UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රාවකත්වය දියුණු කර ගැනීමට ඉවසීම හා නො ඉවසීම

ශ්‍රාවකත්වය දියුණු කර ගැනීමට ඉවසීම හා නො ඉවසීම

අපේ ජීවිතය අප විසින්මයි දියුණුකරගත යුත්තේ. අපේ ජීවිතය දියුණු කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? ශ්‍රාවකත්වය ඇති කරගන්නවා කියන එකයි.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙලා.ශ්‍රාවකත්වය පරිපූර්ණ කර ගැනීමට කටයුතු කිරීම තමයි ශ්‍රාවකත්වය දියණුකරගන්නවා කියල කියන්නෙ.

අප දන්නවා ඉවසීම කියල දෙයක් තියෙනව. නො ඉවසීම කියල දෙයක් තියෙනව. මේ කාරණා දෙකම අපට වැදගත්. ඉවසීමත් වැදගත්, නො ඉවසීමත් වැදගත්, හැබැයි අප තෝරා බේරා ගත යුතු වන්නේ, ඉවසිය යුත්තේ කොතෙන්දීද, නොඉවසිය යුත්තේ කොතෙන්දී ද කියන දේ.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර නොගත් කෙනෙක්ගේ ස්වභාවය තමයි, ඉවසිය යුතු තැන නො ඉවසනව,නො ඉවසිය යුතු තැන ඉවසනව. ඒක තමයි ස්වභාවය නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ඉවසිය යුතු තැන ඉවසනව, නො ඉවසිය යුතු තැන නොඉවසනව.

එහෙනම් අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වුණොත් ඉවසියයුතු තැන ඉවසන්නත් ඒ වගේම නො ඉවසිය යුතු තැන ඉවසන් නැතිව ඉන්න පුරුදුවෙනව. අප ඒකට කැමැති වෙන්ට ඕනෑ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන කෙනා තමයි එසේ කැමැතිවෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව මේ මේ තැනදි ඉවසිය යුතුයි. මේ මේ තැනදි නො ඉවසිය යුතුයි කියල. ඒ ධර්මය පිළිගත්ත කෙනා. ඒ අවවාදය පිළිගත්ත කෙනා ඉවසිය යුතුතැන ඉවසනව නො ඉවසිය යුතු තැන නො ඉවසනව. අන්න එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ඒ විදිහට කටයුතු කරන කල තමයි ශ්‍රාවකත්වය දියුණුවෙලා යන්නෙ. පිරිහෙන්නේ නැති විදිහට දියුණුවෙන්නෙ.

එහෙනම් දැන් අප ගැනම කල්පනා කරල බැලිය යුතුයි. අප ඉවසිය යුතු තැන ඉවසනවද,නො ඉවසිය යුතු තැන නො ඉවසනවාද කියල. මොකද අපේ ජීවිතය අප විසින්මයි දියුණුකරගත යුත්තේ. අපේ ජීවිතය දියුණු කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? ශ්‍රාවකත්වය ඇති කරගන්නවා කියන එකයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙලා.ශ්‍රාවකත්වය පරිපූර්ණ කර ගැනීමට කටයුතු කිරීම තමයි ශ්‍රාවකත්වය දියණුකරගන්නවා කියල කියන්නෙ. වෙන දෙයක් නෙවෙයි.

එහෙනම් ඒ විදිහට ශ්‍රාවකත්වය දියුණු කර ගැනීමට කැමැති කෙනා විසින් කළයුත්තේ, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක්ද අපට කරන්ට කියල කිව්වෙ. ඒ දේ කරන්ට කල්පනා කරන්ට ඕනෑ. ඒ වගේම කරන්ට එපා කියල යමක්ද කිව්වෙ. අන්න ඒ දේ නොකර ඉන්ට කල්පනා කරනවා. ඒ වගේම ඒ දේ නොකර ඉන්ට එයා පුරුදු වෙනවා. එවිට අප තුළ ශ්‍රාවකත්වය ඇතිවෙනවා. ‘ ඒ ශ්‍රාවකත්වය දියුණුවෙලා පරිපූර්ණත්වයට පත්වෙනව. ඒක තමයි අපේ ජීවිතයේ දියුණුව වශයෙන් අප කල්පනා කළ යුත්තේ.

එසේ භාග්‍යවතුන් වහන්සේ ඉවසන්නට අපට කිව්වේ කොතන්දීද ? අපට ඉවසන්නට කියල කිව්ව සීතල, උණුසුම, බඩගින්න , පිපාසය ඉවසන්ට කියල කිව්ව. මැසි, මදුරු කරදර ඉවසන්ට කියල කිව්ව. ඊළඟට අපට මේ සැරපරුෂ බැනුම්, කනට අමිහිරි, සිත්වේදනා දෙන බැනුම්, චෝදනා ඒවා ඉවසන්ට කියල කිව්ව. ඊළඟට කයට දැනෙන කර්කෂ දුක් වේදනා තියෙනව. ඒව ඉවසන්ට කියල කිව්ව. අන්න ඒව ඉවසුවොත් ඒ දේවල් නිසා එයා තුළ ඇතිවෙන ආශ්‍රව තියෙනව නම්, ඒ ආශ්‍රව දුරුවෙලා යනව කියල දේශනා කළා. ඒ කාරණා ඉවසන්ට බැරි කෙනාට නො ඉවසීම නිසා දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නව. එතකොට ඒ ආශ්‍රව වලින් නිදහස්වෙන්ට එයාට බෑ. ඒ නිසා එයාට දුකෙන් නිදහස්වීමක් නෑ.

එවිට අප ඉවසන්ට තැන තෝර බේරගන්නෙ කොහොමද? ඒක අප කෘත්‍රිමව ගොඩනගාගෙන නොවෙයි ඉවසන්නෙ. දැන් අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්නුව මේ සීතල ඉවසන්නට, උණුසුම ඉවසන්ට කියල. දැන් එතකොට කෙනෙක් හිතනව දැන් අප සීතල ඉවසල. උණුසුම ඉවසල මේ ආශ්‍රව දුරුකරන්ට ඕනැ කියල සීතල, උණුසුම කෘත්‍රිමව හදා ගන්නව. අපට කියල තියෙන්නෙ මැසි මදුරු කරදර ඉවසන්නටය, අප මැසි මදුරුවො ඉන්න තැනකට ගිහිල්ල ඉඳගෙන ඉවසන්ට පුරුදුවෙනව. කෘත්‍රිම ව ගොඩනගාගන්නව. බඩගින්න ඉවසන්ට කියල තියෙන්නේ මම බඩගින්නෙ ඉඳල බඩගින්න ඉවසනව. බඩගින්න කෘත්‍රිමව හදා ගන්නව. ඒ ක්‍රමය හරිද? ඒක වැරැදියි. ඇයි ඒ අප කෘත්‍රිමව හදාගෙන විඳින එක මොකටද අයිතිවෙන්නෙ, අත්තකිලමථානු යෝගයට, එහෙනම් අප ඉවසීම පුරුදුකළ යුත්තේ අප අපේ පාලනයකින් තොරව ඒවගේ දේකට මූණදෙන්ට සිද්ධවෙන්න පුළුවන්. අන්න එතෙන්දි ඉවසන්ට ඕනෙ.

ඊළඟට අප ඉවසන්නෙ නැතිව සිටිය යුත්තේ කොයිවෙලාවෙද? අපට යම් කාම සිතිවිල්ලක් ආවොත්, තරහ සිතිවිල්ලක් ආවොත් ඒකඉවසන් නෑ. හිංසා සිතිවිල්ලක් ආවොත්. ඒක ඉවසන්නෑ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා ඒක බැහැර කරනව. ඉවත් කරන්ට කල්පනා කරනවා. දුරු කරන්ට කල්පනා කරනවා.සම්පූර්ණයෙන් නැත්තට නැතිවෙනකල් ඒක දුරුකරන්ට මහන්සි වෙනවා. ඒක නො ඉවසා නැති කරල දානව. ඉතින් ඒ විදිහට ඒක බැහැර කරල,යම් කලකදී ඒවගේ දුක් පීඩා ඇතිවන සිතිවිලි දැවිලි ඇතිකරන සිතුවිලි නැත්තට නැතිකරල දානව. ඒක තමයි දියුණුව කියල කියන්නෙ.

දැන් බලන්න අප එහෙම කටයුතු කරන්ට කැමැතිද කියල, අප එහෙම කටයුතු කරනවද කියල බලන්න. අප එහෙම කටයුතු කරනවා නම් සතුටු සිතින් ඒක දියුණුකරගෙන යන්ට ඕනෑ. අප ඒ විදිහට කටයුතු කරන්නේ නැත්නම්, ඒ විදිහට කටයුතුකරන්ට කැමැතිවෙන්ට. එවිට තමයි අප ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ.

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]