UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළණ මිතුරු දහමයි

කළණ මිතුරු දහමයි සදා සතුට සුවය යි

තමන් කල්‍යාණ මිත්‍රයෙකු නොවී අවම වශයෙන් කල්‍යාණ මිත්‍රයෙකු වීමත් වත් උත්සුක නොවී කල්‍යාණ මිතුරෙකු සොයා යාම සුදුසු දෙයක් නොවේ. එබැවින් කල්‍යාණ මිත්‍රයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලක්‍ෂණ පිරික්සීමෙන් තමන් කොතරම් දුරට කල්‍යාණ මිත්‍ර ලක්‍ෂණවලින් සමන්විත වන්නේ ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුවේ. කල්‍යාණ මිත්‍රයෙකු තුළ පිහිටිය යුතු ගුණාංග ඇතුළත් යහපත් මිතුරන් සිව් දෙනෙකුගේ ලක්‍ෂණ ගිහි, විනය වශයෙන් සැලකෙන සිඟාලෝවාද සූත්‍රයෙහි ඇතුළත් වේ. ඔවුන් සිව් දෙන උපකාරක , සමාන සුඛදුක්ඛ ,අත්ථක්‍ඛායි, අනුකම්පක යනුවෙන් දැක්වේ.

උපකාරක මිත්‍රයා

උපකාරක මිත්‍රයාගේ ගති ලක්‍ෂණ හතරකි. එනම් ප්‍රමාදයට පත් මිතුරා ආරක්‍ෂා කිරීම, ඔහුගේ ධනය ආරක්‍ෂා කිරීම, බියක් ඇති වූ අවස්ථාවෙහි පිහිට වීම, අවශ්‍ය අවස්ථාවලදී, දෙගුණයක් උපකාර කිරීම එම ලක්‍ෂණ හතරයි. ජීවිතය අවිනිශ්චිත වූවකි. මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හා ගැටලු කවරේදැයි පූර්ණ වශයෙන් උපකල්පනය කිරීමට කිසිවෙකුටත් කළ නො හැකිය. තරගකාරි ජීවන රටාව තුළ නොතිත් ආශාවන් පිටුපස හඹායන වර්තමාන මිනිසාට තවත් අයෙකුගේ දුක සැප විමසීමටත් එයට කාලය හා ධනය වැය කිරීමටත් තිබෙන ඉඩකඩ සීමා සහිතය. මෙවැනි පසුබිමක් යටතේ අප මුහුණ දෙන විවිධ ගැටලු සාකච්ඡා කිරීමටත් උපදෙසක් ලබා ගැනීමටත් විශ්වාසවන්ත මිතුරෙකුගේ ඇසුර අවශ්‍ය වේ. උපකාරක යනුවෙන් හැඳින්වෙන මිතුරා එවැන්නෙකි. මිතුරෙකු වශයෙන් ඔබ කොතෙක් දුරට ඔබ මිතුරන්ට උපකාර කරන්නේ ද යන්න වටහා ගැනීමට මෙම ලක්ෂණ සතර උපකාරි වේ. ඔබ යහපත් කල්‍යාණ මිතුරෙක් නම් ඔබගේ මිතුරාගේ ජීවිතය මෙන්ම ධනයත් සුරක්‍ෂිත කිරීමෙහිලා උපකාරි විය යුතුයි.

සමාන සුඛදුක්ඛ මිතුරා

සමාන සුඛදුක්ඛ මිතුරාගේ ලක්ෂණය වන්නේ යම් වැදගත් රහසක් වෙතොත් එය තම මිතුරාට ප්‍රකාශ කිරීම, මිතුරාගේ රහස් ආරක්‍ෂා කිරීම,ආදාළ අවස්ථාවලදී අත්නොහැරීම, අවශ්‍ය වූ විටෙක දිවි හිමියෙන් වුවද මිතුරා වෙනුවෙන් කැපවී කටයුතු කිරීමයි. කෙනෙකුගේ පෞද්ගලික රහස් වෙනත් අයෙකු සමග ප්‍රකාශ කරන මිතුරෙකු කිසිවිටෙකත් යහපත් මිතුරෙකු වශයෙන් සැලකිය නො හැකිය. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ දෛනික ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත්වීමට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් පුද්ගලයෙකුට යොමු වීම හේතුවෙන් ය. ඔබ යහපත් කළණ මිතුරෙකු නම් ඔබගේ මිතුරාගේ හෝ මිතුරියගේ රහස් අන් අයත් සමඟ බෙදා ගැනීමෙන් වළකින්න. ඇතැම් විටෙක ඔහු හෝ ඇය යම් දිනෙක ඔබ සමග අමනාප විය හැකිය. එවන් අවස්ථාවකදී වුවද ඔබ දන්නා රහස් අන් අයට දීමෙන් වළකින්න. එසේම දුකේදී අතහැර යන මිතුරන් සුහද මිතුරන් නොවේ. තම මිතුරාගේ අතින් දරුණු අපරාධයක් සිදුවී තිබිය හැකිය. නැතහොත් ඔහු සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන්නෙකු විය හැකිය. මෙවන් අවස්ථාවලදී එම ආපදාවන්ගෙන් නිදහස් වීමට කළණ මිතුරෙකු සමීපයේ සිටීම විශාල ශක්තියකි. ඔබ කල්‍යාණ මිත්‍රයෙකු වන්නේ ඔබගේ මිතුරා අත් නොහැර ඔහුගේ රහස් රකිමින් ඔහු සමඟ දුකේදී මෙන්ම සැපේදීත් එකට වාසය කිරීමෙන් ය.

අත්ථක්ඛායි මිතුරා

තම මිතුරා පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම,නො ඇසූ දහම් කියාදීම, සුගති මාර්ගය පෙන්වා දීම යනාදී මෙම ලක්‍ෂණ සහිත මිතුරා අත්ථක්ඛායි හෙවත් අර්ථය නැතහොත් යහපත පෙන්වා දෙන කෙනෙකු වශයෙන් හැඳින්විය හැකිය. මෙම අංග මගින් පෙන්වා දෙන්නේ කල්‍යාණ මිතුරෙකුගේ ආධ්‍යාත්මික කාර්ය භාරයයි. ධනයෙන් උගත්කමින් හා බලයෙන් කොතරම් ශක්තිමත් වුවද ඇතැම් තීන්දු හා තීරණ ගැනීමේදි යහපත් මිතුරෙකුගේ සහාය අපට අවශ්‍ය වේ. එම සහයෝගය හා මඟපෙන්වීම අපගේ යහපත පිණිස විය යුතුයි. එබැවින් කල්‍යාණ මිත්‍රයෙකු විසින් කළ යුත්තේ ඉහතින් දැක් වූ ආකාරයට තම මිතුරාට නිවැරැදි මාර්ගය පෙන්වා දීම මෙන්ම උපදෙස් සැපයීම යි. ඔබ සැබෑ කල්‍යාණ මිතුරෙකු නම් ඔබේ මිතුරාට උසස් ජීවිතයක් සඳහා මඟ පෙන්විය යුතුයි. එහෙත් අපට කළණ සිතින් යහපත කියාදෙන මිතුරන් හමුවන්නේ කලාතුරකිනි. බොහෝ කෙනෙකු කල්පනා කරන්නේ උපකාර කිරීම යනු භෞතික වශයෙන් කෙරෙන සංග්‍රහ පමණක් බවයි. මෙම පිළිගැනීම සාවද්‍ය බව අත්ථක්ඛායි මිතුරා පිළිබඳ දැක්වෙන ලක්‍ෂණවලින් පැහැදිලි වේ. සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය මඟපෙන්වීම පළමු හා දෙවන ලක්‍ෂණ වලින් අවධාරණය කෙරේ. තෙවන ලක්‍ෂණය දැනුම වර්ධනය කරගැනීම කෙරෙන උපකාරය සේ හඳුනාගත හැකිය. මෙම මඟපෙන්වීම හුදෙක් වර්තමාන ජීවිතයට පමණක් නොව මරණින් පසු ජීවිතයටත් බලපාන පරිදි සිදුවිය යුතුබව සිව්වන ලක්‍ෂණයෙන් පැහැදිලි කෙරේ. මෙම ලක්‍ෂණ ආධ්‍යාත්මික මිතුරෙකුගේ ලක්‍ෂණ වේ. ඔබ ද යහපත් ආධ්‍යාත්මික මිතුරෙකු වශයෙන් සමාජය වරදින් නිදහස් කරගැනීමට උපකාර කළ යුතුයි.

අනුකම්පක මිතුරා

කල්‍යාණ මිත්‍රයෙකුගේ සිව්වන ගණයේ ලක්‍ෂණ වශයෙන් දැක්වෙන්නේ මිතුරාගේ පිරිහීමේදී සතුටට පත් නොවීම, දියුණුවේදී සතුටු වීම, මිතුරාගේ නුගුණ කියන්නන් වැළැක්වීම, ගුණ කියන්නන් පැසසීම යන ගුණාංගයි. මෙම ලක්‍ෂණ සහිත මිත්‍රයා අනුකම්පක යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔහු තම මිතුරා කෙරෙහි මහත් අනුකම්පාවකින් කටයුතු කරන හෙයින් එනමින් හඳුන්වා දී තිබේ. තමන් ඇසුරු කරන මිතුරාගේ පිරිහීමේදී දුකට පත්වීමත් එය වැළැක්වීමට උත්සුක වීමත් දියුණුවේදී සතුටු වීමත් උසස් මිනිස් ගුණාංගයකි. අප ඇසුරු කරන මිතුරෙකුගේ පිරිහීම සම්බන්ධයෙන් අප දැක්විය යුත්තේ එය අපට වක්‍රව බලපාන බැවිනි. එවන් අවස්ථාවකදී අපට අපගේ කාලය ශ්‍රමය හා ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. එවන් අවස්ථාවක් අපට කිසිසේත්ම මඟ හැරිය නොහැකි ය. මේ හේතුව නිසා තම මිතුරාගේ පිරිහීම වැළැක්වීම පිණිස කටයුතු කිරීම වැදගත් ය. එසේම අප ඇසුරු කරන මිතුරා දියුණුවන්නේ නම් එයද අපට වැදගත් වේ. අපට යම් කරදරයක් හෝ පීඩාවකට මුහුණ දීමට සිදුවන්නේ නම් එවිට ඔහුගේ හෝ ඇයගේ උපකාරය අපට අවශ්‍ය බැවිනි. මෙම පසුබිම යටතේ කල්‍යාණ මිත්‍රයා තම මිතුරාගේ පිරිහීම වළක්වන අතර දියුණුව දැක මුදිතාව ඇති කරගනී. අවසන් ගුණාංග දෙක යටතේ සාකච්ඡා කෙරෙන්නේ තම මිතුරා පිළිබඳ සමාජ සාධකයයි.

ඔවුන් අතර අන් අයගේ දුර්වලතා සොයමින් ඒවා තවත් කෙනෙකුට ප්‍රකාශ කරමින් විනෝදවන අය දක්නට ලැබේ. තම මිතුරාගේ වැරැදි අඩුපාඩු තැනින් තැන කියමින් යන එවන් පුද්ගලයන් වැළැක්විය යුත්තේ එයින් තම මිතුරාගේ කීර්ති නාමයට හානියක් වන බැවිනි. එවැනි ක්‍රියාවලට අනුබල දීම කළණ මිතුරෙකුගෙන් අපේක්‍ෂා කළ නො හැකිය. කෙනෙකුගේ දුර්වලතා තැනින් තැන ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ එම පුද්ගලයා තවදුරටත් සමාජයේ අපහසුතාවට පත්වීමයි. සැම කෙනෙකු තුළම හොඳ නරක අඩු වැඩි වශයෙන් පවතී. සර්ව නිර්දෝශී පුද්ගලයන් සමාජයේ දක්නට නො ලැබේ. පුද්ගල දුර්වලතාවන් යනු ඔහුගේ හෝ ඇයගේ මානසික දියණුවේ මට්ටම නිරූපනය කරයි. විමුක්ත පුද්ගයන් හැර අන් සියල්ලෝම මානසික දුර්වලතාවන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඔවුන්ගේ හැසිරීම් කෙරෙහි එම මානසික දුර්වලතා හේතු වී තිබේ. එම මානසික දුර්වලතා පහසුවෙන් ඉවත් කළ හැකි ඒවා නොවන බැවින් විවිධ මානසික දුර්වලතා සහිත පුද්ගලයන් දෙස බැලිය යුත්තේ සානුකම්පිත දෘෂ්ටියෙනි. අනෙක් අතට තමන් උපමා කරගෙන අන් අය දෙස බැලීමේ බෞද්ධ දෘෂ්ටිය ප්‍රගුණ කළ පුද්ගලයෙකු අන් අය අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නො කරයි. එවන් අවබෝධයක් සහිත කළණ මිතුරා තම මිතුරාගේ යහපත් ගතිලක්‍ෂණ ගැනම පමණක් සමාජය හමුවේ ප්‍රකාශ කරයි. තම මිතුරා සතු යම් දුර්වලතාවක් වෙතොත් එය පෞද්ගලික මට්ටමෙන් ඔහුට පැහැදිලි කරදී නිවැරැදි කිරීම සැබෑ මිතුරෙකුගේ ස්වභාවය වේ.

සිගාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන යහපත් මිතුරන් සිව්දෙනාගේ සියලු ගතිගුණ යම් පමණකට හෝ කෙනෙකු තුළ පිහිටා තිබේ නම් ඔහු හෝ ඇය කළණ මිතුරෙකු හෝ මිතුරියක වශයෙන් සැලකිය හැකිවේ. බුදුසමයට අනුව කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරෙන් අපේක්‍ෂා කෙරෙන්නේ පුද්ගලයෙකුගේ ලෞකික හා ලෝකෝත්තර මෙන්ම භෞතික හා අධ්‍යාත්මික දියුණුවයි. ගිහිපැවිදි දෙපක්‍ෂයටම මෙකී උභය ලෝකයම සාර්ථක කෙරෙන කළණ මිතුරෙකුගේ ඇසුර මගපෙන්වීම අත්‍යවශ්‍ය වේ.මෙම අවශ්‍යතාව ඉහතින් දැක්වූ කල්‍යාණ මිතුරන්ගෙන් සම්පූර්ණ කරගත හැකිවේ. සුහද මිතුරන් වශයෙන් සිඟාලෝවාද සූත්‍රය හඳුන්වාදෙන මෙම මිතුරන් සිව් දෙනා අතරින් “අත්ථක්ඛායි’ මිතුරු තෙමේ ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය සදාචාරාත්මක මගපෙන්වීමක් සිදුකරමින් මෙලොවට පමණක් නොව මරණින් මතු ජීවිතයේ යහ පැවැත්ම පිණිස ද උපකාරි වේ. සෙසු සුහද මිතුරන් වන “උපකාරක , සමානසුඛ දුක්ඛ, අනුකම්පක” තිදෙනා ඍජුවම මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමෙහිලා උපකාරි වේ. බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද මෙම සුහද මිතුරන් සතු ගති ලක්‍ෂණ පළමුව තමන් තුළ පිහිටුවා ගනිමින් තමන් යහපත් කල්‍යාණ මිත්‍රයෙකු ලෙස ලෝකයට යහපත උදා කළ යුතු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට ද එවැනි කළණ මිතුරන් ඇසුරට අවස්ථාව උදාකර ගත හැකි වේ.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]