UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල රජ මහ වෙහෙර සළසයි සැමට මෙහෙවර

බෙල්ලන්විල රජ මහ වෙහෙර සළසයි සැමට මෙහෙවර

සිව්වන ඵලයෙන් හටගත් බෝධිය
බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය
බාර හාර නිම නැති මහ බෝධිය
තිස් වෙනුවට නමදිමු මේ බෝධිය
(බෝ පුද කාව්‍යය – අරිසෙන් අහුබුදු)

එදත් අදත් මහජන ගෞරවාදරයට පාත්‍ර වූ ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ 63 වරටත් ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 31 වැනි දා දක්වා පැවැත්වීමට බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ඇසළ පෙරහර කොමිටිය විධි විධාන යොදා ඇත. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිවයයි. දෙවනපෑතිස් රජු සමයේ අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් පැන නැඟුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ අතුරෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ. මේ අනුව බෙල්ලන්විල රෝපණය කර ඇත්තේ අනුරාධපුර මහ මෙවුනා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකකි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙහි පැවැති ශ්‍රී විභූතිය, පෘතුගීසීන් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල ද වනගත පෙදෙසක් බවට පත්වී ඇති බවත්, සියවස් දෙකක පමණ කාලයක් බෙල්ලන්විල වනගතව ජනශූන්‍යව පැවැති බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. විදේශිකයින්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අඳුරු කාලපරිච්ඡේදයක පැවැති බෙල්ලන්විල 1850 වර්ෂයේ දී නැවත සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තේන්ගොඩගෙදර හිමිපාණන්ටය. ලන්දේසීන් අප රට පාලනය කරන අවදියේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය අසළින් වැටී ඇති කටු ඇළයි. අදත් දක්නට ඇති මෙම කටු ඇළ හරහා කළුතර සිට කොළඹ දක්වා ඔරු පාරු උපයෝගි කරගනිමින් ගමන් ගත් බව සඳහන් වේ.

මේ කාලයේ තේන්ගොඩගෙදර හිමිපාණන් වහන්සේ තොටියෙකුත් සමඟ පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරද්දී වනපෙතින් හේවිසි හඬක් ඇසී විශ්මයට පත්ව ඔරුවෙන් බැස හේවිසි නාදය ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිඳුන් දර්ශනය වී ඇති අතර ගැමියන් කැඳවා වනය හෙළි පෙහෙළි කර එම ඓතිහාසික බෝ සමිඳු මතුකරගෙන ඇත. බෙල්ලන්විල බෝ සමිඳුන්ට අධිගෘහිත බලසම්පන්න දෙවියකු සිටින බවත්, බෝ සමිඳු වනගතව සිටින සමයේ දෙවි දේවතාවුන් මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවත්, තේන්ගොඩගෙදර හිමිපාණන්ට ඇසුණු බෙර හඬ දෙවියන් විසින් පවත්වන ලද්දක් බවත් ජනප්‍රවාදයේ කියැවේ. බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිර දෙසින් පිහිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවැති හෙයින් මෙම විල අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය පටබැඳි බව පැරැන්නන්ගේ මතයයි. බෙලිවනය, කුඹුරුයාය නිසා ‘බෙල්ලන්විල’ නාමය ඇතිවී යයි ද තවත් මතයකි.

තේන්ගොඩගෙදර හිමිපාණන් බෙල්ලන්විල පුදබිම සොයාගැනීමෙන් පසු එහි විහාරාධිපති ධූරය දැරූ අතර, ඉන්පසු විහාරාධිපති ධූරයට පත්වූවෝ නම්, උඩුගම්පල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උඩුගම්පල ශ්‍රී ධම්මක්ඛන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අභිධම්මිකාචාර්ය වෑබඩ ශ්‍රී සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරියේ දේවරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

1946 වසරේ දී විහාරාධිපති ධූරයට පත් වූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ විහාරස්ථානයන් අතර සබඳතාවය ගොඩනඟමින් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්නට සමත් වූහ. පොළොන්නරු ජේතවනාරාමයේ අනුරුවක් අනුව ගොඩනැඟුන විහාර මන්දිරයත්, දෙමහල් ධර්ම ශාලාව, දේව මන්දිරය, සංඝාවාසය, සීමා මාලකය, ධාතු මන්දිරය, විහාරස්ථානයට ඇතුල්වන විශාල මකර තොරණ ආදිය ඉදි කරමින් බෙල්ලන්විල රාජ මහා විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. ත්‍රිවිධ රත්නයේත්, දෙවියන්ගේත්, ආශිර්වාදය ප්‍රදේශවාසීන්ට ලබාදීමේ අරමුණෙන් උන්වහන්සේ 1950 වසරේ දී ආරම්භ කරන ලද ඇසළ පෙරහර උඩරට පහතරට නැටුම් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් පැවැත්වෙයි. මෙම වසරේ ද බෙල්ලන්විල ඇසළ උත්සවය ආරම්භ වූයේ ධර්ම දේශනා මාලාවකිනි. සති පිරිත් දේශානය අගෝස්තු 18 වැනිදා ආරම්භ වූ අතර දොරකඩ අස්න දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර අගෝස්තු මස 24 වැනිදාත්, මල් පෙරහර 25 සිට 28 වැනිදා දක්වාත් පාවාඩ පෙරහර 29 වැනිදාත්, රන්සිවිලි පෙරහර 30 වැනිදාත්, රන්දෝලි මහා පෙරහර 31 වැනිදාත්, පවත්වා පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය අගෝස්තු 01 වැනිදා දවල් බොරලැස්ගමුව තොටුපලේ දී සිදුකර, බොරලැස්ගමුව පරාර්ථසාධන සමිතියේ දායකත්වයෙන් දෙවියන්ගේ දානය පිරිනමා දිය කැපීමේ පෙරහර විහාරස්ථානයට ගෙවදීමෙන් පසු විහාරස්ථානයේ දී ද දෙවියන්ගේ දානය පිරිනමා ඇසළ පූණ්‍යෙීත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කෙරේ. එදා පටන් නන්දෙසින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත්හු බෝ සමිඳුන්ට බෝධි පූජා පැවැත්වීමෙන් සිය අභිමතාර්ථයන් ඉටු කර ගනිති. කිරිකැටි දරුවන් පවා බෙල්ලන්විල බෝ සමිඳු අභියස වැලිමළුවේ තබා සෙත් පතන්නේ මෙම බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.


විහාරාධිකාරි
මහාචාර්ය බෙල්ලන්විලවිමලරතන අනු නා හිමි

විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන
නා හිමි

අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන
නා හිමි

වර්තමාන විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයේ සේවාවන් නොපිරිහෙලා පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් ආගමික සේවාවන්ට අමතරව ප්‍රජා සේවාවන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලබයි. සිසුන් 2500 අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලත්, පාසල් හැර ගිය සිසුන්ට වෘත්තිය පුහුණුවත් ලබාදී, රැකියාවන් සඳහා යොමු කරන ප්‍රජා සංවර්ධන පදනමත්, වැඩිහිටියන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයත්, මසකට වරක් පැවැත්වෙන වෛද්‍ය සායනය, ලේ දන්දීමේ කඳවුර, තෙමසකට වරක් පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය, නොමිලයේ ඇස් පරීක්‍ෂා කර ප්‍රතිකාර සහ ඇස් කණ්ණාඩි ලබාදීමත් හෘද සැත්කම් ආදිය සඳහා වෛද්‍යාධාර ලබාදීමත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකිය. 61 වසරක අත්දැකීම් සහ මහනුවර ඇසළ පෙරහරේ ලක්‍ෂණ ගුරුකොට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අගනුවර තදාසන්න පෙරහර අතුරෙන් අග්‍ර ස්ථානයක් හිමිකරගන්නේ ඉන් පිළිබිඹු වන සාම්ප්‍රදායික සංස්කෘතික අංග නිසා බව සඳහන් කළ හැකි ය.

විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 2012 වසරේ සිට බෙල්ලන්විල ඇසළ පූණ්‍යෙීත්සවයේ සියලු කටයුතු සංවිධානය කරන්නේ විහාරස්ථ ඇසළ පෙරහර කොමිටිය මඟිනි. ඒ සඳහා විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ සංසදය, ශ්‍රී බෝධිරාජ කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන අතර පෙරහර කටයුතු මැනවින් සංවිධානය කිරීම සඳහා රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගෙන් ලැබෙන සහයෝගය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]