UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලබන දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලබන දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි

සභාපති පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය නොවැම්බර් 29 දින පස්වරු 4.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති පදවියට පත්, මුල්ලේරියාව නවනගරය, කලපළුවාවේ ගෝතම තපෝවනයේ අනුශාසක, අමරපුර කල්‍යාණිවංශ පාර්ශවයේ මහා නායක, කම්මට්ඨානාචරිය, දොඩම්පහල චන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, භාෂාන්තර විශාරද, අතිපූජ්‍ය දවුල්දෙණ ඥානේශ්වරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන් සහ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු මැති ඇමැති, තානාපති ප්‍රභූ ජනතාවගේ ද සහභාගිත්වයෙන් 2013 නොවැම්බර් මස 29 වෙනි දින පස්වරු 4.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන උත්සව සභාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ශ්‍රී ලංකා රාජවංශ විභූෂණ ධර්මද්වීප චක්‍රවර්තී මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් අතින් පිරිනැමේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී කල්‍යාණිවංස නිකායේ මහානායක කලපළුවාව, ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාරිය, මහෝපාධ්‍යාය ,අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ 1939.12.20 දින දකුණු සිරිලක දොඩම්පහළ දී උපත ලදහ.

එදිරිවීර පටබැඳිගේ සරනේලිස් සිල්වා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා දම්පතීහු දෙමාපියෝ වූහ. දොඩම්පහළමධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා 1950.11.25 දින කුඩාවැල්ල වාළුකාරාමයේදී පැවිදිබිමට පත්විය. මාතර වීරබා පිරිවෙන සහ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනින් අධ්‍යාපනය ලබා 1962.06.17 දින මාතර නිල්වළා උදකුක්ඛේප සීමාමාලකයේදී ශ්‍රී කල්‍යාණිවංශික සංඝයා වෙතින් අධිසිල් ලැබූහ.

පළමු වස සඳහා සිය අනුගාමිකයන් වහන්සේ ලෙස කුඩාවැල්ලේ වංගීස නා හිමිපාණන් සමඟ 1982 වසරේ අපවත්වන තෙක්ම එතුමන්වහන්සේ ගුරුතැන්හි තබාගෙන භාවනා පුහුණුව ලබමින් වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාව පැවිදි ජීවිතයේ ඵල නෙළීමට ඇති වඩාත් උචිත මාවත ලෙස හඳුනාගනිමින් ප්‍රායෝගිකව එය අත්විඳිමින් එම ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට සුදුසු ස්ථානයන් ද බිහිකිරීමට සිය දායකත්වය සපයන්නට විය.

උන්වහන්සේ අනුශාසකත්වය දරන ආයතන අතර ගෝතම තපෝවනය - කලපළුවාව, මුල්ලේරියාව නව නගරය, මහනුවර උඩවත්තකැළේ ශ්‍රී දළදා තපෝවනය, කෑගල්ල අභයභූ®මි තපෝවනය, මිහින්තලේ කළුදිය පොකුණ අරහන්ත තපෝවනය , පදවිය - දෙවියන්ගේ කන්ද තපෝවනය, මාතික මාතා මධ්‍යස්ථානය කතරගම , සුමනාරාමය - මස්කෙළිය, ජලනන්දනාරාමය, රිකාල්ටන් ජනපදය - මස්කෙළිය, සුදර්ශනාරාමය මිලිද්දුව, ගාල්ල, වාළුකාරාමය, කුඩාවැල්ල වේ.

තපෝවනය මූලස්ථානයේ මාතික මාතා සමිතිය සහ කුමාර කාශ්‍යප ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ යාවජීව අනුශාසකත්වය දරති.

කො / ශ්‍රී වංගීස මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි ධුරය උසුලනු ලැබේ.

1989 වසරේදී අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක තනතුර ලැබීමද 1996 මාර්තු 31 වන දින දොඩන්දූව නිකාය මූලස්ථානයේදී මහානායක තනතුර ලැබීමද සුවිශේෂිය.

අසරණකමින් හා දරිද්‍රතාවෙන් හෙම්බත්වූවන් සොයා ඔවුන් වෙත ගොස් හැකි පමණින් උපකාර කෙරෙති. විටෙක පිළිකා රෝහලේය. විටෙක වික්ටෝරියා විකලාංග රෝහලේය. විටෙක එවක යුද්ධයෙන් අවතැන්වූවන්ට පිළිසරණට අනාරක්‍ෂිත ගම්මානවලය. රටේ සාමය ඇති වූ වහාම යුද්ධයෙන් අසරණ වූ සිහල, දමිළ හා මුස්ලිම් පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් පොත්, බෑග්, ඇඳුම්, පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ගෙන ඔවුන්වෙත ගොස් ඒවා පිරිනමා මනස සුවපත් කරන්නට තරම් කාරුණික වූහ. එසේම 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත් ජනතාව දෙස බැලුවේ තමන්ට සිදුවූ විපතක් සේය. එහිලා ඔවුනගේ ආධ්‍යාත්මික සහනය වෙනුවෙන් කළ මෙහෙවර කිව නොහැකි තරම්ය. විදේශ බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සහාය ඇතිව සුනාමියෙන් හානියට පත් විහාර, පුස්තකාල, සංඝාවාස, ගොඩනැගිලි , ඉදිකිරීම් ,රෝහල් උපකරණ බෙදාදීම්, ත්‍රිපිටක ග්‍රන්ථ , අටුවා පොත්, ජාතක පොත් ආදිය දහස් ගණනින් බෙදා දැවැන්ත ශාසනික මෙහෙවරක යෙදුනේ සිය හදවතේ පවතින බෝධිසත්ව ගුණ ප්‍රභාව පෙහෙළි කරමිනි.

තපෝවන සංකල්පය ක්‍රියාවට නංවමින් දෙස් - විදෙස්හි ගිහි – පැවිදි විශාල පිරිසකට භාවනාව සඳහා මඟ පෙන්වූ කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන්වහන්සේගේ මූලිකත්වයෙන් ඇමරිකන් ජාතික හමුදා නිළධාරියෙක් ද ලංකාවට පැමිණ යෝගාවචර රාහුල නමින් වංගීස නාහිමියන් වෙතින් පැවිදිව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. නිකායට අයත් ලංකාවේ විවිධ ප්‍රදේශවල පමණක් නොව විදේශ රටවල් කිහිපයක්ද ආශි‍්‍රතව ඇති නිකායික භාවනා මධ්‍යස්ථාන ද වර්තමානයෙහි භික්‍ෂූ ආකල්ප හා වත්පිළිවෙත් ම¼ගින් බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට පත්ව සමාජය ගත වී ඇත.

1996 වසරේ සිට ශ්‍රී කල්‍යාණි වංශ නිකායෙහි මහානායක ධුරය හොබවනු ලබන අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක හිමිපාණන් වහන්සේ දිවයින පුරා විහිදී ඇති තපෝවන ශාඛා මධ්‍යස්ථානයන්හි පැවිදි සහෝදර හා ශිෂ්‍ය පිරිස ආගමික හා ශාසනික සේවාවන්හි මෙහෙයවමින් ස්වනිකායෙහි අභිවෘද්ධිය පිණිස උන්වහන්සේගේ ක්‍රියාශීලි හා දූරදර්ශි මෙහෙවර අතිමහත්ය. 2009 වර්ෂයේදී සමස්ත ලංකා අමරපුර සංඝ සභාවෙහි උප සභාපති ධුරය උන්වහන්සේ වෙත හිමිවීම ද මෙම නිකායට ලද කීර්තියකි. ශ්‍රී‍්‍ර කල්‍යාණිවංශ නිකායේ දෙස් විදෙස් වශයෙන්ද ආගමික හා සාමාජික වශයෙන්ද නිරතව සිටින සියලු භික්‍ෂූන් වහන්සේ වෙත වර්තමාන මහානායක හිමිපාණන් වහන්සේ වෙතින් ලැබෙන ආශිර්වාදය ද අපමණය. එමෙන්ම අප ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සමස්ත සංඝ සමාජයෙහි ගෞරවයට පාත්‍රව ඇති නිසාම 2013.02.23 දින රැස් වූ ශ්‍රී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ කොටස් 22 කින් යුත් අමරපුර මහා සංඝ සභාව නිතරගයෙන් උන්වහන්සේ ශ්‍රී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභාවේ සභාපති පදවියට පත්කර ගත්හ.


සේවාවන් කාගේත් ප්‍රශංසාවට පාත්‍රව ඇත

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැදගත් පදවියක් වන සභාපති ධුරය සඳහා අභිනවයෙන් ගරුතර දොඩම්පහල චන්දසිරි මහානායක ස්ථවිරපාදයන් වහන්සේ පත්වීම පිළිබඳ අපි සතුටට පත්වෙමු. එම පදවිප්‍රාප්තිය අරමුණුකොට ගනිමින් සුභාශිංසනයක් ලබාදෙන්නේ ඉමහත් සතුටිනි.

මේ වන විට අමරපුර කල්‍යාණිවංශ මහානිකායේ මහානායක ධුරය හොබවන එමෙන් ම කළපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තදීය විහාරයන්හි අධිපතිත්වය ද දරන මහෝපාධ්‍යාය ගරුතර දොඩම්පහල චන්දසිරි මහානායක ස්ථවිරපාදයන් වහන්සේ අභිනව සභාපති ධුරය සඳහා අවැසි සුදුසුකම් සපුරා තිබීම පිළිබඳ අපගේ ප්‍රසාදය ද හිමි වේ. සංඝශෝභන ගුණයෙන් මෙන්ම පර්යාප්ති ප්‍රතිපත්ති හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය ම ප්‍රගුණ කරමින් ගරුතර දොඩම්පහල චන්දසිරි නායක ස්ථවිරපාදයන් වහන්සේ ගත කරන පැවිදි දිවිය සඵලවත් වූවකි.

අභිනව සභාපති ධුරයෙන් ගෞරවයට පාත්‍රවන මහානායක ස්ථවිරපාදයන් වහන්සේ කොළඹ ශ්‍රී වංගීස පිරිවෙනෙහි කෘත්‍යාධිකාරිත්වය දරමින්, විවිධ සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින්, අවැසි ඔවදන් ලබාදෙමින් සමාජීය වශයෙන් ද වැදගත් මෙහෙයක් ඉටුකොට ඇත. එම සේවාවන් කාගේත් ප්‍රශංසාවට පාත්‍රව ඇත. කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, වංගීසවංශාලංකාර, විපස්සනා කම්මට්ඨානාචරිය ආදී ගෞරව නාමයන්ගෙන් පූජ්‍යත්වයට පත්ව සිටින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ අභිනව සභාපති, මහෝපාධ්‍යාය ගරුතර දොඩම්පහල චන්දසිරි මහානායක ස්ථවිරපාදයන් වහන්සේට අභිනව පදවියත් ශක්තියක් කොට ගනිමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තව තවත් කැපවීමට උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


ඉමහත් සතුටට කරුණකි

බොහෝ කාලයක සිට සමීප සබඳතාවෙන් කටයුතු කරන හිතවත් අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්ථවිරයන් වහන්සේ අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයේ සන්නස්පත්‍රය පිළිගන්වන අවස්ථාවේ ප්‍රකාශයක් කිරීමට ලැබීම ඉමහත් සතුටට කරුණකි.

වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාව පැවිදි ජීවිතයේ ඵල නෙළීමට වඩාත් යෝග්‍ය මාවත ලෙස හඳුනා ගනිමින් ප්‍රායෝගිකව එම ප්‍රතිපත්ති අනුගමනය කරමින් සමස්ත අමරපුර මහා සංඝ සභාවට පමණක් නොව දෙස් විදෙස් බෞද්ධ ජනතාවට දෙනු ලබන මහඟු ආදර්ශය මෙහිලා ඉතා අගය කොට සලකමි. තපෝවන සංකල්පය ක්‍රියාවට නංවමින් දෙස් විදෙස්හි ගිහි පැවිදි විශාල පිරිසකට භාවනාව සඳහා මඟ පෙන්වමින් දෙස් විදෙස් භාවනා මධ්‍යස්ථාන බිහිකරලීමට පුරෝගාමීව කටයුතු කරන උන්වහන්සේ හඳුන්වාදුන් වත්මන් භික්‍ෂු ආකල්ප හා වත් පිළිවෙත් බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට පත්ව සමාජගතව ඇත. විවිධ සමාජයීය ව්‍යසනයන්හි දී ඒවා තමාට සිදු වූ විපතක් සේ සලකා විනාශයට පත් ජනතාව සුවපත් කිරීමට උදව් උපකාර කරන උන්වහන්සේගෙන් සිදුවන උදාරතර සමාජ සේවාවන් අතිමහත්ය.

මෙවන් උදාරතර ආගමික හා සමාජයීය සේවාවන්හි නිරත දොඩම්පහල චන්දසිරි මහානායක ස්ථවිරයන් වහන්සේ කොටස් 22 කින් යුත් අමරපුර මහා නිකායේ සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලැබීම අපගේ ඉමහත් සතුටට කරුණකි. ස්වනිකායෙහි අභිවෘද්ධිය පිණිස මෙන් ම ආගමික හා විවිධ සමාජ සත්කාරයන් සඳහා කෙරෙන යුග මෙහෙවර තවදුරටත් කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබ නිදුක් නිරෝගිව චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට තෙරුවන් සරණ හා උතුම් ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙත්වායි ආශිංසනය කරම්හ.


මහත් ප්‍රශංසාවට භාජනය වී ඇත

දුප්පබ්බජ්ජං දුරභිමං – දුරාවාසා ඝරාදුඛා
දුකේඛා සමාන සංවාසො – දුක්‍ඛානුපතිතද්ධගු
තස්මා න වද්ධගු සියා - දුක්‍ඛානුපතිතොසියා

“ පැවිද්ද දුෂ්කරය. එහි සිත් ඇලවීමත්, දුෂ්කරය. ගිහිගෙය වාසයත් දුක් සහිතය. අසමාන අදහස් ඇත්තවුන් හා එක්ව විසීමත් දුකකි. සසර ද ඉතා දිගු හෙයින් දුක සහිතය. මේ නිසාම දුකෙන් ලුහුබඳිනා ලද්දේ නොවිය යුතු ය”. - ධම්මපද ගාථා 302

මෙහිලා සඳහන් වූයේ සසර අදන්මඟට පැමිණයෙකු හට මුණගැසෙන දුෂ්කර කරුණු පසක් පිළිබඳ භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ එකල්හි විසූ එක් වජ්ජිපුත්තක භික්‍ෂුවක් අමතා දෙසූ ධර්මයකි. අද මෙන් පෙරදා ද භික්‍ෂුත්වය හැරයාමට උත්සුක වූ සිතැත්තෝ භික්‍ෂු ශාසනය තුළ සිටි හෙයින් මෙවන් දේශනාවකට ඉඩ ලැබුණි.සත්‍ය වශයෙන්ම මව්පිය සහෝදර සහ ලේ ඥාතීන් මෙන්ම ඥාතීන්ද තමාට හිමි භෝග සම්පත් හැරදමා යමෙකුහට පැවිදිවීමට , සිත හදාගැනීමටත් ,වතාවත් කිරීම්, පිඬුසිඟීම්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ඇලී ශික්‍ෂා රකිමින් වාසය කිරීම්,ආදිකොට ඇති ශ්‍රමණ සාරුප්‍යයෙහි රැඳෙමින් විසීම එදා මෙන් අද දුෂ්කරය.

දක්‍ෂිණ ලංකාවේ දොඩම්පහල ග්‍රාමයේ 1939 වර්ෂයේ අගභාගයේ උපත ලද විපස්සනා කම්ට්ඨානාචාරිය, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්ථවිරයෝ සසුන්ගතව ඇත්තේ වයසින් එකොළොස් වැන්නේ දීය. පැවිද්දෙන් පැරණි අපවැන්නන්හට එවන් ළාබාල කෙළිලොල් වියේදී මවගෙන් ඈත්වීම, පියාගෙන් ඈත්වීම, එක්කුස උපන් සහෝදර සහෝදරියන්ගෙන් ඈත්වීම වැනි කරුණු අතිදුෂ්කර කාරණයක් බව අප ශාස්තෘවරයාණෝ අවුරුදු දහස් ගණනකට පෙර දැකීම කොතරම් සත්‍යයක්ම වේද? එපමණක්ම නොව අප කථානායක ස්ථවිරයෝ පැවිද්ද ලබා පැවිද්දෙහි ඇලී සිටීමේ දුෂ්කර කාරණයෙහි ද මේ වන විට හැටතුන් වසරක් ගතවී තිබීම කෙතරම් ශාසන දායාදයට හිමිකම් කියන්නේ වෙම් ද? යන මෙකරුණු ද අපගේ සතුටට කරුණකි. එමෙන්ම නව පැවිද්දනට මහත් ආදර්ශයකි. එසේම කලපළුවාව ගෝතම තපෝවනය කේන්ද්‍රකොටගෙන පැවිදි ජීවිතයේ ශාසනභාරධාරි මහත් වගකීම් රැසකට උරදෙමින් බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා කළ මෙහෙවරයන් සැලකිල්ලට ගෙන අතිපූජ්‍ය චන්දසිරි ස්ථවිරයෝ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක තනතුරෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තද විය. මුන්වහන්සේගේ පරාර්ථ සේවය ගැන සැලකීමේදී ද ආගම්,ජාති කුල ආදි කිසි භේදයක් නොසලකා 2004 සුනාමි ව්‍යසනය වැනි ආපාදවාන් හිදී ඉටුකළ මෙහෙවර හා ඉටුකරගෙන යන මෙහෙවරයන් සංඝපීතෘ ලක්‍ෂණයන්ගෙන් ශෝභමානය.


සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කර ඇත

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට අභිනවයෙන් තේරීපත් වූ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක, කලපළුවාවේ ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා ස්ථවිරපාදයන් වහන්සේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් ගතකර ඇති පැවිදි ජීවිතය සියලු භික්‍ෂූන් වහන්සේට ආදර්ශයට ගැනීමට තරම් අගනේය.

අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගැනීමත් සමඟම උන්වහන්සේ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමේ උතුම් අපේක්‍ෂාව සඵල කර ගැනීමට යායුතු මග තෝරාගන්නට තරම් ප්‍රඥාවන්තයෙක් ශ්‍රද්ධාවන්තයෙක් වූහ. විදර්ශනාචාර්ය කුඩාවැල්ලේ වංගීස හිමියන්ගේ අන්තේවාසිකයෙක්ව පළමු වස ගත කිරීමට වඩින නවෝපසම්පන්න චන්දසිරි භික්‍ෂුවරයන් වහන්සේ වංගීස හිමියන්ගේ අවවාද අනුශාසනා ලබමින් භාවනා පුහුණුව හා වනවාසී භික්‍ෂු සම්ප්‍රදාය මැනවින් ප්‍රගුණ කළහ. අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්ථවිරයන් වහන්සේගේ සාර්ථක පැවිදි ජීවිතයට පදනම වූයේ මෙයයි. නවක භික්‍ෂූන් වහන්සේට ද පැවිදි ජීවිතයට අවශ්‍යම භාවනා පුහුණුව හා භික්‍ෂු ආකල්ප වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා භාවනා පුහුණු මධ්‍යස්ථාන රැසක්ම උන්වහන්සේ ආරම්භ කළහ. රෝහල් සේවා, දිළිඳු පවුල්වලට උදව් උපකාර කිරීම්, දිළිඳු පාසල්, දරුවන්ගේ අධ්‍යාපනයට අතදීම් ආදි සමාජ සත්කාරක සේවාවන් රැසක් ද දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්වාමිපාදයන් වහන්සේ සිදුකර ඇත.

මෙබඳු ලෝක ශාසනික මහඟු මෙහෙවරක් සිදුකොට ගිහි පැවිදි සැමගේ සම්මානයට පාත්‍ර වූ අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්ථවිරපාදයන් වහන්සේ අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට අභිනවයෙන් පත්වීම පිළිබඳව මාගේ ඉමහත් සතුට ප්‍රකාශ කර සිටින අතර උන්වහන්සේට චිරාත් කාලයක් ලෝක ශාසනික සේවාවන් සිදුකිරීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


මාහැඟි මෙහෙවර සැබැවින්ම ප්‍රශංසනීය වන්නාසේම බෙහෙවින් කාලෝචිත ද වේ

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක, කලපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානාධිපති , ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර,විපස්සනා කම්මට්ඨානාචරිය, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මහානායක මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය පිරිනැමීම නිමිත්තෙන් වූ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ශ්‍රේෂ්ඨ ලංකාද්වීපයේ මනරම් දකුණු සිරිලක දොඩම්පහළ ග්‍රාමයේ දී වර්ෂ 1939 දෙසැම්බර් මස 20 වෙනි දින ජන්ම ලාභය ලද අතිගෞරවනීය අප මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සසුන් කෙතට ඇතුළත් වූ දා පටන් අද දක්වාම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා සිදුකරනු ලබන්නා වූ මාහැඟි මෙහෙවර සැබවින්ම ප්‍රශංසනීය වන්නාසේම බෙහෙවින් කාලෝචිත ද වේ.

යදා ච බුද්ධා ලෝකස්මිං උප්පජ්ජන්ති පභංකරො
තෙ මං ධම්මං පකාසෙන්ති දුක්ඛූප සමගාමිනං
තෙ තං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පච්චලත්ථු තෙ

සම්මා සම්බුදුවරුන් ලොව පහළව, සියලු සත්වයන්ගේ සසර දුක දුරලා චතුරාර්ය සත්‍යය අවබෝධ කරවාලමින් ඤාණවන්තයන්ට නිවන් ප්‍රත්‍යක්‍ෂ කරදීම සිදු කරවන්නාක් මෙන්, එම බුදු මග ඔස්සේ යමින් අප මහානාහිමියන් ද ආදර්ශවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් දුකට පත් සුවහසක් වූ ජනී ජනයා ඉන් මුදා ගැනීම උදෙසා ධර්මානුකූලව ගන්නා වූ උත්සාහයන් වත්මන් සඟ පරපුරට බොහෝ අරුත්බර වේ.

අභිමානවත් වූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මේ ශ්‍රී ලංකා දෙරණ විනාශ මුඛයට පත්කරන්නට බොහෝ පිරිස් උත්සාහගත් අවස්ථා අපට මතකය. ඒ අභාග්‍ය සම්පන්න අවස්ථාවන්වල දී ගෞරවනීය වූ අප මහා සංඝරත්නය නොබියව තම පණට වඩා රට ගැන සිතා පෙරට විත් මේ උතුම් රට බේරාගැනීම සඳහා කටයුතු කළ ආකාරය ජාතිමාමක වූ අපේ සිත් සතන් තුළ සදා මතකයේ රැඳෙන්නා සේ ම, උන්වහන්සේ රට වෙනුවෙන් දක්වන්නා වූ ජාත්‍යාලය ද වඩ වඩාත් හැඟුම්බරය.

තම ජීවන ගමන් මගේ 74 වැනි වියේ දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට පත්වන්නට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූවා සේම 63 වසරක් පුරා සසුන් කෙත ඒකාලෝක කිරීමට අප මහා නා හිමියන් වහන්සේ සිදු කළා වූ කැපවීම උදෙසා මෙම ධුරය උන්වහන්සේ වෙත සැබෑ ම උපහාරයක් වනු ඇත.

එදා මෙන් ම අදටත්, අද මෙන්ම හෙටටත් අප මහ නාහිමියන් වහන්සේගේ කරුණාබර විද්වත් මතයන් මේ සසුන් කෙත පුරා විහිදෙනු ඇති බවට බලාපොරොත්තු දල්වා ගත් දෑසින් යුතුව පින්වත් උන්වහන්සේට හදවතින්ම දිගාසිරි පතන්නෙමි.

අර්ථයෙන් මෙන්ම ධර්මයෙන්ද සුචරිතවත් දේශයක දහම් අවබෝධය ඇති කිරීමෙහිලා අනිභිබවනීය ශාසනික සද් මෙහෙවරක නිරත අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මහානායක මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ගිහි, පැවිදි සහයෝගය, වගකීම්, ගෞරව නම්බුනාම නොඅඩුව ලබමින්, තෙරුවන් සරණින් උතුම් දළදා වහන්සේගේ අනුහසින්, විජය ශ්‍රී ජය මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින්, නිදුක් නිරෝගිව, තවත් චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවා!යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සුබ පැතුම් එක්කරන්නේ ඉමහත් ගෞරවයෙනි

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක කලපළුවාව ගෝතම තපෝවනය ඇතුළු තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨාචරිය, මහෝපාධ්‍යාය පූජ්‍යපාද දොඩම්පහල චන්දසිරි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට පත්ව උන්වහන්සේ වෙත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පවත්වන රාජ්‍ය උත්සවය සඳහා සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

එදිරිවීර පටබැඳිගේ සරනේලිස් සිල්වා උපාසක මහතා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසක මාතාවට දාව වර්ෂ 1939 දෙසැම්බර් මස 20 වන දින දකුණු සිරිලක දොඩම්පහළ දී උපත ලැබූ කුමරු උතුම් වූ පැවිදි දිවියට පත්වූයේ පෙර පින් බල මහිමය නිසාමය. මාතර විජයබා පිරිවෙන සහ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනින් පැවිදි අධ්‍යාපනය ලැබූ පූජ්‍යපාද දොඩම්පහළ චන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ මාතර නිල්වලා උදකුක්ඛේප සීමාමාලකයේදී ශ්‍රී කල්‍යාණි වංශික මහා සංඝරත්නය හමුවේ උපසම්පදාවට පත්ව, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මය ලොවට ප්‍රකාශ කිරීම සඳහා විශාල කාර්ය භාරයක් මේ දක්වාම ඉටුකරමින් සිටිති. යතිවර දිවියේ උපරිම ඵල නෙළීමට උචිත මාවත විදර්ශනා භාවනාව සහ වනවාසී සම්ප්‍රදාය බව මැනවින් හඳුනාගත් උන්වහන්සේ ඒ වෙනුවෙන් සිය දිවි කැප කළේය. ඒ සඳහා සුදුසු ස්ථාන හඳුනාගත් උන්වහන්සේ උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනය, කළුදියපොකුණ අරහන්ත තපෝවනය,කෑගල්ල අභයභූමි තපෝවනය ඇතුළු නදිය ශාඛා මධ්‍යස්ථාන රැසක අනුශාසකත්වය දරමින් සිටිති.

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති කාලච්ඡේදය තුළත් ඉන් අනතුරුවත් ශාසනික ප්‍රබෝධය උදෙසා ක්‍රියාකළ පූජ්‍යපාද දොඩම්පහල චන්දසිරි හිමිපාණන් වහන්සේ ඉටුකරන මෙහෙවර අපගේ නොමද ප්‍රශංසාවට ලක්වේ.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර්ථාන්විත අයුරින් සමාජයට දායාද කිරීම උදෙසා මනා ශිෂ්‍ය පරපුරක් හසුරුවමින් ආදර්ශමත් චරිතයකින් යුතුව කටයුතු කරන පූජ්‍යපාද දොඩම්පහළ චන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත මාගේ කෘතවේදී ගෞරවය පිරිනමන අතර, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුකරන අක්තපත්‍ර ප්‍රදානෝත්සවය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා! යි ප්‍රාර්ථනය කරමි.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]