇත.

එසේ හෙයින් නිරන්තරයෙන් ශරීරය නැහැවීම්, පිරිසුදු කිරීම් ආදිය සිදු කළ යුතු ය. නිතර දුර්ගන්ධ හමනා බැවින් සුවඳ විලවුන් ආදිය ද භාවිතා කරනු ඇත. එයද අද ලෝකයේ ශරීර පිළිබඳ ඇල්ම වැඩි කිරීමට කරනා උපක්‍රමයක් ද වී ඇත. එලෙසම බේත්, හේත් නිතර මෙම ශරීරයට දීමට ද සිදු වේ.එසේ නොමැති වුවහොත් නොයෙක් ලෙඩ රෝගාදිය සෑදී මරණය පවා උදා වීමට පුළුවන. සර්පයෙක් ආදී සතෙක් කෑමෙන් පවා ජීවිතක්‍ෂයට පත් වීමට පුළුවන. ඒ තරමටම ස්ථිරත්වයක් නැති, ශක්තියක් නැති නඩත්තු කිරීමට අපහසු දෙයක් ලෙස මෙම ශරීරය හැඳින්වීමට පුළුවන.

මෙලෙස අපහසුවෙන් නඩත්තු කරන ශරීරය නිතර රෝගාතුර වන ශරීරය, නිතර අපවිත්‍ර දෑ පිටවන ශරීරය සැපයක් යැයි සිතීම මුළාවකි. එලෙස සිතන්නේ තාවකාලික වින්දනයක් විඳින සත්වයා ය. මේ ශරීරය සැරැසීමට අද බොහෝ දේවල් භාවිතා කරති. ඇඳුම් පැළඳුම්, රන් රිදී ආභරණ තුළින් මේ ශරීරය නිතර සැරැසීමට හුරු වී ඇති අතර එය අද තරගකාරීව සිදු වේ. ඇත්තෙන්ම කිසිවක් අත නොමැතිව උපදින සත්වයා බොහෝ දේවල් රැස්කොට මමත්වය, අසම්මානය වර්ධනය කොට කිසිවක් නොමැතිවම මිය පරලොව ගොස් තවත් ආත්මයක් හා සම්බන්ධ වේ.

ජීවිත කාලය තුළ ධර්මාවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වනු ඇත. ශරීරය අනිසි බව දැන ප්‍රඥාවෙන් ඒ දෙස බලා භාවනානුකූල ජීවිතයක් ගත කිරීම වැදගත් වේ. අපගේ ජීවිතය කාම ලෝකයට අයත් කාම ජීවිතයක් ය. වතුර ටික රත්වනතුරු කකුළුවා පිනුම් ගසමින් වතුරෙහි පීනනවා සේ සත්වයා ද පංචේන්ද්‍රියන් පිනවමින් කම් සැප විඳියි. යථාර්ථයට පයින් ගසමින් පුහු දේවල් කර පින්නාගෙන මං මුළා වී අතෘප්ති කර ජීවිත ගත කරති. බුදුරදුන් දෙසූ දහම් ඇසීමට පමණක් යොදා ගෙන එය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ නොකොට අනන්ත අප්‍රමාණ දුක්වල පැටලී සිටිති.

අපගේ ශරීරය රථයකට උපමා කර ඇත්තේ ස්කන්ධ පංචකය විවරණය කිරීම තුළින් ය. එය සැබෑ ලෙසම අපට අවබෝධ කර ගැනීමට පුළුවන.

පේන පිණ්ඩූපමං රූපං - වේදනා බුබ්බලූපමා
මරීචි කූපමා සඤ්ඤා - සංඛාරා කදලූපමා
මායුපමාන විඤ්ඤාණං - දේසිතා ආදීච්ච බන්දුනා

යථාපි අංග සම්භාරා
හොති සද්දෝ රථෝ ඉති
ඒවං බන්ධේසු සුත්තේසු
හොති සත්තෝති වුච්චති

රූප, වේධනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පස තුළ ද හරයක් නොමැති බව එහි විස්තර වේ. රූපය පෙණ පිඩක් මෙන් ද, වේදනාව දිය බුබුලක් මෙන්ද, සඤ්ඤාව මිරිඟුවක් මෙන් ද, සංඛාර කෙසෙල් කඳක් මෙන් ද, විඤ්ඤාණය මායාවක් මෙන් ද දේශනා කොට ඇත. ඒ අනුව සම්මුති වශයෙන් මෙම ස්කන්ධ පස එකතු වූ කල සත්වයෙක් වශයෙන් අප කතා කරනු ඇත. ඒ අනුව මම, අපි, මගේ, අපේ ආදී වශයෙන් බෙදා වෙන් කිරීමේ දී එහි ගත යුතු සත්වයෙක් නොමැති බව සඳහන් වේ.

එය පැහැදිලි කිරීමට අපට වාහනයක් උපමාවට ගත හැකිය. අප වාහනයක් කොටස් වශයෙන් කෑල්ලෙන් කෑල්ලට ගලවා වෙන් වෙන් වශයෙන් තැබුවොත් කිසිවෙක් එතන වාහනයක් ඇතැයි කියා නොකියනු ඇත. එහි ඇත්තේ යකඩ ගොඩක් පමණක් කියනු ඇත. එලෙසම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පස එකතු වූ කල සත්වයෙක් කියා කියන අතර ඒවා වෙන් කළ පසු සත්වයෙක් නොමැති බව පැහැදිලි වේ.

සාංඛ්‍යා, වෛශේෂික, වේදාන්ත, ආදී දර්ශනවල ආත්ම සංකල්පයක් හා එය සෙවීමක් පිළිබඳ සඳහන් වේ. ම.නි. මූලපරියාය සූත්‍රය තුළින් බුදුහිමියන් එය ප්‍රතික්ක්‍ෂේප කොට ඇති අතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, ආත්මය නොවන බවත් භවයෙන් භවයට වෙනස් නොවී මාරු නොවන එකක්වත් එහි නොවන බවත් දේශනා කොට ඇත.

නිත්‍ය, සුඛ, ආත්ම, තුනට අනිත්‍ය, දුක්‍ය, අනාත්ම, විදර්ශනයක් දේශනා කොට ඇත. මේ අනුව අපට ශරීරය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. ඒ අනුව ශරීරය දෙඅංශයකින් වාහනයකට සමකළ හැකි ය. එනිසා නිරන්තරයෙන් අපවිත්‍ර වන, රථයක් බඳු මෙම ශරීරය එදිනෙදා අප පිරිසුදු කරනවා සේම මනසද පවිත්‍ර කරගත යුතු ය. ශරීරය කොතරම් සැරසුවද එය පොළොවට පස් වී යෑම ස්වාභාවික ය. නමුදු මනස හා හොඳ සිතිවිලි ධාරාවක් ඔස්සේ ගොඩනඟා ගන්නා ගුණ ධර්ම අපගේ අන් භවය යහපත් කර ගැනීමට හේතු වේ. ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල සිතිවිලි වෙනුවට අලෝහ, අදෝෂ, අමෝහ, කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම ආදී ගුණ ධර්ම වැඩිදියුණු කොට ගෙන මෙලොව පරලොව යහපත් කර ගැනීමටත් උතුම් නිවන් සුව ලබා ගැනීමටත් උත්සාහ කිරීම කළ යුතු ය.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]