UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

ගැටමාන්නේ හේමාලෝක නා හිමි

ගැටමාන්න රාජමහා විහාරය නිහිළුව අශ්වත්ථාරාමය පාලංකඩ පන්ථාරාමය මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය යන විහාරස්ථානයන්හි අධිපති ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නාහිමිපාණන් 1943 අගෝස්තු මස 11 වන දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ දකුණු ගැටමාන්නේ නාපැළේ ළඟ ගෙදර දී මෙලොව එළිය ලැබීය. ඇන්ඩ්‍රියස් රත්නායක කුමරුවා ගේ පියාණන් එඩ්වින් රත්නායක මහතා ය. මෑණියන්දෑ එච්.ලියනපතිරණ මහත්මියයි.

ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරුවා ගැටමාන්න රාජමහා විහාරස්ථානය අධිපති ව වැඩ සිටි නිහිළුව අස්වත්ථාරාමය, පාලන්කඩ පන්ථාරාමය යන විහාරස්ථානයන්හි ද ආධිපත්‍යය හා මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දෙපළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය ද දැරූ ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද ගැටමාන්නේ ශ්‍රී සරණපාල නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් 1958 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

පෞරාණික ශාසනික සම්ප්‍රදාය අනුව මූලික බණ දහම් හා ශාසනික වත්පිළිවෙත් තම ගුරු දේවයන් වහන්සේ ගෙන් ම ලැබූ හේමාලෝක කුඩා හිමි පිරිවෙන් අධ්‍යාපනය සඳහා කොළඹ හුණුපිටියේ ශ්‍රී ඥානේශ්වර පිරිවෙණට ඇතුළත් කෙරුණි.

භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ලැබිය යුතු ශික්‍ෂණයත් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ පරිචයත් විසිවිය සපිරීමත් යන අවශ්‍යතා සම්පූර්ණ කරගත් හේමාලෝක හිමියෝ 1963 මැයි මස 25 වන දින මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වීය මහානායක ධුරන්ධර පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි තත් මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සම්පත්තියෙහි පිහිටියහ.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හේමාලෝක හිමියෝ 1965 දී ශාස්ත්‍රවේදී උපාධිය ද 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර ශිෂ්‍යයෙකු වශයෙන් නීතිය හදාරා එහි ප්‍රථම විභාගය ද සමත් වූහ.

1986 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලැබූ හේමාලෝක හිමියෝ ජාතික අධ්‍යාපන ආයතනයට ඇතුළත් වී අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ද ලබා ගත්හ. පළමු ව පිරිවෙන් ගුරු සේවයට ඇතුළත් වූයේ 1971 දී බෙල්ලන ශ්‍රී ධර්මපාල විද්‍යායතන පිරිවෙණෙනි. සාවුරුදු පිරිවෙන් ගුරු සේවා කාලයෙන් පසු 1977 දී රජයේ ගුරු සේවාවට ඇතුළත් ව බණ්ඩාරවෙල කළුපහණ විද්‍යාලය, රන්වන්ගුහාව විද්‍යාලය, කළුතර විදුලන විද්‍යාලය, තංගල්ල නිහිළුව විද්‍යාලය හා මහරගම විද්‍යාකර මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපන සේවාවෙහි නිරත වූහ.

ඉන් වසර විස්සක් ම කැප කළේ මහරගම විද්‍යාකර මහා විද්‍යාලයට ය. 2000 දී කොළඹ රාජකීය විද්‍යාලයට පත්වීමක් ලැබූ හේමාලෝක හිමියෝ විශ්‍රාම ලබන තුරුම එහි අධ්‍යාපන සේවාවේ නිරත වූහ. සුදර්ශන විද්‍යාලය ආරම්භ කොට ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය සඳහා දරුවන් වෙනුවෙන් කළ සේවාව විශිෂ්ටය.

ගැටමාන්න විහාරස්ථානයට අනුබද්ධ විහාරස්ථානයක් ලෙස සිරි තිසරණ ධර්මායතනය යන නමින් විහාරාරාංග වලින් සමන්විතව විහාරයක් ආරම්භ කළහ. සිරි සරණපාල ධර්ම විද්‍යාලය නමින් දහම් පාසලක් ආරම්භ කළහ.

ප්‍රදේශවාසීන්ට ධර්මාලෝකය ලබාදීමට ශීල භාවනා සංවිධානයත් හැදෙන වැඩෙන දරුවන්ගේ ගුණ නුවණ වඩන්නට දහම් පාසල් හා පොදුවේ බොහෝ දෙනාට තිසරණ සරණ නමින් තෛ‍්‍රමාසික බෞද්ධ පුවත් පතත් ක්‍රමික ව හරවත් ව පවත්වාගෙන යෑමත් හේමාලෝක හිමිපාණන්ගේ ආදර්ශවත් ක්‍රියාවන් ය.

හේමාලෝක හිමියන්ගේ විදේශීය ධර්මදූත සේවාවන් හා ආගමික සිද්ධස්ථාන වන්දනාවන් ද බොහෝ ය. ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල්වල වරින් වර සංචාරය කළා පමණක් නො ව එම රටවල විවිධ සංස්කෘතික ලක්‍ෂණ අධ්‍යයනය කිරීම තුළින් ලැබූ අත්දැකීම් දේශීය වශයෙන් තමන් සිදුකරන කටයුතුවලට මනා පදනමක් කරගත් ආකාරය ද දැකිය හැකි ය. එහෙයින් විදේශීය සංචාර බෙහෙවින් ඵලදායී වූ බවට විහාරස්ථානය තුළ ම නිදර්ශන බොහෝ ය.

ශාස්ත්‍රීය සඟරාවලට පුවත්පත්වලට ලිපි සපයමින් ක්‍රියා කළා සේ ම මෑතක දී බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ජීවන රටාව සහ සංසාර පැවැත්ම නමැති ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් ප්‍රසිද්ධ කිරීම ද සුවිශේෂ කාර්යයකි.

හේමාලෝක නාහිමියෝ ප්‍රාදේශීය මට්ටමින් ද විවිධ සමිති සමාගම්වල ක්‍රියාකාරී තනතුරු හොබවති. මාවිත්තර උතුර සණස සමිතියේ ගරු අනුශාසක ධූරයත්, මාවිත්තර උතුර සමඟි අන්‍යොන්‍යාධාර සමිතියේ අනුශාසක ධූරයත්, දහම් පාසල් සංවර්ධන සමිතියේ සභාපති ධුරයත්, කැස්බෑව ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයේ අනුශාසක ධූරයත්, තිසරණ සරණ බෞද්ධ පුවත්පතෙහි විධායක අධ්‍යක්‍ෂ ධුරයත්, සිරි සරණපාල ධර්ම විද්‍යාලයෙහි ප්‍රධානාචාර්ය ධුරයත්, පබසර ලෝචන ළමා පුස්තකාලයේ පුස්තකාලාධිපති ධුරයත්, කෝරළඉම විජයගිරි පිරිවෙණේ සම්මාන පරිවේණාධිපති ධුරයත් හොබවන්නේ ද උන්වහන්සේ මය.ජාතික ආගමික අධ්‍යාපනික හා සමාජීය වශයෙන් හේමාලෝක හිමියන්ගේ පණස් වසරකට ආසන්න පැවිදි ජීවිතය තුළින් කරන ලද විශිෂ්ට සේවාවන් අගය කිරීමක් වශයෙන් මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරන්ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව මගින් ‘ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල’ යන ගරු නාමය සහිත කොළඹ සල්පිටි කෝරළයේ අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. වෙනත් සංවිධාන මඟින් පිරිනැමුණු ගරුනාම රාශියක් ඇති අතර ‘ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත’ යනු තවත් සම්මානයකි.

ප්‍රශංසනීය සේවාවන් කරමින් සම්මාන ලබමින් වටිනා ලෝක ශාසනික මෙහෙවරක යෙදෙන ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත, ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල, ගැටමාන්නේ හේමාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් ලෝක ශාසනික සේවාවන් කරමින් චිරාත් කාලයක් වැඩ සිටීමට රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා!


වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමි

වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් වහන්සේ 2013 අගෝස්තු 20 වන දිනට තම දිවියේ අනූහය වැනි වියට පා තැබූහ. රෝහණ පුරවරයේ වලස්ගල දෙමටපිටිය ගම්පියසේ 1918 අගෝස්තු 20 වැනි දින ජන්මලාභය ලැබූ සිටිනමළුව ගුරුගේ සයිමන් නොහොත් සෝමදාස නම් විය. දික්වැල්ල මොග්ගලීපුත්ත තිස්ස බෞද්ධ මිශ්‍ර පාසලේ 06 පන්තිය දක්වා අකුරු කළ මෙම පින්වත් කුමරුවා 1932 දී සැප්තැම්බර් 12 වන දින රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ මහා නා හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් වලස්ගල පුණ්ණජි මයුරවංශ නමින් සසුන්ගත විය.

පැවිදි බිමට පත් මයුරවංශ හිමිපාණෝ විහාරස්ථානයේ වැඩවිසූ පණ්ඩිත හිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඉතා විශිෂ්ට ලෙස දහම් අධ්‍යයන කටයුතුවල නිරත වන්නට විය. 1940 දී වෙසක් මස 04 වන දින කැලණියේ උදකුඛේප සීමා මාලකයේ දී උපසම්පදා වූහ. තම මුල් පැවිදි බිම වූ මඩිහේ ධර්මවංශිකාරාමයේ සිසු සිසුවියන් 44කින් සමන්විත වූ දහම් පාසල ආරම්භ කළ අතර මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ ද 1944 වසරේ දහම් පාසල ආරම්භ කරන ලදී. මහරගම භික්‍ෂු මධ්‍යස්ථානයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් හට ගිලානෝපස්ථාන වැඩසටහනක් ආරම්භ කරවීය.

මාතර මහ රෝහල් භූමියේ අංග සම්පූර්ණ බුදු මැදුරක් ඉදිකරවා රෝගීන්ට වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව උදාකර දුන්හ. දිනපතා ධර්ම දේශනා පිරිත් දේශනා වලට සවන් දීමට ද රෝගීන්ට අවස්ථාව සලස්වා දුන්හ. උන්වහන්සේ එදා ආරම්භ කළ නේවාසික රෝගීන් වෙනුවෙන් සපයන ගිලන් සංග්‍රහය අදටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යයි. 1960 දශකයේ මුල්භාගයේ මාතර හෙළ හවුල, මාතර දිසා බෞද්ධ ගුරුදෙගුරු සංගමය, බෞද්ධාචාර්ය සංවිධානය, මාතර අමද්‍යප සේවා සංගමය, මාතර අක්‍ෂිදාන සංගමය වැනි සමාජ සේවා ආයතන ආරම්භ කිරීමට උන්වහන්සේ පුරෝගාමී විය. 1962 ජූනි මස සිට මයුරවංශ ස්වාමීන් වහන්සේගේ පූර්ණ කැපවීම, මඟපෙන්වීම හා නායකත්වය යටතේ පළාතේ ප්‍රභූන්ගේ දායකත්වය ලබාගනිමින් ඇරඹූ මාතර ආරෝග්‍ය සේවා සංගමයෙන් මේ දක්වා ඉටු කර ගෙන යන මහජන සේවාවන් ජනාදරයට පත්ව ඇත. මේ අතර මවුපිය රැකවරණය අහිමි පිරිමි දරුවන් සඳහා කීර්ති කුමාර නිවාසය, සුවසෙවණ වැඩිහිටි නිවාසයද ශ්‍රී මංගල ළදරු පාසල හා දාරකාගාරයද ප්‍රධාන තැනක් ගන්නා අතර තුරුලතා සක්මන් මළු ආදියෙන් සමන්විත නිසංසල පරිසරයක ඉදි වී ඇති කුටි 56කින් සමන්විත භාවනා මධ්‍යස්ථානය කාගෙත් සිත් ගන්නා සුළු ආකාරයෙන් නිමකර බවුන් වඩන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇති අතර සාරධර්ම වලින් පිරිපුන් සමාජ තලයක් ගොඩනැඟීමේ චේතනාවෙන් ආරම්භ කළ සීල සංවිධානය නොකඩවා අදටත් පවත්වාගෙන යනු ලැබේ.

උන්වහන්සේගේ අතින් ලියැවුණූ බෞද්ධ ග්‍රන්ථ අපමණය. දැනට වයෝවෘධව කල්ගත කලත් උන්වහන්සේගේ උපදෙස් මත ලියැවෙන සිත්සුව මාසික ධර්ම පත්‍රිකාව අදටත් මුද්‍රණය වෙමින් පවතී.

අගෝස්තු 20 දිනට යෙෙදුනු උන්වහන්සේගේ ජන්ම දිනය සමරා මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරස්ථානයේ සෙත්පැතීමේ පින්කම් සංවිධානය කර තිබිණි. කම්මට්ඨානාචාර්ය වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු.


බුලත්සිංහල සුමංගල හිමි

මාතර, කිරින්ද, පුහුල්ඇල්ල ශ්‍රී රුහුණු යෝගාශ්‍රමයේ බුලත්සිංහල සුමංගල හිමියෝ පසුගියදා පැවිදි ජීවිතයේ 35 වැනි වසර සැමරීය.

කළුතර බුලත්සිංහල රණසිංහගේ අදිරියන් සිංඤෝ මහතාගේ සහ අත්දගමරාළලාගේ බේබිනෝනා මාතාවගේ ආදරණීය දරුවකු ලෙස 1963 සැප්තැම්බර් 16 දින ජන්ම ලාබය ලැබූ මේ කුමරා සෙනෙවිරත්න නම් විය. ගමේ පාසලේ මූලික අධ්‍යාපනය ලබා වයස 16 දී ගම්පහ වැලිවේරියේ බැනව්කන්ද වත්තේ පිහිටි ගල්දූව යෝගාශ්‍රම සංස්ථාවට අයත් සිරි මංගල යෝගාශ්‍රමයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ සමුත්පාදක පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මා හිමිසහ මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායයෙන් 1979 ජූලි 05 දින බුලත්සිංහල සුමංගල නමින් උතුම් පැවිදි බවට පත්විය. එතැන් සිට අත්තන්ගල්ලේ සම්බෝධි මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස මූලික බණදහම් සහිත ත්‍රිපිටක ධර්මය හැදෑරීය. 1984 පොසොන් මස 18 වන දින උපසම්පදාවට පත් විය. එතැන් සිට කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් වනසෙනසුන් රැසක වැඩසටහන් මෙහෙයවමින් තමන් සැනසෙන ගමන් තමා හමුවට එන දායක පිරිසද සනසන්නට පැවිදි දිවිය කැප කළේ ය. 1999 දී මාතර පුහුල්වැල්ල ශ්‍රී රුහුණු යෝගාශ්‍රමයට වැඩම කර එහිදී උදාර සේවාවක් සිදු කරමින් වැඩ සිටී.

ශ්‍රී රුහුණු යෝගාශ්‍රමයද දවසින් දවස දියුණු කරමින් මහත් සේවාවක් සිදු කරයි. උන්වහන්සේගේ පැවිදි දිවියේ 35 වැනි වසර සමරමින් ජූලි 14 වන දින කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් තෙසැත්තෑ ඥාන පූජාවක්ද එදින රාත්‍රි සර්වරාත්‍රික පිරිත් දේශනයක් ද 15 වන දින 50 නමකට අධික ස්වාමින් වහන්සේලා උදෙසා දන් පූජා කිරීමද, පවුල් සියයකට වියළි ආහාර පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබිණි.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]