UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසරකට පෙර අපවත්වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි

වසරකට පෙර අපවත්වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණං කරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසරක් සපිරේ.

සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ, ආදර්ශවත් සංඝපිතෘන් වහන්සේ නමක්වූ වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමය මෙරට සම්බුදු සසුන තුළ මහත් ගෞරවයෙන් යුග ගණනාවක් පුරා නිරන්තරයෙන් සිහිපත් කැරේ.

ගම්පහ වේවැල්දෙණියේ මිල්ලවල සිංගම්කුට්ටිආරච්චිගේ ඉසන් අප්පුහාමි සහ රාජපක්‍ෂ විතාරණලා ගේ ලියඟුහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1909 දෙසැම්බර් 07 වනදා පින්වත් උපත ලැබීය.

නිසි වයස පැමිණි කල්හි එවකට තෝලංගමුව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා නාගස්ඇල්ල විවේකාරාමයේදී වාද්දුවේ ධම්මදින්න හිමියන් යටතේ පස්වරුවේදී ඒ කුමරා අකුරු කරන ලදී.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ව වැඩ විසූ කදිරාගම සුමනසාර මාහිමියන්ගේ සහ කතලුවේ සීලවංස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය. 1922 මැයි 26 වනදා වේවැල්දෙණියේ මේධාලංකාර හිමි නමින් පැවිදි බිමට පත්වු උන්වහන්සේ මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ දී සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ. නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනින් පැවිදි අධ්‍යාපනය ලැබු අතර මාතලේ ධම්මසිද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දීපේගොඩ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ළඟින් ඇසුරු කළහ.

1930 දී අධිසිල් ලැබූ උන්වහන්සේ 1950 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු හොබවමින් නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළහ. මීරිගම ශාසන වර්ධන පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් ඉමහත් අධ්‍යාපනික හා සාමාජික මහ මෙහෙවරක් ද සිදු කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ පොත්තේවෙල ශ්‍රී පඤ්ඤාසාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1998 දී වේවැල්දෙණියේ මේධාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයට පත්වූහ. මහ සඟරුවන අතර සාමාගී‍්‍රය මහත් අගය කළ උන්වහන්සේ ස්වකීය අදහස් අභීතව පළ කිරීමට පසු බට නොවූහ.

හැමවිට පොදු ජන සුවසෙත අගය කළ උන්වහන්සේ චාම් සරල දිවිපෙවෙතක් ගත කළහ. ජාතික, ආගමික හා සාමාජික කටයුතු වලදී මාර්ගෝපදේශකයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ සම්බුදු සසුනේ අභිවෘද්ධිය පතා මහ මෙහෙවරක් නිහඬව ඉටුකළහ.

ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විදේශයන් වෙතද වැඩම කරමින් ආගමික හා ශාසනික මෙහෙවරෙහි නිරතව වැඩ සිටියහ.

මෙසේ සසුනඹර ඒකාලෝක කරමින් වසර 103 ක් වැඩ සිටි වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසරක් සපිරීම නිමිත්තෙන් මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාස්ථානයේදී විහාරාධිපති සීතාඑළියේ චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]