UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ සජීවී ලෝකය

කර්තෘ :- චාමික මුණසිංහ
ප්‍රකාශක :– සාහිත පොත් පියස
10/7 දේවානන්ද පාර, නාවින්න හන්දිය, මහරගම
මිල – රු. 290 යි

බුදුසරණ පුවත්පතට සැපැයූ ලිපිමාලාවක් ඇතුලත්කර ‘සජීවි ලෝකය’ නමින් ග්‍රන්ථයක් වශයෙන් එළිදක්වා තිබේ. පොතට පසු වදනක් සපයන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසන්නේ මෙසේ ය.

අපිට සමීප විවිධ ජීවින් වෙසෙන ලෝක අනන්තය . කාලය ප්‍රමාණය හා ස්වභාවය අතින් ඒවා වෙනස් වේ. නොයෙකුත් ශක්තීන්ගෙන් සජීවි වන එම ලෝකවල පැවැත්මෙහි රටාවක් පවතී. අප ගෞතම බුදුරදුහු එවන් කෝටි ලක්‍ෂයක සක්වළ ජීවින්ගේ අණසක පතුරා ආටානාටිය, ධජග්ග,මෝර මෙත්ත හා රතන යන සූත්‍ර දේශනා කළහ.ඊට අයත් නොවන වෙනත් සක්වළ පිළිබඳවත් මෙම කෘතියෙන් විමසති. විදු අත් අඳුරේ අතපත ගාන විෂය පත වෙත බුද්ධා ලෝකය විහිදුවන නූතන,බෞද්ධ විද්‍යාඥයා බෙල්ලන ඤාණවිමල , මහා නාහිමිපාණෝම ය. සියවසකට ආසන්න උන්වහන්සේගේ ඤාණාවලෝකයෙන් මෙලෙස සක්වළ සක්මන් කරමු. මෙම කෘතිය සකස් වී ඇත්තේ බුදුසරණ පුවත්පත සඳහා මහා නා හිමියන් සමඟ චාමික මුණසිංහ කරනු ලැබූ සාකච්ඡා ඇසුරෙන් සකස් වූ ලිපිමාලාවකින්ය.


අසිරිමත් සෝමාවතිය මහා දා ගැබ

කර්තෘ :– කුසුම්සිරි විජයවර්ධන
ප්‍රකාශක :– දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල :- රු. 180 යි

රාජ්‍ය වර්ෂ පූර්ව දෙවන සියවසේදී සෝමනුවර ඉදිකරන ලද සෝමාවතී දා ගැබ එකල රජ රට තැනිතලාවේ විශාලතම දා ගැබක් විය.සෝමාවතිය වනෝද්‍යානය මැද පිහිටා ඇති මෙම දාගැබ සිත් සනසන පුද බිමකි. දිනපතා බොදුනුවන්ගේ ඉමහත් පුද පූජාවට ලක්වන සෝමාවති දාගැබ වටා අසිරිමත් කතා පුවත් රැසක් ද ගෙතී පවතී.

සෑරදුන්ගේ,ඉතිහාසය හා පුරාවිද්‍යා, වැදගත්කම රජවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය අභිලේඛන, සාධක, අවට පිහිටි වෙනත් ඉපැරණි විහාරාරාම ප්‍රදේශයේ පාරිසරික වැදගත්කම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කතුවරයා අවධානය යොමු කර ඇත. සෝමාවති වන්දනා කිරීමට යන බැතිමතුන්ට අත්පොතක් වශයෙන් මෙය වැදගත් වෙයි.

පසු පිටේ විග්‍රහයට ඉහත සඳහන් සටහන ඇතුලත්ව තිබේ.
 


පෝය දිනවල ඇති වැදගත්කම්

කර්තෘ :– නවනැලියේ විජේතුංග
ප්‍රකාශනය:– කර්තෘ ප්‍රකාශනයකි.
මිල :– රු. 200 යි

ශාස්ත්‍රපති නවනැලියේ විජේතුංග මහතා කලක් තරුණ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂකවරයෙකු වශයෙන්ද විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්ද, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපලේකම්වරයා වශයෙන්ද සේවය කර ඇත.

ඒ මහතා දැනට ග්‍රන්ථ දෙසීය දහයක් පමණ ලියා පළකර ඇති අතර මෙම ග්‍රන්ථයේ පුර පසළොස්වක පොහොය දොළහ පිළිබඳ විස්තර ඇතුලත්ව ඇත.



 


සර්වඥ ශික්‍ෂා පාත්‍ර ධාතුන් වහන්සේ

කර්තෘ :– ගයාන් චානුක විදානපතිරණ
ප්‍රකාශනය :– දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල :- රු.400 යි

විශේෂයෙන් සර්වඥධාතුන් වහන්සේලා අතර වඩාත් ගෞරවයටත් පූජනීයත්වයටත් පත්ව ඇත්තේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව පිළිබඳව ලියූ මෙම ග්‍රන්ථය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත්වන කෘතියකි. මෙහි කතුවරයා වන ගයාන් චානුක විදානපතිරණ මහතා පාත්‍ර ධාතුන් වහන්සේ පිළිබඳව වූ තොරතුරු සොයා බලා තහවුරු කළ හැකි පුරා සාධක මගින් එම පූජනීය වස්තුන් හඳුනාගෙන බෞද්ධ බැතිමතුන් වෙත ඉදිරිපත් කර තිබීම අතිශයින්ම වැදගත් ය. ඒ හැරුණු කොට පාඨකයාට පාත්‍ර ධාතුන් වහන්සේ පිළිබඳ නිසි අවබෝධයක් ලැබීම පිණිස ඒ ගැන කියැවෙන හා ලියැවී ඇති බොහෝ තොරතුරු ඇතුලත් කර තිබීමෙන් විශාල අවබෝධයක් ද ලැබිය හැකි ය.

ග්‍රන්ථයට පෙරවදනක් සපයමින් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයනාංශාධිපති මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා එසේ සටහන් කර තිබෙයි.


ධම්මපදයේ සිහළ ගී සරණිය

සම්පාදක :– විමලරත්න ලියදිපිටිය
ප්‍රකාශනය – ලියදිපිටිය ප්‍රකාශන
මිල රුපියල් – 150 යි

ධම්මපදයේ තෝරාගත් ගාථා 150 ක් පද්‍යයට නගා ඇති ධම්මපදයේ සිහළ ගී සරණිය කෘතිය පිළිබඳව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් පොතට පෙරවදනක් සපයමින් පවසන්නේ තථාගත බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ගාථා රත්නයන් කාව්‍යයට නගා සරළ සිංහලෙන් ඉදිරිපත් කිරීමෙන් කතුවරයා සතු නිසඟ කුසලතා ගුණය ප්‍රකාශ වන බවය.

මේ ලෙසින් ඒ උතුම් ගාථාවන්හි අදහසට හානි නොකොට ඉතාමත් මැනවින් ශ්‍රද්ධාව උපදවා සද්ධර්මය කියවන්නාගේ හදවතෙහි තැන්පත් කරවීමට කතුවරයා සමත්ව ඇති බව ද උන්වහන්සේ පවසති.



 


නොපෙනෙන ලොව සැබෑ තතු

සම්පාදක – පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමි
ධර්මදානය පිණිස නොමිලයේ බෙදාහරිනු පිණිසයි

ග්‍රන්ථයට පුණ්‍යානුමෝදනාවක් සපයමින් ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ කහගොල්ලේ සෝමවංශ හිමියන් පවසන්නේ මෙසේය.

සියලු දෙනාටම එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන දේ සහ ඇතිවන ගැටලු වලට විසඳුම් මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් වේ. පූජ්‍ය වේදෙනියේ නන්දසීල ස්වාමීන්වහන්සේ අතිගරු මහා කම්මට්ඨානාචාර්ය නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ සමග සිදුකරන ලද පිළිසඳර සාකච්ඡාවක් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මා හිමි වහන්සේගේ උසස් දැනුම මෙම ග්‍රන්ථය කියවන ඔබට තේරුම්ගත හැකි ය. තථාගත බුදුරජාණන්වහන්සේගේ දේශනාවන්ට අනුව මෙහි අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි හිමියන් මෙසේ සටහනක් තබයි.

පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද අධ්‍යාත්මික අද්දැකීම් ද පදනම් කරගනිමින් අනුශාසනී ප්‍රාතිහාර්ය යෙහි යෙදී සිටින අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ කර්මය හා කර්ම විපාක, අපාය,දෙව්ලොව හා බඹලොව, මරණය හා පුණර්භවය අන්තරා භවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ ථේරවාදි සම්ප්‍රදායානුකූල විග්‍රහයන් මෙහි මැනවින් ඉදිරිපත් කර ඇත.


කිංස්බරි ධර්ම දේශනා 2012

සංස්කාරක :– හාන්දුපැල්පොළ මහින්ද
ප්‍රකාශනය :- ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ලන්ඩන්

මුළු යුරෝපයේම ලාංකික විහාරස්ථාන අතුරෙන් වැඩිම භික්‍ෂූන් වහන්සේ පිරිසක් වස් වසා වැඩ සිටි විහාරස්ථානය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බව කියැවෙයි.

2012 වර්ෂයේ එහි වස් විසූ ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද නා හිමි ,ආචාර්ය ඌරුගමුවේ වංගීස හිමි,ආචාර්ය නේපාලේ නන්ද හිමි, ශාස්ත්‍රපති නේපාලේ සුමන හිමි,වස්කඩුවේ සුබෝධ හිමි,ශාස්ත්‍රපති කහටරුප්පේ වජිර හිමි හා ශාස්ත්‍රවේදි නේපාලේ තිස්ස හිමිවරුන් වස්කාලය තුළ මහ පිරිත් පොතේ සූත්‍ර ආශ්‍රයෙන් කළ ධර්ම දේශනා අතුරින් තෝරාගත් දම්දෙසුම් කීපයක් ඇසුරින් කළ සංස්කරණයන් මෙම ග්‍රන්ථයට ඇතුලත් වී තිබෙයි.

 


සත්‍යවාහිනී

උපදේශක :– හෑගොඩ විපස්සී හිමි.
සංස්කාරක :- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ
සංස්කාරක මණ්ඩලය :- කෙත්සිරිගම සුජාත හිමි, මුනුජය ධර්මපි‍්‍රය, නිෂාරා එදිරිසිංහ
ප්‍රකාශනය – ධර්ම පර්යේෂණාලය, ආදර්ශ නගරය, රත්මලාන
මිල – රු. 100/- යි

මිථ්‍යාවට එරෙහිව සත්‍යවාහිනී නම් සඟරාව සෑම මසකම පුරපසළොස්වක පොහොය දිනයට නිකුත් කෙරෙයි. එහි මුඛ්‍ය පාඨයෙන් කියැවෙන්නේ ‘යහපත් සමාජයක් උදෙසා මානසික සංවාදශීලී සමාජ කථිකාවත’ යනුවෙනි. මෙහි මුල් කලාපයේ හැඳින්වීමේ දී සඟරාව ඵල කිරීමේ අරමුණ මෙසේ පැහැදිලි කරයි. විශිෂ්ට දෑ සොයා ගැනීම ගවේෂණය නම් විය. නූතනයේ සිරිලක පෙර නොවූ විරූ ගවේෂකයෝ බිහිවෙති. මේ ආදී වශයෙන් අපූරු ගවේෂකයෝ අපූරු දෑ සොයා ගනිති. මේ යන්නේ හුදෙක් ගවේෂණයේ මුල් අරුත කරා ද?

ථෙරවාදී බුදුදහම වනසමින් අමුතු මාදිලියේ දහමක් බිහිකොට අපේ රටේ ආගමික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික, දේශපාලන වශයෙන් අස්ථාවරයක් ඇතිකොට විනාශ කිරීමටදැයි විමසීමට කාලයයි මේ. සත්‍යවාහිනියේ අරමුණ මේ මිථ්‍යාව බිඳ හෙළමින් සම්මාදිට්ඨිය ඇති කිරීම ය. මෙම ප්‍රවණතා හමුවේ සත්‍යවාහිනි ය බිහි වීමේ අරමුණ මිථ්‍යාවාදයන්ට එරෙහිව සංවාදශීලි, විචාරශීලි සමාජ කථිකාවතකින් හරි දැක්ම උදෙසා ජනමන විවරකිරීමය. මෙම සඟරාවේ ප්‍රාමාණික වියතුන්ගේ සාරවත් ලිපි මෙන්ම සාකච්ඡා කීපයක් ඇතුළත්ව තිබෙයි.

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]