UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නා හිමි

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නා හිමි

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී කෑගල්ලේ රතනසාර හිමියන් වෙත දක්‍ෂිණ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වනදා කෝට්ටේ රාජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අගමැති දි.මු.ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.


පිළිගැනීමේ පුණ්‍යොත්සවය

අභිනව නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය මාර්තු 30 වනදා පස්වරු 3.00 ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.


කාලෝචිත කර්තව්‍යයක්

මාතර, වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති සද්ධර්මකීර්ති ශ්‍රී, ශාස්ත්‍රාචාර්ය කෑගල්ලේ රතනසාර ස්ථවිරයන් වහන්සේට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමේ අවස්ථාවට සුභාශිංසන පණිවුඩයක් ලබාදෙනුයේ ඉමහත් ප්‍රසාදයෙනි.

ඓතිහාසික රුහුණු පුරවරයේ කීර්තිමත් සඟ පරපුරක් නියෝජනය කරමින් මෙරට සම්බුදු සසුන ශෝභාමත් කළ වාදීභසිංහ බැදිගම ශ්‍රී රතනපාල නාහිමියන්. පරවාහැර ශ්‍රී රේවත නාහිමියන්, දවුලගල සංඝරතන නාහිමියන් වැනි සම්භාවනීය යවතිවරයන් වහන්සේලා වෙහෙරහේන රජමහා විහාරය ආශි‍්‍රතව ඉටු කළ උදාර සේවාව සදානුස්මරණීය වේ. ඉනුත් වෙහෙරහේන විහාරය,ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අද්විතීය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් වූයේ අපවත් වී වදාළ දවුලගල සංඝරතන නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි. උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙස රතනසාර නායක ස්ථවිරයන් වහන්සේ සිය අචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා ගත් ම¼ග ගනිමින් විහාරාභිවෘද්ධිය සේම සමාජ කාරයභාරය ද අනලස් ඉටු කිරීම,ආදි කර්තෘවරුන්ට දක්වන උපහාරයකි. පූර්වාරමා විහාරස්ථ ශ්‍රී රේවත පිරිවෙන,ඕ.එම්. ඒ ළමා ගම්මානය, ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී රේවත දහම් පාසල,වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආදී අනේකවිධ ශාසනාභිවෘද්ධිදායක සේ ම සමාජ සුබසාධනයෙහි ඉවහල් වන සේවාවන් රැසක් රතනසාර නායක ස්ථවිරයන් වහන්සේගේ ම¼ග පෙන්වීමෙන් හා නායකත්වයෙන් ඉටු වීම ප්‍රදේශවාසීන්ගේ ද භාග්‍යයක් බව සඳහන් කරනු කැමැත්තෙමි.විශේෂයෙන්ම ජපානයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතීන් තුළින් මෙරට ජනතාවට සැලසෙන සේවය අගය කළ යුතුය.

කෑගල්ලේ රතනසාර නායක ස්ථවිරයන් වහන්සේගේ ආදි සඟ පරපුර සේම වර්තමාන ස¼ග පරපුර ද කීර්තිමත් යතිවරයන් වහන්සේලාගෙන් ශෝභාමත්ය.ඒ අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති මහා ස්ථවිරයන් වහන්සේ,වැලිවිටියේ රතනසිරි ස්ථවිර,විතාරන්දෙණියේ නන්ද ස්ථවිර වැනි සම්භාවනීය හිමිවරු වෙති. කෑගල්ලේ රතනසාර ස්ථවිරයන් වහන්සේගෙන් සිදුවන අත්‍යුදාර ලෝක ශාසනික සේවාව අගයනු පිණිස සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිත ව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම තත් සංඝ සභාවේ කාලෝචිත කර්තව්‍යයක් ලෙස අගය කළ හැකිය.

මෙතෙක් සිදුකළ උදාර ලෝක ශාසනික කර්තව්‍යයන් තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට මාතර, වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රාචාර්ය කෑගල්ලේ රතනසාර ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය සහ හැකියාව ලැබේවායි අශිංසනය කරම්හ.


අගනා සඟ පරපුරකි

බෝධි සත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකරාභිධාන සංඝ රාජෝත්මයාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් සිදු කළ ශාසන සංග්‍රහය වර්තමාන ශාසන පුනරුද්දීප්තියෙහි සමාරම්භය විය.

අනතුරුව දිවයිනේ සිවු දෙසැ මහා විහාර වංශික භික්‍ෂු පරපුර ව්‍යාප්ත වෙමින් වෙහෙර විහාර පිරිවෙන් ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර අභිවර්ධනය කළහ.

මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරස්ථ සංඝ පරම්පරාවද අද්‍යතන ඉතිහාසයෙහි සත් කීර්තිමත් භාවය උරුම කොට ගත් අගනා සඝ පරපුරකි.

විශ්ව කීර්ති ශ්‍රී වාදීභසිංහ අතිගරු බැදිගම ශ්‍රී රතනපාලාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය විශිෂ්ටත්වයට, රමණීයත්වයට, දර්ශනීයත්වයට පත් කොට වදාළ අතිගරු පරවාහැර රේවතාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ එකී සත්කාර්ය වඩාත් අර්ථවත් කොට වදාළ අතිගරු දවුලගල සංඝරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මෑත වර්තමානයෙහි අප්‍රතිහත ධෛර්යයෙන් උට්ඨානවීර්යයෙන් හා දූරදර්ශී ඤාණයෙන් යුතුව පෙළ දහම අටුවා ටීකා සහිතව බෞද්ධ සමාජයට දායාද කළ ගරු කිරම විමලජෝත්‍යාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි උතුම් යතිවරයාණන් වහන්සේද ඒ අතර ප්‍රමුඛ වෙති.

එම මාහැඟි සඟ පරපුරට අයත් ගරු කටයුතු කෑගල්ලේ රතනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සංඝ සභා සම්මතයෙන් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කරනු ලැබූහ

මාතර වෙහෙරහේන , ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ආදිපත්‍යය දරමින් ශ්‍රී රේවත පිරිවෙන, ඩබ්.එම්. ඒ .ළමා ගම්මානය, විහාරස්ථ දහම් පාසල, වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය ආදි ආයතන පවත්වා ගනිමින් මාහැඟි ජාතික,ආගමික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවක් සිදු කරමින් පුරෝගාමී සමාජ අනුශාසකත්වයද දරමින් ආදර්ශවත්ව කටයුතු කරණ ගරු කටයුතු කෑගල්ලේ රතනසාරභිධාන නායක ස්ථවිරපාදයාණන් වහන්සේ අති සම්භාවිත මල්වතු මහා විහාරය කෙරෙහි අකලංක ගෞරව භක්තියකින් කටයුතු කරති.

ඉතා ආදර්ශවත් භික්‍ෂූ ජීවිතයෙන් මහදර්ථයක් සලසාලන උන්වහන්සේට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයානු භාවයෙන් සියලු දෙවි පිහිටෙන් හා අසිරිමත් දළදා සමිඳු පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරම්හ.

සුඛී දීඝායුකො භව.


විශේෂ ස්ථානයක් ලබා ඇත

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමවා ආරම්භ කළ වෙහෙර විහාරයන් ගොඩනැගීම සිංහල බෞද්ධ සංස්කෘතියේ නොමැකෙන අංගයක් විය.ඒ අනුව සැදැහැවත් බෞද්ධයන්ගේ පරිත්‍යාගයත් බුද්ධිමත් සංඝ සමාජයේ මාර්ග දේශනයත් නිසා ලක්දිව පුරා දර්ශනීය වූ විහාරස්ථාන ගොඩනැගී ඇත. අනුරාධපුර පොළොන්නරු යුගවල නිර්මාණයන් අනුකරණය කරමින් අතිගරු පරවාහැර රේවත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිර්මාණය කළ මාකාවිට වෙහෙරහේනේ පූර්වාරාමය වර්තමාන යුගයට මගපෙන්වන්නක් විය. උන්වහන්සේගේ ගමන් මග අනුව යමින් දවුලගල සංඝරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තවත් දීප්තිය ඇති කිරීම සඳහා ඇති කළ ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා මෙම පරම්පරාවේ විශේෂ අංගයකි. ඒ අතරින් පූර්වාරාම විහාරාධිපති කෑගල්ලේ රතනසාර නායක ස්ථවිරයන් වහන්සේ සමාජ සේවය අතින්ද තව පියවරක් ඉදිරියට තැබූහ. කාලය අනුව විකසිත වෙමින් කෑගල්ලේ රතනසාර නායක ස්ථවිරයන් වහන්සේ තවදුරටත් පූර්වාරාමය මෙන්ම එය මුල් කොට ඇති වූ සමාජ සේවයත් ශාසනික සේවයත් ඉදිරියට ගනිමින් විශේෂ ස්ථානයක් ලබා ඇත.උන්වහන්සේ බැදිගම රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දරාසිටි දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ලබා ගන්නා මේ අවස්ථාවෙහි තවදුරටත් උන්වහන්සේගේ ගමන් මාර්ගය සාර්ථක වේවායි මම ආශිර්වාද කරමි.


ප්‍රසාදයට පත්වන්නක්

ශාසනික වශයෙන් අන්ත පරිහානියට පත්ව තිබූ මහනුවර රාජ්‍ය සමයේ යළි සසුන් පුනර්ජීවනය ඇති කළ අසරණ සරණ සරණංකර සංඝරාජ පීතෘවරයාණන් වහන්සේ ඇති කළ මහ මෙහෙවරෙහි රුහුණු පාර්ශ්වයේ පැරැණිතම නාහිමිපාණන් වහන්සේ නමක් ලෙස අප හඳුනාගෙන සිටින්නේ වාදීභසිංහ බැදිගම ශ්‍රී රතනපාල නා හිමි රුහුණු සංඝ පරම්පරාවයි. මහ කැළයක් මැද පිහිටි මාතර වෙහෙරහේන පූර්වාරාමය පුද බිමක් බවට පත්කොට යළි ප්‍රතිෂ්ඨාපනයට පත් කිරීමේ පූර්වාරම්භකයන් වූයේ රේවත නාහිමිපාණන් වහන්සේ සහ දවුලුගල නාහිමිපාණන් වහන්සේය.

මෙම නාහිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍ය පරපුර වෙහෙරහේන ආශි‍්‍රතව කළ සමාජ මෙහෙවර අතිමහත්ය. ජාත්‍යන්තරයට ත්‍රිපිටක ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා මුද්‍රිත මාධ්‍ය තුළින් මේවන විට සිදු කෙරෙන අති විශාල කාර්ය භාරයට මූලිකයාණන් වහන්සේ වනුයේ කිරම විමලජෝති නාහිමිපාණෝය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා සම්බුද්ධ ජයන්ති මන්දිරය ආදී බෞද්ධ සන්නිවේදන ක්‍රියාදාමයේ පුරෝගාමියා උන්වහන්සේය. එම සද්කාර්යයන්ට අත හිත දුන්නේ වත්මන් විහාරාධිපති කෑගල්ලේ රතනසාර හිමිපාණෝය. උන්වහන්සේගේ පැවිදි සහෝදරයන් වන වැලිවිටියේ රතනසිරි මාපලගම බුද්ධසිරි විතාරන්දෙනියේ නන්ද යන හිමිවරුන් සමග එක්වී රුහුණේ බෞද්ධ බල ශක්තිය තහවුරු කිරීම තුළින් යහපත් සංස්කෘතික පදනමකට උරුම සිය ප්‍රදේශය යළි පණ ගන්වමින් සිටිති.

බුදු පුතෙකුගේ ශාන්ත වියයයුතු හික්ම විය යුතු ප්‍රධාන ස්ථානය නම් සිතය. කළු වළාවෙන් මිදුණු චන්ද්‍රයා අහස්කුස බබලන්නාක් මෙන් කෙලෙස් වළාවෙන් යටනොවී උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියක් ලැබීම අපගේ පමණක් නොව මුළු මහත් බෞද්ධ ජනතාවගේම ප්‍රසාදයට පත්වන්නකි.


දිරිය හා ශක්තිය ලැබේවා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති සද්ධර්ම කීර්ති ශි‍්‍ර ප්‍රවචනාලංකාර විශ්වකිර්ති ශ්‍රී පූජ්‍යපාද කෑගල්ලේ රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර පිණිස සුබපැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

පරම පූජනීය සද්ධර්ම කීර්ති ශ්‍රී දවුලගල සංඝරතන මාහිමිපාණන් වහන්සේ විසින් යෝජනා කරන ලදුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් ස්ථාපනය කරන ලද දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය උක්ත නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව පූජ්‍යපාද කෑගල්ලේ රතනසාර මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීම ඉතා යෝග්‍ය බව මාගේ හැගීමයි. දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය ආගමික ජාතික සාමාජික ශාසනික උතුම් මෙහෙවරක් වර්තමානයේ මුළු ලොවටම සලසන වෙහෙරහේන පුර්වාරම රජමහා විහාරස්ථානයට ඉමහත් ගෞරවයකි. එම සංඝ නායක පදවිය අතිපූජ්‍ය දවුලගල සංඝ රතන නාහිමිපාණන් වහන්සේගේ ඇවෑමෙන් කෑගල්ලේ රතනසාර මාහිමිපාණන් වහන්සේ වෙත පැවරීම ජාතියම ලද උතුම් පිනකි. කෑගල්ලේ රතනසාර නාහිමියන් ඉතා දක්‍ෂ බහුශ්‍රැත සාසන මාමක මහා යතිවරයෙකි. ලෝක ආගමික සේවාවක නිරත පූජ්‍යපාද කෑගල්ලේ රතනාසර හිමිපාණෝ භාෂා කිහිපයක්ම චතුර ලෙස හසුරවමින් ලෝක බෞද්ධ ධර්ම ප්‍රචාරක අංශය වෙත නැඹුරු වෙමින් ථෙරවාදී සම්ප්‍රදාය ලොවට ගෙන ගිය මහ යතිවරයෙකි.

මහා විහාර පරපුර අනුව යමින් ආගමික සාමාජික ජාතික මෙහෙවරක නිරත අප මහා යතිවරයාණෝ නිහතමානි අවංක සීලවන්ත උතුමෙකි.ථෙරවාදි බුදු සසුනේ මතු චිර පැවැත්ම සාක්‍ෂාත් කරලීම සඳහා අනූපමේය සේවාවක නිරතව කටයුතු කරන පරම පූජනීය කෑගල්ලේ රතනසාර නාහිමිපාණන් වහන්සේගේ සසුන් දිවියට නිබඳවම දිරිය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


විස්මිත පුද බිමක සුපිපුන සියපත ඔබයි හිමියනි

මාතර පුරවරය වෙහෙරහේන පුණ්‍ය භූමිය කුඩා කල පටන් අපගේ නෙත් සිත් සුවපත් කළ අසිරිමත් විස්මිත පින්බිමකි.

ස්වභාවික සෞන්දර්යෙන් අතිශය රමණීය භූමියක පිහිටි අපේ පන්සල අසූ අටරියන් මහා බුදුරුවින් ශෝභමාන වූ දුටු දුටුවන් තුළ බොදු බැතිය දනවන චිත්තාකර්ෂණීය පුද බිමකි. සම්බුදුරජාණන් වහන්සේ තුළ වූ මහා පුරුෂ ලක්ෂණ මෙන්ම අනන්ත වූ ගුණ සමුදාය නිරූපණය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස කොපමණ වේලා බලා සිටියද හිතට ප්‍රමාණවත් නැති බවක් හැ‍ෙගන විස්මිත නිර්මාණයකි.

සල්, සපු,නා ආදි රුක් සෙවණින්ද විසිතුරු නොයෙක් පුෂ්පයින්ගෙන් ද සෙවණ ලද අපේ පින්බිම නිරන්තරයෙන්ම ලෙල දෙන බෝපත් වලින් සැදුම් ලත් බෝ සෙවණ සැදැහැවතුන් තුළ අමුතුම චමත්කාරයන් ජනිත කරවයි.

මෙම විස්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේද, උමං විහාර මන්දිරය ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ අසිරිමත් මෙහෙවරක නිරත වූ අපවත් වී වදාළ අතිපූජ්‍ය දවුළුගල සංඝරතන නා හිමියෝ පළමු කොටම සිහිපත් කළ යුතු යැයි මම සිතන්නෙමි.

අප මහා අසිරිමත් පින් බිමෙහි සුපිපුන දස දෙස සුවද විහිදුවන සුන්දර සියපතකි. කෑගල්ලේ රතනසාර ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ ප්‍රසන්න පෙනුමෙන් යුත්, නිර්මල ගුණ සුවඳීන් සුවඳවත් වූූ අතිශය පාරිශුද්ධ නිකෙලෙස් දිවි පෙවෙතක් ගත කරන බුද්ධ පුත්‍රයෙකි.

අප සිද්ධාර්ථ ගෞතම, සම්මා සම්බුද්ධරජාණන් වහන්සේ විසින් වරක් සියපතක් උපමාවට ගනිමින් කළ ධර්මය පැහැදිලි කිරීමක් පිළිබඳව අප අසා ඇත්තෙමු. ජලයෙහිම වැඩි ජලයෙන් උඩට මතුවී ජලයෙහි නොගෑවී තිබෙන නෙළුමක් යම් සේද,මමත් එසේම ලෝකයෙහි ඉපදී ලෝකයෙහිම වැඩි ලෝකයම ජයගෙන ලෝකය සමග නොගැටී වාසය කරමි.

රතනසාර නාහිමියනි.

ඔබ වහන්සේද එසේ සුපිපි වෙහෙරෙහේන පුදබිම ශෝභමාන කරමින් අප සසුන් කෙත සුවඳවත් කරන සියපතක් සේම අගය කරන්නෙමි. සියපතක් වූ කලී මඩේ උපන් බව සැබෑය. මඩේම වැඩුණ බව සැබෑය. එහෙත් විකසිත වූ කල මඩ තැවරුන ලෝකය හා ඇලීමක් නැත. නිර්මල වූ සුවඳක් විනා වෙනත් දෙයක් නොමැත. නෙළුම් පිපුන තැන නෙළුම් විල නම් වෙති. වෙහෙරහේන නෙළුම් විලෙහි පිපුන සියපතක් ලෙසින් මම ඔබ වහන්සේ හැඳීන්වීම නිවැරදි නොවන්නේද? ඔබ වහන්සේගේ සුවිශාල ශාසනික මෙහෙවර සමාජ සේවය පිළිබඳව අප තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි.

එම සේවය තව තවත් අගය කරමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක මා හිමියන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව මගින් ඔබ වහන්සේ වෙත පිරිනමන ලද දක්ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරය රෝහණ දේශයේ සියලුම බොදු ජනතාව වෙත පුද කරන ලද මහා උපහාරයක් ලෙසින් අපි දකින්නෙමු.

ඔබ වහන්සේ විකසිත වූ සියපතක් ලෙසින් යෞවන අවදියේ පසුවන්නේය. කළ සේවයැ යම් සේද එවැනි තෙගුණයක සේවයක් අප සසුන් කෙතට කරලීමට ඔබ වහන්සේ වෙත කාලය ඉතිරිව ඇත.

මෙම පදවිය එම සේවයට මහා ශක්තියක් ඔබ වහන්සේ වෙත ජනිත කරලීමට සමත් වෙනු ඇත.

වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරයේ දායක සභාවෙහි සභාපති ලෙසිනුත් පෙරහර කමිටුවේ සභාපතිවරයා වශයෙනුත් ඉතා දීර්ඝ කාලයක් ඔබ වහන්සේ ඉතා සමීපව මම ඇසුරු කරන්නට භාග්‍යවන්ත වූවෙමු. එම දිගු කාල පරාසය තුළ ඔබ වහන්සේ තුළ වු ශාසනික කැපවීම, නිර්මාණශීලි පෙර දැක්ම කාරුණිකභාවය මම ප්‍රත්‍යක්ෂ කොට ගතිමි.

අප දේශයේ මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනයාට ද කල්‍යාණ මිතුරෙකු වෙමින් මෙලොව සැපවත් කර ගැනීමේ මාර්ගයද එමෙන්ම සසර දුකින් නිදහස් වීමේ සොඳුරු මාවත ද විවර කර ගැනීම සඳහා නිරතුරු සදහම් දේශනා කරමින් කටයුතු කිරීමට අවැසි නිරෝගී සුවය දිර්ඝායුෂ ඔබ වහන්සේ වෙත ලැබේවායි මෙම සැදැහැ සිතින් යුතුව පාර්ථනා කර සිටින්නෙමි.

තෙරුවන් සරණයි

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]